ඉම්රාන් හිරෙන් නිදහස් කරගන්න ට්‍රම්ප් මැදිහත් වෙයි ද?

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වූත්, පකිස්තානයේ හිටපු අගමැතිවරයකු වූත් ඉම්රාන් ඛාන් මේ වනවිට සිටින්නේ බන්ධනාගාරයේ ය. 2018 වසරේ අගමැති ධුරයට පත් වූ ඉම්රාන් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් හරහා 2022 වසරේ එම ධුරයෙන් ඉවත් කරනු ලැබිණි. එම අවස්ථාවේ ඉම්රාන් පැවසුවේ ඇමරිකාව සහ දේශීය බලවේග කිහිපයක් එක්ව තමාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කළ බවයි. ඒ වනවිට ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරුවේ පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේශපාලන ප්‍රතිවාදියකු වන ජෝ බයිඩ්න් ය.

ඉම්රාන් ඉහත කී ආකාරයෙන් අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු ඔහුගේ විරුද්ධවාදීහු පකිස්තානයේ බලයට පත් වූහ. ඉම්රාන්ට එරෙහිව විවිධ චෝදනා එල්ල කෙරුණු අතර ඒ යටතේ අත්අඩංගුවට ගෙන පසුව බන්ධනාගාරගත කරනු ලැබිණි. ඉම්රාන් පැවසුවේ මෙම චෝදනා ඔහුව දේශපාලන පිටියෙන් ඉවත් කිරීමේ අරමුණෙන් ගෙනෙන ලද බොරු චෝදනා බව යි.

ඉම්රාන් නැවතත් එරට මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනු දැකිය හැකි වේ. ඒ පසුගිය දා පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමෙන් පසුව ය. ඉම්රාන් බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීම සඳහා ට්‍රම්ප් ගේ සහය ලබා ගැනීමට ඉම්රාන්ගේ පක්‍ෂය උත්සාහ කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.

කෙසේ හෝ වේවා, මේ වනවිට ඉම්රාන් නැවතත් එරට මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනු දැකිය හැකි වේ. ඒ පසුගිය දා පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමෙන් පසුව ය. ඉම්රාන් බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීම සඳහා ට්‍රම්ප් ගේ සහය ලබා ගැනීමට ඉම්රාන්ගේ පක්‍ෂය උත්සාහ කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.

ට්‍රම්ප් ගේ පළමු ධුර කාලය තුළ ඔහු සහ ඉම්රාන් කිහිප වතාවක්ම හමු වී සාකච්ඡා පවත්වා තිබූ අතර ඒ කාලයේ ඔවුන් අතර යම් සමීපත්වයක් ඇතිව තිබූ බව සඳහන් වේ. ඉම්රාන් හොඳ මිතුරෙකු ලෙස වරක් ට්‍රම්ප් හඳුන්වා තිබිණි.

ට්‍රම්ප් ගේ ජයග්‍රහණය වාර්තා වීමත් සමග ඉම්රාන් බන්ධනාගාරයේ සිටිමින්ම සුබ පැතුම් පණිවුඩයක් සටහන් කර තිබුණේය. ට්‍රම්ප් ජනාධිපති ධුරයට තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔහු ඇමරිකානු ජනතාවට ප්‍රශංසා කර තිබෙනු ද දක්නට ලැබිණි. ඇමරිකාව සහ පකිස්තානය අතර සබඳතා වැඩි දියුණු කර ගැනීමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් වඩාත් යහපත් ජනාධිපතිවරයකු වනු ඇතැයි ද ඉම්රාන් ගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.

ඉම්රාන් අයත් වන පකිස්තාන තෙහ්රික්-ඉ-ඉන්සාෆ් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන සායිඩ් සුල්ෆි බුකාරි මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයක් ද පසුගිය දිනවල විශාල අවධානයක් දිනාගෙන තිබිණි. ඉම්රාන් අසාධාරණ ලෙස සිරගත කර තිබීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ගේ කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර තිබේ. “ඛාන්ට සිදු වී ඇති අසාධාරණයන් පිලිබඳව මම ට්‍රම්ප් ගේ කණ්ඩායම සමගත්, ඔහුගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ බෑණා වන ජෙයාර්ඩ් කුෂ්නර් සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා”.

ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ ඉම්රාන් සිරගත කර තිබීම ගැන මෙයට පෙර ද ට්‍රම්ප්ගේ අවධානය යොමු ව තිබූ බවයි.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් තිබූ විඩියෝවක් ද විශාල අවධානයක් දිනාගෙන තිබිණි. ඉම්රාන් නිදහස් කර ගැනීමට තමා මැදිහත් වන බව ට්‍රම්ප් ප්‍රකාශ කරන ආකාරයක් මෙම විඩියෝවෙහි දැක්විණි. කෙසේ නමුත් පසුව අනාවරණය වී තිබුණේ එය ව්‍යාජ විඩියෝවක් බව යි.

ඉම්රාන් නිදහස් කර ගැනීම සඳහා ට්‍රම්ප් ගේ සහය ලබා ගැනීමට ඉම්රාන් ගේ පක්‍ෂයේ අය බලාපොරොත්තු වුවත් එය සාර්ථක නොවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස යි.
ට්‍රම්ප් එවැනි මැදිහත් වීමක් කිරීමට ගියහොත් ඔහු සහ පකිස්තාන හමුදාව අතර යම් ගැටුමක් ඇති විය හැකි බවත්, ට්‍රම්ප් එවැනි ගැටුමකට කැමති වනු ඇතැයි සිතිය නොහැකි බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉම්රාන්ට එරෙහිව එල්ල වූ චෝදනා අතර ප්‍රධාන චෝදනාවක් වූයේ ඔහු අගමැති ධුරයේ සිටිය දී ලැබුණු ඇතැම් තෑගි නීති විරෝධී ආකාරයෙන් විකුණා ඇතැයි යන්න යි. පකිස්තාන රුපියල් මිලියන 140 ක් පමණ වටිනා තෑගි මේ ආකාරයෙන් විකුණා ඇති බවට අධිකරණය තීන්දු කර තිබිණි. රාජ්‍ය රහස් හෙලි කිරීම පිලිබඳ චෝදනාවක් ද ඔහුට එරෙහිව එල්ල විය. රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සදහා අනුබල දීම පිලිබඳ චෝදනාවක් ද ඉහත කී චෝදනා අතර තිබිණි. සමස්තයක් ලෙස ඔහුට එරෙහිව චෝදනා 100 කට වැඩි සංඛ්‍යාවක් එල්ල වූ බව සඳහන් වේ.

2022 වසරේ ඉම්රාන් බලයෙන් පහ කළ අවස්ථාවේ පකිස්තානයේ හමුදාව ද එය පිටුපස සිටි බවට අදහස් පළ විය. ඒ වනවිට ඉම්රාන් සහ හමුදා නායකත්වය අතර ප්‍රශ්න ඇති වී තිබීම ඊට හේතුව ලෙස සඳහන් විය.

මේ වනවිට ඉම්රාන් රඳවා සිටින්නේ අදියාලා බන්ධනාගාරයේ යි. එය පිහිටා ඇත්තේ පකිස්තානයේ රාවල්පිණ්ඩි නගරයේ ය.

ඉම්රාන්ට එරෙහිව එල්ල වූ චෝදනා අතර ප්‍රධාන චෝදනාවක් වූයේ ඔහු අගමැති ධුරයේ සිටිය දී ලැබුණු ඇතැම් තෑගි නීති විරෝධී ආකාරයෙන් විකුණා ඇතැයි යන්න යි. පකිස්තාන රුපියල් මිලියන 140 ක් පමණ වටිනා තෑගි මේ ආකාරයෙන් විකුණා ඇති බවට අධිකරණය තීන්දු කර තිබිණි. රාජ්‍ය රහස් හෙලි කිරීම පිලිබඳ චෝදනාවක් ද ඔහුට එරෙහිව එල්ල විය. රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සදහා අනුබල දීම පිලිබඳ චෝදනාවක් ද ඉහත කී චෝදනා අතර තිබිණි. සමස්තයක් ලෙස ඔහුට එරෙහිව චෝදනා 100 කට වැඩි සංඛ්‍යාවක් එල්ල වූ බව සඳහන් වේ. නමුත් මේ වනවිට එම අතැම් චෝදනාවලින් ඔහු නිදහස් කර තිබේ.

ඉම්රාන් ගේ බිරිඳ බුෂාරා බිබි ද කලක් බන්ධනාගාරගත කර සිටියාය. පසුගිය ඔක්තෝබර් මාසයේ ඇය ඇප මත නිදහස් කරනු ලැබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර