පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් සොටු දියර ගැලීම සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් අසාත්මිකතාව තත්වයක් හේතුවෙන් ඇතිවන්නකි. එනිසාම එම තාවකාලික රෝග තත්වය පහව ගිය පසු නාසයෙන් සොටු දියර ගැලීමද නැවතේ. නමුත් සමහර අයෙකුට මෙම නාසයෙන් සොටු දියර ගැලීම දීර්ඝ කාලයක් තිස්සේ පැවතීමට ඉඩ ඇත. එය එතරම් කලබල විය යුතු රෝග තත්වයක් නොවන නමුත් එය කෙනෙකුගේ එදිනෙදා ජීවිතය තුල කරදරයක් බවට පත්විය හැකිය.
නාසයේ සහ උගුරේ ඇති ශ්ලේෂ්මල නිපදවෙන ග්‍රන්ථිවලින් මෙම සෙම නිරතුරුව නිපදවේ. එසේ නිපදවීමට අවශ්‍ය වන්නේ දූවිලි, වෙනත් අපද්‍රව්‍ය, වෛරස් හා බැක්ටීරියාවන් නාසය තුලින් සිරුරට ඇතුල් වීම වැළැක්වීමටයි. අපට නොදැනිම වුනත් අපගේ සිරුරේ මෙම සෙම නැත්නම් සොටු දියර (mucus) ලෙස හඳුවන ද්‍රව්‍යය දිනකට ලීටර් එකකට ආසන්න ප්‍රමාණයක් නිපදවෙනවා. එය අපට නොදැනිම ගිලෙනවා නැතිනම් වියළී යනවා.

පීනස් රෝගයේ ලක්ෂණ

• නිතර නාසයෙන් සොටු දියර ගැලීම
• කිවිසුම් යාම
• ඇස් කසනවා සේ දැනීම
• උගුර කිති කැවෙනවා මෙන් දැනීම
• කටහඬ ගොරෝසු වීම
• නිතරම උගුර පෑදීමට සිදුවීම
• උගුරේ ආසාදනය
• නාසය සිරවීම
• හිසරදය
• මුහුණේ මස් පිඬුවල වේදනාව
• රස සහ සුවඳ දැනීම අඩු වීම
• නිදා ගැනීමට අපහසු වීම
මෙසේ පීනස් රෝගයේ ලක්ෂණ ඇති වීමට මූලික වන හේතු වන්නේ:
• කාලගුණයේ වෙනස්වීම
• අධික ලෙස මිරිස්, තුනපහ යෙදූ ආහාර ගැනීම
• දූවිලි, තීන්ත, මල් රේණු වැනි දේ නිසා ඇතිවන අසාත්මකතාවයන්
• වෛරස් නිසා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව
• කෝටරක ප්‍රදාහය
• නාසය ඇතුලත සෑදෙන මස්දලු
• ආමාශයේ නිපදවෙන අම්ල ගලනාලය ඔස්සේ ඉහලට පැමිණීම
• ගර්භනී අවදියේ සිදුවන හෝමෝන ක්‍රියාවලියේ වෙනස්කම්
• සමහර ඖෂධ වර්ග
සාමාන්‍යයෙන් පීනස යනු බියවිය යුතු රෝග තත්වයක් නොවන නමුත් පහත සඳහන් රෝග ලක්ෂණ ද පෙන්නුම් කරන්නේ නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
• උණ
• හතිය
• හුස්ම ගැනීමේ අපහසුතා
• සෙම සමග රුධිරය පිටවීම
• දුගඳකින් යුතුව සෙම පිටවීම
මෙවැනි අවස්ථාවකදී වෛද්‍යවරයා විසින් ඔබව හොඳින් පරීක්ෂා කර බලා අසාමාන්‍ය ලෙස සොටු දියර ගැලීමටත් අනෙකුත් රෝග ලක්ෂණවලටත් හේතුව සොයනු ඇත. නියමිත පරීක්ෂණ වලින් පසුව එම හේතුව බැක්ටීරියා ආසාදනයක් ද, අසාත්මිකතාවයක් ද, ගැස්ට්‍රයිටිස් තත්වයක් ද නැතිනම් නාසයේ ඇති මස් දලුවක්ද යන්න වෛද්‍යවරයා නිගමනය කර ඖෂධ නියම කරනු ඇත.

පීනස් රෝගයට නිවසේදීම කළ හැකි ප්‍රතිකර්ම

• අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම
• වාෂ්ප ඇල්ලීම
• රස්නය ඇති ජලයට ලුණු මිශ්‍ර කර උගුර සේදීම
• නාස් කුහර හොඳින් පිරිසිදු කර තබා ගැනීම
• කොට්ට දෙකක් පමණ තබා හිස ඉහළින් තබා ගෙන නිදා ගැනීම
• මිරිස්, තුනපහ අධිකව යෙදූ ආහාරවලින් වැළකී සිටීම

පීනස් රෝගයෙන් වැළකී සිටීමට කළ හැකි දේ:

• සිරුරට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම
• නිතර සබන් යොදා අත් සේදීම
• ජීවත්වන පරිසරය පිරිසිදුව දූවිලි රහිතව තබා ගැනීම
• තුවා, ඇඳ ඇතිරිලි ආදිය හොඳින් පිරිසිදුව වේලා තබා ගැනීම
• අසාත්මිකතාවයන් ඇති කරන ආහාරවලින් සහ පරිසරයන්ගෙන් හැකි තරම් ඈත් වී සිටීම
• අවශ්‍ය තරමින් නින්දක් ලබා ගැනීම

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

 

දොස් දුරු කරවන දොස්තර උපදෙස්