කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බැනුම් අහපු කාලේ ඉවර ද?

කාලගුණික අනාවැකි පළ කිරීමේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විශාල අඩුවක්ව පැවති ‘ඩොප්ලර් කාලගුණ රේඩාර්’ යන්ත්‍රයක් ලබන දෙසැම්බර් මාසයේ දී ලැබෙන්නට නියමිත බව ප්‍රවෘත්තිවල පළ වී තිබිණි. ශ්‍රී ලංකාවට අවම වශයෙන් මෙවැනි යන්ත්‍ර දෙකක්වත් අවශ්‍ය වන නමුත් මේ සඳහා දරන්නට සිදු වන අධික පිරිවැය නිසා දැනට එකක් පමණක් සවි කරන්නට නියමිතය. ජපානයේ ආධාර මත හිමි වන මෙය පුත්තලමේ සවි කරන්නට නියමිත අතර එමගින් මධ්‍යම කඳුකරයේ ඊසාන දිග කලාපය නිරීක්ෂණය කරන්නට හැකි බව පැවසේ. කාලගුණ අනාවැකි පැවසීමේ දී ඒවායේ ඇති නිරවද්‍යතාව ඉතා පහළ මට්ටමක පැවතීම මත ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මෙය මහත් සැනසිලිදායක තත්ත්වයක් වනු නිසැකය. මේ ආයතනයේ කාලගුණික අනාවැකි නිරවද්‍යතාවෙන් අඩු බැවින් අද සමාජයේ බොහෝ දෙනෙක් කාලගුණය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අන්තර්ජාලය සහ ස්මාර්ට් දුරකථන භාවිතයට ගනිති. අන්තර්ජාලයට පිවිසුණු විට AccuWeather” The Weather Channel” BBC Weather වැනි වෙබ් අඩවි තුළින් පහසුවෙන්ම ලෝකයේ ඕනෑම තැනක කාලගුණ අනාවැකි ලබා ගැනීමේ හැකියාව පවතී. කෙසේ වුව ද පොදු මහජනතාවට මේ සම්බන්ධව නිල තොරතුරු ලබාගැනීමට නම් අදාළ රටේ කාලගුණ විද්‍යාව සම්බන්ධ ආයතනයක් තිබිය යුතුය. මෙවැනි යන්ත්‍රයක් මෙතරම් ප්‍රයෝජනවත් වන්නේ එබැවිනි.

ඩොප්ලර් ආචරණය සිදුවන ආකාරය සොයා ගත් ක්‍රිස්ටියන් ඩොප්ලර්

කාලගුණ විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් නිර්මාණය කෙරුණු නවීනතම තාක්ෂණයෙන් යුක්ත ඩොප්ලර් කාලගුණ රේඩාර් යන්ත්‍රයට කාලගුණික රටාවන් නිරීක්ෂණය, විශ්ලේෂණය සහ අතිශය නිවැරදි පුරෝකථන කිරීමේ හැකියාව පවතී. වර්ෂ 1842 ඔස්ට්‍රියානු ජාතික භෞතික විද්‍යාඥයකු වූ ක්‍රිස්ටියන් ඩොප්ලර් විසින් සොයා ගනු ලැබූ ‘ඩොප්ලර් ආචරණය’ (Doppler effect – වස්තුවක් වේගයෙන් අප සිටින දිශාවට පැමිණෙද්දී හඬ ශීඝ්‍රයෙන් වැඩි වීමත් වීමත් අප පසුකර යද්දී හඬ ශීඝ්‍රයෙන් අඩු වීමත් මේ නමින් හැඳින්වේ) නම් සංසිද්ධිය පාදක කර ගනිමින් මේ යන්ත්‍රය නිපදවා තිබේ. කෙසේ නමුත් මේ සංසිද්ධිය ඔස්සේ කල්පනා කරමින් මෙවැනි කාලගුණික රේඩාර් යන්ත්‍රයක් නිපදවනු ලැබුවේ 1950 දශකයේ දී ඇමරිකානු කාලගුණික විද්‍යාඥයකු සහ භෞතික විද්‍යාඥයකු වූ ඩේවිඩ් ඇට්ලස් විසිනි.

