5 ශ්‍රේණියේ දෙමාපියන්ගේ ශිෂ්‍යත්ව විභාගය නවතා දැමීමට කටයුතු කළ යුතුයි! – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉගැන්වීම පිණිස 3 ශ්‍රේණියේ දරුවෙකුට ගුරුවරයෙකු සොයන දැන්වීමක් පසුගියදා සමාජ ජාල පාරිභෝගික සංසදයක පළ කරලා තිබුණා. මේක ඒ දරුවාගේ උවමනාවට කරන දෙයක් නොවන බව ඉතා පැහැදිලියි.සෙල්ලම් කරන්න දඟලන්න තියෙන ළමා කාලය විනාශ කරමින් පොත පත අධ්‍යාපනයටම දරුවන්ව කොටු කරන මෙවන් අනුවණ දෙමාපියන් කොපමණ සිටීද ? මේ වන විට කිසියම් දෙමාපිය පිරිසක් පසුගිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කොට නැවත පවත්වන ලෙසට උද්ඝෝෂණය කොට එය අසාර්ථක වූ තැන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කොර තිබෙනවා.ශිෂ්‍යත්ව විභාගය නැවත පැවතීමට ඉල්ලුම් කිරීම තුළ ඒ දරුවෝ පත්වෙන අපහසුතාවය, පීඩනය ගැන ආතතිය ගැන මේ දෙමාපියන්ට කිසිදු හැඟීමක් ඇති බවක් පේන්නේ නැහැ මුලින්ම පාසල් ගිය දා සිට වසර පහක් අති දුෂ්කර ක්‍රියාවකට, බලහත්කාරයෙන් පාඩම් කරවීමේ හිංසනයකට මේ දරුවෝ ලක් වෙනවා.දෙමාපියන්ගේ සිතැඟි ඉටු කර ගැනීමට මේ දරුවන් යොදාගන්නවා ඇත්තටම මේක ළමා අපයෝජනයක්.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය පටන් ගත්තේ ඉස්සර ලංකාවේ ගම්බද බොහෝ පාසල්වල ගුරුවරුන් ද ඇතුළුව භෞතික සම්පත්.විශාල වශයෙන් හිඟව පැවති නිසා ,දක්ෂ දරුවන්ට පහසුකම් වැඩි ජනප්‍රිය පාසල් ලබාදීමටත් අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව ආධාර ලබාදීමටත් බව අද බොහෝ දෙනෙක් දන්නේ නැහැ.. නමුත් වර්තමානයේ කිසිදු භේදයකින් තොරව ලංකාවේ සියලුම පාසල් ළමයින්ට නිල ඇඳුම් රෙදි, පෙළ පොත් ලබා දෙනවා.ඒ විතරක් නෙවෙයි ලංකාවේ සියලුම පාසල් වල උගන්වන්නේ පුහුණු ගුරුවරු. ඒ නිසා ඉස්සර වගේ ගම්බද පාසල්වල දරුවන්ට අමුතු අසාධාරණයක් සිද්ධ වන්නේ නැහැ .ඒ වගේම එවන් යම් දරුවකුට ශිෂ්‍යත්ව ආධාර මුදලක් ලැබුණොත් ඔහු ඇතුලත් වන ජනප්‍රිය පාසලට යාම ඒම සඳහා ප්‍රවාහන වියදමවත් සපුරා ගැනීමට එම මුදල ප්‍රමාණවත් වන්නේ නැහැ.

අනික ජනප්‍රිය පාසල් වලට ඇතුළත් වීම සඳහා නම් මෙම විභාගය පවත්වන්නේ එම ජනප්‍රිය විදුහල්වල දරුවන් මොකටද ශිෂ්‍යත්ව විභාගය ලියන්නේ ?

මමත් ශිෂ්‍යත්වය සමත් වූ අයෙක් නමුත් මාගේ මේ දක්වා කිසිදු අයෙකු කිසිදු කරුණක් සඳහා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත්ද යන්න අහලා නැහැ.කිසිදු රැකියාවකට. කිසිදු රැකියාවකට හෝ දෙස් විදෙස් අධ්‍යාපන කටයුත්තකට මේ විභාගයේ ප්‍රතිඵල වැදගත් වන්නේ නැහැ.ඉතින් එහෙම නම් මේ කුඩා දරුවන්ට දැඩි පීඩනයක් ලබාදී මෙම විභාගය පවත්වන්නේ ඇයි ?

මීට කලින්ද වෙනත් විභාග වලදී ද ප්‍රශ්න පත්‍ර පිට වූ බවට ප්‍රකාශ වනවා.නමුත් බොහෝ විට සිදුවන්නේ මීට පෙර තිබූ ප්‍රශ්න පත්‍රවල ගැටලු සමහරක් ඒ ආකාරයෙන්ම අලුත් ප්‍රශ්න පත්තරයේ අඩංගු වීමයි.මෙහිදී පරණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන උපකාරක පන්තිවලදී එම ප්‍රශ්න සාකච්ඡා කිරීම අරුමයක් නොවේ.

කෙසේ වෙතත් සත්‍ය වශයෙන්ම මෙසේ ප්‍රශ්න දෙකක් තුනක් පිටවී තිබෙනවා නම් එය සිදුකර ඇත්තේ මේ ළමයින් නොව වැඩිහිටියන්ය. එම වැඩිහිටියන් සිදුකළ වරදට දඬුවම් විඳීමට දරුවන්ට පැවරීම කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේ.මෙවන් අවස්ථාවන් කලින් ද උද්ගත වූ විට ඒ සඳහා කරන ලද්දේ එම පිට වූවා යැයි කියන ප්‍රශ්න සