අපේ සමාජයේ බොහොමයක් නොදත් බුදුන් වදාළ සංවර්ධනය

නිදහස ලැබීමෙන් පසු අප රටේ වැඩිපුරම අවභාවිතාවට පාත්‍ර වූ වදනක් වනුයේ “සංවර්ධනය” යන්න ය.ඒ නිසාම අද වන විට සංවර්ධනය යන වදන හුදෙක් “දේශපාලනමය විහිළුවක්” බවට පත් ව තිබේ.එමෙන්ම, අප සමාජයේ බොහෝ දෙනකු සිතා සිටින අන්දමට සංවර්ධනය යනු හුදෙක් දේශපාලනමය හා වානිජමය කාරියකි.

නමුදු මෙම සංවර්ධනය නම් වන ක්‍රියා දාමය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි හා නිවැරදි අර්ථ නිරූපනයක් බුදු දහමින් ලැබී තිබේ.බෞද්ධ සූත්‍ර හා විනය පිටක වලට අයත් කරුණු අනුව මෙම සංවර්ධනය සිව් වැදෑරුම් කොට දක්වා තිබේ.

එනම් ලෞකික සංවර්ධනය හා ආධ්‍යාත්මික සංවර්ධනය ලෙසින් හා පුද්ගල බද්ධ සහ සමාජ බද්ධ සංවර්ධනය ලෙසිනි.සමස්ත බෞද්ධ දර්ශනයම පුද්ගල සංවර්ධනය හා බද්ධ වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

එහෙත් වර්තමානයේ සංවර්ධනය නමින් හඳුන්වන සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් එහි දක්වා ඇති කරුණු බොහොමයකි. එහි දී සමාජ සංවර්ධනය පිළිබඳව ඉතා පැහැදිලිව විස්තර කෙරෙන දීඝ නිකායේ කූඨ දන්ත සූත්‍රයෙහි විස්තර මෙහිලා ඉතා වැදගත් ය.

එහි විස්තර වන ආකාරයට සමාජ සංවර්ධනය නිසි ලෙස ඇති කර ගන්නට නම් පුද්ගල,පවුල්,ප්‍රජා සහ සමාජ මට්ටමින් සැලසුම් සහගත වීම අත්‍යාවශ්‍ය ය. එක් එක් පුද්ගලයා සංවර්ධනය කිරීමට සේම පොදුවේ මුළු රටම සංවර්ධනය කිරීමට එම සැලසුම් යොදා ගත හැකි ය.

රටක සංවර්ධනය සඳහා කවුරුන් කුමන ආකාරයකට කටයුතු කළ යුතු ද යන්න චක්කවත්ති සිහනාද සූත්‍රයෙහි ද විස්තර වේ. මෙහිදී පැහැදිලි කෙරෙන්නේ සංවර්ධන කාර්යයෙහි නියැලෙන්නවුනට රාජ්‍ය පාලකයින් මූලික අවශ්‍යතා සපුරා දිය යුතු බව ය.

ඒසේ කටයුතු කළහොත් රට සංවර්ධනය කිරීම පහසු කාර්යයක් වන බව බව බෞද්ධ ඉගැන්වීම ය.රටක සංවර්ධනය රාජ්‍යයේ සෑම අංශයක් කෙරෙහිම පැතිර විය යුතු ය.නො එසේ නම් එමඟින් ඇති වන සමාජ අසමතුලිත භාවය මුල් කොට එම සංවර්ධන ක්‍රමෝපායන් බිඳ වැටේ. බෞද්ධ සංවර්ධන ක්‍රමෝපායන් වල පදනම සදාචාරය පදනම් කර ගත් ආකල්පමය සංවර්ධනයයි.

සොර සතුරු උවදුරු මැඩලන්නටත් යුද්ධය හා සාහසිකත්වය පිටු දකින්නටත් සදාචාර සම්පන්න විනයගරුක සමාජයක් ඇති කරන්නටත් පංචශීල ප්‍රතිපත්තිය අනුව කටයුතු කළ හැකි පිරිසක් ඇතිකර ගත යුතු ය.පංච ශීලය යනු ඕනෑම ජාතියකට,ආගමකට ගැලපෙන අන්තවාදයෙන් ඉඳුරාම බැහැර වූ උතුම් සදාචාර ධර්ම පද්ධතියකි.

මේ සඳහා සමාජය සමස්තයක් වශයෙන් ගෙන පොදු දර්ශනයක් මත පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙම සූත්‍ර වලින් පැහැදිලි වේ. නමුදු අද අපගේ ගිහි පැවිදි බහුතර මෙම බෞද්ධ ඉගැන්වීම පිළිබඳ කිසිදු තැකීමක් නොකරති.

වර්තමාන සමාජයෙහි පැන නඟින බොහෝ ගැටළු සඳහා විසඳුම් සෙවීම වෙනුවට ගැටළු ඇති විය හැකි ක්ෂේත්‍ර කල් ඇතිව නිර්ණය කොට එම ක්ෂේත්‍රවල මතු විය හැකි ගැටළු ඇති නොවීම සඳහා මග සලසා ගැනීම අවශ්‍ය වේ.

නමුදු අපගේ දේශපාලනඥයන්ට ඒ පිළිබඳව කිසිදු වැටහීමක් ඇති බවක් නොපෙනෙයි.පසුගිය කාලයේ උතුරු ප්‍රදේශයෙන් ඇති වූ සන්නද්ධ අරගලය ආයුධ බලයෙන් යට පවත්වා එය සැබෑ ජයග්‍රහණයක් සේ අර්ථ දැක්වීම බුදු මඟට ඉඳුරාම පිටු පෑමකි.ඒ වෙනුවට පාලකයන් කළ යුත්තේ උතුරේ සිවිල් ජනතාව අතුරින් සන්නනද්ධ අරගලයක් ඇති වීමට හේතු නිවැරදි ලෙස වටහා ගැනීම හා ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමය.

එක් පාර්ශවයක් පරාජය නොවන සේ අපට සැබෑ යුද ජය ග්‍රහණයක් භුක්ති විඳිය හැක්කේ එවිට ය.මෙයින් අර්ථවත් කෙරෙන්නේ සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් රටක පරිහානියට හේතු විය හැකි තත්වයන් බැහැර කරන්නටත් රටක සංවර්ධනය ඇති කරන්නටත් ඉඩ කඩ ලබා ගත හැකි බව ය. රටක අපරාධ වැඩිවීමට මූලික හේතුවක් වන්නේ සම්පත් බෙදීයාමේ අසමතුළිත බව,රැකියා විරහිත භාවයයි.

අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන අන්දමට අධික තෘෂ්ණාව සමාජ පරිහානියට හේතු වෙයි. එනම් මිනිසුන් තුළ ඇතිවන අසීමිත වුවමනාවන්ය. වර්තමාන ලෝකයේ ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ ඉගැන්වීම්වලට අනුව අප සතු සීමිත සම්පත්වලින් අසීමිත මනුෂ්‍ය වුවමනාවන් සපුරා ගැනීම සඳහා කටයුතු කිරීමට සිදුව ඇත. එහෙත්, එම වුවමනාවන් කොතරම් දුරට සම්පූර්ණත්වයට පත් කළ හැකි වේද? බටහිර ආර්ථික විද්‍යාව අනුව මිනිසාගේ අසීමිත වුවමනාවන් සීමිත සම්පත්වලින් සපුරා දෙන්නට තවමත් නොහැකිව ඇත.

මේ නිසා වර්තමාන සමාජය තුළ අසීමිත ගැටළු ඇති වී ඇත. සංවර්ධනය සිහිනයක් බවට පත් වෙමින් ඇත. එහෙත්, මෙම තත්වයෙන් අත්මිදී රට සංවර්ධනය කර ගැනීමට බුදු සමයෙන් උපදෙස් හා උදාහරණ සපයා ඇතත් එම උපාය මාර්ග කෙරෙහි අඩුම ගණනේ අපගේ පැවිදි පක්ෂය වත් අවධානය යොමු නොකිරීම වත්මන් ඛේදවාචකයට හේතු වී තිබේ.

සීමිත සම්පත් වලින් මිනිසාගේ අසීමිත අවශ්‍යතා උඅපරිම ලෙස සංතෘප්ත කර ගැනීම පිළිබඳ වර්තමාන ආර්ථික විද්‍යාවෙන් දක්වන අදහස බුදු සමය පිළිගන්නේ නැත. ඒ වෙනුවට බුදු සමය වඩා සදාචාරාත්මක සමාජ ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කර ඇත. එය සමස්ත ලෝකයාගේ ම යහපතට හේතු වන ස්වරූපයේ එකකි.

බුදු සමය අවධාරණය කරන්නේ මිනිසා තෘෂ්ණාවේ දාසයකු නොවී සිය මූලික මනුෂ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේ ආර්ථික දර්ශනය මත පිහිටා කටයුතු කරන්නේ නම් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට සමත් වන බවකි.. මිනිසාට ගැටළු ඇති වන්නේ පමණ ඉක්මවා අවශ්‍යතා,වුවමනා,සහ ආශාවන් ඇති කරගෙන ඒවා ඉටු කර ගැනීම සඳහා හඹාගෙන යන්නට උත්සාහ ගන්නා විට ය.

මේ නිසා අවශ්‍යතා,වුවමනා,සහ ආශාවන් අවම කර ගැනීමත් චාම් සරල ජීවන පැවැත්මත් මානව සංවර්ධන කාර්යයයේදී මුල් තැනක් ගන්නා බව සැලකිය යුතු ය.

නමුදු එක් සුව පහසු මෙට්ටයක් මත සයනය කිරීමෙන් ලැබෙන සතුට ඒ ආකාරයේ මෙට්ට හතක් එක පිට එක තබා සැතපීමේ දී ලද නොහැකි බවත් කවර සුව දායක ම්ට්ටයක වුව දින සති මාස ගණන් එක දිගට වැතිර සිටීම බලවත් දුකකට හේතු වන බවත් තෙරුම් ගැනීමට තරම් සිත දියුණු කර ගත් අයකුට සැබෑ සංවර්ධනය සිසිල් පැනක් මිස මිරිඟු දියක් වීමට ඉඩක් නැත.

කදුරුපොකුණේ සුමංගල හිමි

 

 

පහන් ටැඹ