ඌරු මසින් තොර නත්තල් කෑම මේසයක්

මානව සංහතියේ ගැලවීමත් විමුක්තියත් උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත කළ ශුද්ධ වූ සභාව රෝමානු කතෝලික සභාව බවට ලෝක ජන මතයක් තිබේ. රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය ජේසුස් වහන්සේ සහ සාම්ප්‍රදානුකූලව පළමු පාප්වහන්සේ ලෙස සැලකෙන දොලොස් අපෝස්තුලු වරුන්ගේ නායකයා වන පේදුරු තුමා දක්වා දිව යයි.කතෝලික සභාව ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව ය. 2018 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3 ක් පමණ සිටින බව අනාවරණය වී තිබේ.නමුත් දෙවියන් වහන්සේ ගේ කැමැත්ත මත පදනම් වන ප්‍රකාශ වශයෙන් එහි ආරක්ෂා වන ශුද්ධ ලියැවිලි කිසිවක හෝ සත්ව මාංශ අනුභවය ප්‍රවර්ධනය කොට නැත.ඒ සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ මිනිසා ගේ ජීවන පැවැත්ම සඳහා වන සීමිත අවකාශයක් පමණි.එමෙන්ම මිනිසා සෙසු ආශාවන් සම්බන්ධයෙන් සේම ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් වුව තෘෂ්ණාවේ වහලකු දාසයකු වීමට දේව දහමින් කිසිදු ඉඩක් නොලැබේ.

කිතුනුවන් සේම නොකිතුනුවන් ද දන්නා පරිදි ජේසුස් වහන්සේ සරල චාම් දිවි පැවැත්මක් ඔස්සේ ඒ ආදර්ශය ලොවට දායාද කොට තිබේ. නමුත් එවන් පසුබිමක් තුළ ලෝකයේ මෙන්ම අප රටේ ජනප්‍රිය කතෝලික සංස්කෘතිය තුළ මස් මාංශ ගිජු බවට මුල් තැනක් හිමිව තිබේ.ඉතා සරල චාම් නිහඬ ආධ්‍යාත්මික සැමරුමක් විය යුතු කිතු උපත පදනම් කර ගත් නත්තල මේ වන විට කිතුණු ආධ්‍යාත්මික හරයන් පිටු දැක නිසරු පුරුෂාර්ථ මුදුන් පමුණුවන තෘෂ්ණාභරිත සැනකෙළියක් බවට පත්ව තිබීම එක්තරා අවාසනාවකි. නමුත් මේ වන විට අප රටේ ජනප්‍රිය කතෝලික සංස්කෘතිය තුළ මාංශ භක්ෂණයට ප්‍රමුඛ තැනක් හිමි ව ඇති නත්තලේ ප්‍රධාන තැනක් ගන්නා ඌරු මසට මේ වන විට තහංචි පැමිණ වී තිබේ.ඒ මේ වන විට ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන විකිණීම ඇතුළු තහංචි කිහිපයක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවිනි.ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය (AFS ) ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලී කොතලාවල විසිනි.

පසුගිය ඔක්තෝබර් 25 වැනිදා සිට නත්තල ද ආවරණය වන අන්දමට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් උණ රෝගය, සූකර අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS ) ආසාදිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා අවශ්‍ය වන පහත සඳහන් කටයුතු තහනම් කර ඇත.සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම ආසාදිත සතුන් ඝාතනය කිරීම, රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිත කිරීම, අවදානම් සහිත සතුන් භාවිත කොට ගෙන සජීවී සත්ව වෙළෙඳ පොළ පැවැත්වීම, දර්ශනය හා තරඟ පැවැත්වීම,ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සහ ඌරුමස් වලින් නිෂ්පාදන සකස් කිරීම, අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වූවා හෝ ආසාදිත වුවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක් වූ ද්‍රව්‍යයක් හෝ ජලය සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම, අදාළ රෝගයන් හේතුවෙන් මරුමුවට පත්වූවා හෝ ආසාදිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථාන ගත කිරීම ද මෙම ගැසට් නිවේදනය අනුව සපුරා තහනම් වේ.

මෙවර නත්තල් කෑම සඳහා ඌරු මස් ගාත් පිටින් මිලට ගැනීමට පෙර තිබූ හැකියාව මෙවර අහිමි වනු ඇත. මේ වන විට ගණන් බලා ඇති අන්දමට මෙරට තුළ ඌරු ගොවි පොළවල් 3500ක් පමණ ඇති අතර ඒවායේ වෙසෙන ඌරන් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න බව පැවසෙයි.

අප්‍රිකානු සූකර උණ රෝගය ( AFS ) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS ) ඌරන් අතර ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය එම අති විශේෂ ගැසට් නිවේදනය මඟින් සපුරා තහනම් කර තිබේ.සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරිය සඳහන් කරනුයේ සඳහන් කළේ ඌරු මස් විකිණීම තහනම් කර ඇති අතර මේ වන විටත් පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලවා එවැනි වෙළෙඳසල් වැටලීමට සහ මස් තොග අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ය.ඒ අනුව මෙවර නත්තල් කෑම සඳහා ඌරු මස් ගාත් පිටින් මිලට ගැනීමට පෙර තිබූ හැකියාව මෙවර අහිමි වනු ඇත. මේ වන විට ගණන් බලා ඇති අන්දමට මෙරට තුළ ඌරු ගොවි පොළවල් 3500ක් පමණ ඇති අතර ඒවායේ වෙසෙන ඌරන් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න බව පැවසෙයි.බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාතේ එම ගොවිපොළවල් වැඩි සංඛ්‍යාවක් පවතින අතර එම පළාත්වලින් ආසාදිත සතුන් වාර්තා වී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර අප්‍රිකානු සූකර උණ රෝගය ( AFS ) ආසාදිත සත්වයන්ගෙන් හෝ එම සතුන්ගේ මස් ආහාරයට ගැනීම මඟින් මනුෂ්‍යයන්ට බෝ නොවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරිය පවසයි.එසේ වුවත් මියගිය සතුන්ගේ මස්වල වෙනත් බැක්ටීරියා වර්ග වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් ඒවා ආහාරයට ගැනීමෙන් වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති වීමේ අවදානමක් පවතින නිසා රෝගයෙන් මියගිය සතුන්ගේ මස් විකිණීමට හෝ ආහාරයට ගැනීම තහනම් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කළ බවත් ඇය පවසයි.

“මේ රෝග දෙක ම ඌරන් අතර විතරක් පැතිරෙන රෝග බව කිව යුතුයි. මේවා ඌරන්ගෙන් මිනිස්සුන්ට බෝ වෙන්නෙත් නැහැ. ඌරන්ගෙන් වෙන සත්තුන්ට බෝවෙන්නෙත් නැහැ. ඌරන් අතර විතරමයි පැතිරෙන්නේ. මේ රෝගයෙන් මිනිසුන්ට කිසි ම තර්ජනයක් නැහැ.නමුත් මේ දවස්වල මේ ලෙඩෙන් සත්තු මැරෙනවා අප්‍රිකානු සූකර උණ රෝගය (AFS ) ටිකක් දරුණු යි. මරණ ප්‍රතිශතයත් ඉහළ යි. ඒ මැරිච්ච සත්තුන් ගෙ මස් අනුභවය අපි නිර්දේශ කරන්නේ නැහැ.ඉන් මිනිසාට වක්‍රාකාරයෙන් සෞඛ්‍ය තර්ජන එන්න පුළුවන්” සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරිය පවසයි. මේක ස්පර්ශයෙන් හෝ අනුභවයෙන් බෝවන රෝගයක් නොවුණත් මැරිච්ච සත්තුන්ට වෙන වෙන බැක්ටීරියා එන්න පුළුවන්.මැරුණට පස්සේ නරක් වෙන නිසා. ඒ නිසා ඒ මස් පරිභෝජනයට සුදුසු නැහැ,” ඇය වැඩිදුරටත් කියා සිටියි.

නමුත් ශ්‍රී ලංකා සත්ව ප්‍රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසනුයේ මීට වෙනස් දෙයකි.එනම් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්‍යාප්ත වී ඇති බවකි.එම සංගමයේ සංවර්ධන හා පුහුණු උපදේශක ජයලත් බාලසූරිය පවසන්නේ බලධාරීන් අදාළ රෝග නිවාරණ පනතට අනුව ක්‍රියාත්මක වූයේ නම් මෙම සූකර උණ රෝගය මැඩපැවැත්වීමට හැකියාව පැවති බව ය.”පළමුවෙන්ම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේක වාර්තා වුණාට පස්සේ, මුලින්ම රෝගය හඳුනාගන්න ඕනේ. ඊට පස්සේ 1992 අංක 59 දරණ සත්ත්ව රෝග නිවාරණ පනත අනුව ඒ ප්‍රදේශයේ ඉන්න අධ්‍යක්ෂවරයාට පුළුවන් ඒ රෝගය තියෙන ස්ථානය වසා දමන්න. මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරලා මේ වගේ බෝවෙන රෝගයක් තියෙනවා ඒ නිසා මේ ස්ථානය සීල් තියන්න පුළුවන්. නමුත් පහුගිය මාස පහක් තිස්සේ මේ ක්‍රියාදාමය ලංකාවේ කොහේවත් වෙලා නෑ. ඒ කියන්නේ ක්‍රියාදාමය හිතාමතාව පැහැර හැරලා.ඒ කාලේ කිසිම කරන්නේ නැතුව ඉඳලා නැතුව ලංකාව පුරාම පැතුරුණාට පස්සේ ගැසට් එකක් ගහනවා.නමුත් ඒක කරන්න ඕනේ ලංකාවට රෝගය ආවා කියලා හඳුනා ගත්තු ගමන්ම නේද?.”

මානව සංහතියේ ගැලවීමත් විමුක්තියත් උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ලොවට දායාද කළ ඒම දිව්‍යමය පණිවිඩය තුළ සත්ව කරුණාව ද ගැබ් ව ඇති බව දහ තුන් වන සියවසේ ලොව පහළ වූ ශාන්ත ෆ්‍රැන්සිස් තුමාණෝ(අසීසි ) ලොවට දායාද කළ සේක .එනිසා අප ගේ නත්තල් ආහාරය සත්ව මාංශවලින් පුරවා ගැනීමේ නිසරු පිළිවෙත වෙනුවට සත්ව හිමිකම් සුරැකීම සම්බන්ධ යාඥාවකට ඔබගේ බුද්ධියේත් හදවතේත් කවුළු විවර කර දීම මඟින් එම දිව්‍යමය සුගන්ධයෙන් ඔබගේ ජීවිත පුරවා ගැනීමට පුළුවන.

මේ අතර තම ගොවිපළේ ඌරන්ට කිසියම් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් වහාම පශූ වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා ඉල්ලීමක් කරයි. මේ සියළු කලබැගෑනි ඔස්සේ මෙවර අප්‍රිකානු සූකර උණ රෝගය ( AFS ) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS ) පදනම් කර ගනිමින් නත්තලේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් වුව තෘෂ්ණාවේ වහලකු දාසයකු නොවීම කෙරෙහි දෙවියන් වහන්සේ කිතුණුවන්ට ආශීර්වාදාත්මක පණිවිඩයක් ලබා දී තිබේ.මානව සංහතියේ ගැලවීමත් විමුක්තියත් උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ලොවට දායාද කළ ඒම දිව්‍යමය පණිවිඩය තුළ සත්ව කරුණාව ද ගැබ් ව ඇති බව දහ තුන් වන සියවසේ ලොව පහළ වූ ශාන්ත ෆ්‍රැන්සිස් තුමාණෝ(අසීසි ) ලොවට දායාද කළ සේක .එනිසා අප ගේ නත්තල් ආහාරය සත්ව මාංශවලින් පුරවා ගැනීමේ නිසරු පිළිවෙත වෙනුවට සත්ව හිමිකම් සුරැකීම සම්බන්ධ යාඥාවකට ඔබගේ බුද්ධියේත් හදවතේත් කවුළු විවර කර දීම මඟින් එම දිව්‍යමය සුගන්ධයෙන් ඔබගේ ජීවිත පුරවා ගැනීමට පුළුවන.

“සමිඳාණන් වහන්ස, සියලු ජීවීන්ගේ මැවුම්කරු වන ඔබ වහන්සේ භාග්‍යවන්ත ය.

ඔබ වහන්සේ මුහුදේ මසුන් ද අහසේ කුරුල්ලන් ද ගොඩබිම සතුන් ද බිහි කළ සේක.

ඔවුන් සියල්ලන්ම ඔහුගේ සහෝදර සහෝදරියන් ලෙස හැඳින්වීමට ඔබ වහන්සේ ශාන්ත ෆ්‍රැන්සිස් මුණි තුමන් අප වෙත යොමු කළ සේක.

එම පණිවිඩය ප්‍රචලිත කිරීමට ආශිර්වාද කරන ලෙස අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමු.

ඔබ වහන්සේ ආදරයේ බලයෙන්, ඔබේ සැලැස්මට අනුව ඔවුනට ද සැනසිල්ලේ ජීවත් වීමට වරම් ලබා දුන මැනව.

ඔබ වහන්සේ ගේ මැවිල්ලේ සියලු අලංකාරයන් ගැන අපි ඔබට සැමවිටම ප්‍රශංසා කරමු.

අපගේ දෙවි සමිඳුනි, ඔබ වහන්සේ මැවූ සියලු සත්වයන් තුළ ඔබට ආශීර්වාද වේ! ආමෙන්”.

මාදම්පේ රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර