කුකුළු ව්‍යාපාරිකයෝ බිත්තර මිල වැඩි කරන්න සැරසෙති

මේ මාසයේ මැද සතියෙන් පසු බිත්තර මිල යළිත් වරක් ඉහළ දැමීමට මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් සැලසුම් කර ඇතැයි අනාවරණය වේ.

සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ කර්මාන්තය සූක්ෂම ලෙස බිඳ දමා බිත්තර මිල ඉහළ දැමීමට මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් මේ දිනවල කටයුතු කරමින් සිටින බවද පැවසේ.

මේ දිනවල රුපියල් 35ත් 37ත් අතර සිල්ලර මිලකට බිත්තරයක් අලෙවි කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළවලින් රුපියල් 28ත් 30ත් අතර මිලකට මිලදී ගන්නා බිත්තරයක් මෙලෙස වැඩි මිලකට සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියෝ විසින් අලෙවි කරති.

බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 34 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපොළ හිමියන්ට බිත්තර අලෙවියේදී සිය නිෂ්පාදන වියදමවත් පියවා ගත නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටින බව අනාවරණය වේ.

කුකුළු ආහාර ලෙස ලබාදෙන නිවුඩු සහල් කිලෝවක් පසුගිය දිනවල රුපියල් 80ක මිලකට පැවැති බවත්, මේ වනවිට වී මෝල්වල සහල් නිෂ්පාදන කටයුතු නතරවී තිබීම නිසා නිවුඩු සහල් කිලෝවක මිල රුපියල් 140 ක් දක්වා වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.

කාලීන පුවත්