ඩොප්ලර් රේඩාර් ක්‍රමයේ දී වර්ෂණය (වර්ෂාව, හිම පතනය, අයිස් වැසි ආදිය), සුළඟේ වේගය සහ කුණාටු රටා අනාවරණය කර ගැනීම සඳහා විද්‍යුත් චුම්බක තරංග භාවිත කරයි. මෙහි දී මුලින්ම සිදු වන්නේ මේ යන්ත්‍රය මගින් වායුගෝලයට විද්‍යුත් චුම්බක තරංග නිකුත් කිරීමය. මේ තරංග වැහි බිඳු, හිම පියළි (ශ්‍රී ලංකාවට අදාල නැත) හෝ දූවිලි අංශුවක පවා ගැටුණු විට එම තරංගය නැවත රේඩාර් යන්ත්‍ර කරා පරාවර්තනය වෙයි. මේ වස්තූන්ගේ චලනය මගින් ආපසු පැමිණෙන සංඥාවේ සංඛ්‍යාතය වෙනසකට ලක් කරයි. යම්කිසි වස්තුවක් රේඩාර් යන්ත්‍රය දෙසට ගමන් කරන්නේ නම්, සංඛ්‍යාතය වර්ධනය වන අතර රේඩාර් යන්ත්‍රයෙන් ඈත් වන විට එය අඩු වී යයි.

ඩොප්ලර් කාලගුණ රේඩාර් යන්ත්‍ර ස්ථාපනය කර ඇති ආකාරය

අද වන විට ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධති, කාලගුණ අනාවැකි පළ කිරීමට, කාලගුණික ව්‍යසනයන් සඳහා සූදානම්වීමට සහ ගුවන් ගමන්වල සුරක්ෂිතභාවය සඳහා රටවල් 150 කට වැඩි ගණනක භාවිත වේ. ඇමරිකා එක්සත් ජනපදය (යන්ත්‍ර 150 කට වැඩි), ඉන්දියාව (යන්ත්‍ර 30 කට වැඩි), චීනය, ජපානය, යුරෝපීය සංගමයේ බොහෝ රටවල ද මෙය භාවිත වේ.

ඩොප්ලර් කාලගුණ රේඩාර් යන්ත්‍රය නිපදවූ ඩේවිඩ් ඇට්ලස්

සංඛ්‍යාතයේ මේ වෙනස් වීම විශ්ලේෂණය කිරීමෙන්, කාලගුණික රටාවේ වේගය, දිශාව සහ ප්‍රබලත්වය රේඩාර් යන්ත්‍ර මගින් නිර්ණය කරයි. නවීන ඩොප්ලර් රේඩාර් යන්ත්‍රවල ද්විත්ව-ධ්‍රැවීකරණ තාක්ෂණය (dual-polarization technology) අන්තර්ගත කොට තිබේ. මෙහිදී තිරස් සහ සිරස් ස්පන්ධන නිකුත් කිරීම සිදු වේ. මේ දියුණු තත්ත්වය තුළින් වර්ෂාවක් ද, හිම ද, අයිස් වැස්සක් ද ආදී වශයෙන් වෙනස්කම් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම කුණාටු තත්ත්වයක ක්‍රියාකාරීත්වය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට ද හැකියාව ලැබේ. වර්ෂාපතනයේ ප්‍රබලත්වය සහ එහි චලනය, විවිධ වර්ගයේ කුණාටු වර්ධනය සහ වායුගෝලයේ ඇති ඉතා සියුම් කැලඹීම් පවා ඉතාමත් නිවැරදි ලෙස අනාවරණය කර ගැනීමේ හැකියාව මේ යන්ත්‍රයට තිබේ. නමුත් කඳුකර ප්‍රදේශවල තත්ත්වයන් සහ ඉතාමත් වැඩි දුරකට මේ තරංග සම්ප්‍රේෂණය කරවීමේ දී මෙහි නිරවද්‍යතාව කෙරෙහි යම් බලපෑමක් ඇති කරයි. නමුත් මේ යන්ත්‍රයට සමීප කලාපයක් තුළ කාලගුණික තත්ත්වයන් ඉතාමත් නිරවද්‍යතාවකින් යුක්තව අනාවරණය කර ගැනීමේ හැකියාවක් ඇති අතර දරුණු කාලගුණික තත්ත්වයන්වලදී සිදු විය හැකි ජීවිත හානි අවම කර ගැනීමට ද මෙය උපයෝගී වේ.

අද වන විට ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධති, කාලගුණ අනාවැකි පළ කිරීමට, කාලගුණික ව්‍යසනයන් සඳහා සූදානම්වීමට සහ ගුවන් ගමන්වල සුරක්ෂිතභාවය සඳහා රටවල් 150 කට වැඩි ගණනක භාවිත වේ. ඇමරිකා එක්සත් ජනපදය (යන්ත්‍ර 150 කට වැඩි), ඉන්දියාව (යන්ත්‍ර 30 කට වැඩි), චීනය, ජපානය, යුරෝපීය සංගමයේ බොහෝ රටවල ද මෙය භාවිත වේ.

ඩොප්ලර් කාලගුණ රේඩාර් යන්ත්‍ර ස්ථාපනය කර ඇති ආකාරය

මේ යන්ත්‍රයේ ප්‍රතිඵල අතිශය නිරවද්‍යතාවකින් යුක්ත වනවා සේම ඒ සඳහා දැරිය යුතු පිරිවැය ද ඉතා අධිකය. මෙවැනි එක් යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2 – 5 (රුපියල් මිලයන 590 – 1470) අතර මුදලක් වැය වන අතර යන්ත්‍රයේ ප්‍රමාණය, ආවරණය කළ යුතු කලාපය සහ ද්විත්ව-ධ්‍රැවීකරණය වැනි අතිරේක පහසුකම් ඇතුළත් කිරීම වැනි කාරණා මත මේ පිරිවැයේ වෙනස්කම් තීරණය වෙයි. එමෙන්ම මෙවැනි යන්ත්‍රයක් නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 150,000 – 300,000 (රුපියල් මිලියන 44 – 88 ක්) අතර මුදලක් වැය කළ යුතුව තිබේ.

ඩොප්ලර් ආචරණය සිදුවන ආකාරය

මේ සඳහා ඉතා අධික පිරිවැයක් කරන්නට සිදුවුව ද, එහි වාසි සහ කාලගුණික විපත් කල් තියා දැක වළක්වාගන්නට හැකියාව ලැබීම තුළින් දේපළ හා ජීවිත හානි අවම කර ගත හැකි නිසා මෙතරම් පිරිවැයක් මේ වෙනුවෙන් දැරීමේ අවාසි සහගත තත්ත්වයක් නැත.

කාලගුණය වෙනස් වීම නිසා කාලගුණික රටාවන් පුරෝකථනය කළ නොහැකි තරම් වේගයෙන් වර්ධනය වන බැවින් එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා දැනට ලෝකයේ භාවිත වන අති නවීනතම තාක්ෂණය වන්නේ මෙයය. මෙයට චන්ද්‍රිකා දත්ත සහ කෘත්‍රිම බුද්ධිය ඒකාබද්ධ කිරීම තුළින් මෙහි හැකියාව තවත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම සංවර්ධිත නොවන රටවල භාවිත කිරීම සඳහා පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි සහ අඩු පිරිවැය යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ පර්යේෂණයන් ද දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

ඩොප්ලර් කාලගුණ රේඩාර් යන්ත්‍රය ක්‍රියාකරන ආකාරය

ලෝකයේ ප්‍රබල රටවල පවා භාවිත වන මේ උපකරණයක් අප රටට ලැබීම ද යහපත් තත්ත්වයකි. එයින් ප්‍රයෝජනය ගනිමින් නිවැරදි පුරෝකථන ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු අතර දරන ලද පිරිවැයට සාධාරණයක් වන අයුරින් වසර ගණනාවක් එයින් ප්‍රයෝජන ගැනීම සිදු කළ යුතුය. එසේ වුවහොත් මෙතෙක් කාලයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විඳි අපහාස, විවේචන සියල්ල පහව යනු ඇත.

මේ සියලු කාරණා සලකා බැලීමේ දී පෙනී යන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ නවීන තාක්ෂණයෙන් යුක්ත යන්ත්‍රයක් බවය. ලෝකයේ ප්‍රබල රටවල පවා භාවිත වන මේ උපකරණයක් අප රටට ලැබීම ද යහපත් තත්ත්වයකි. එයින් ප්‍රයෝජනය ගනිමින් නිවැරදි පුරෝකථන ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු අතර දරන ලද පිරිවැයට සාධාරණයක් වන අයුරින් වසර ගණනාවක් එයින් ප්‍රයෝජන ගැනීම සිදු කළ යුතුය. එසේ වුවහොත් මෙතෙක් කාලයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විඳි අපහාස, විවේචන සියල්ල පහව යනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර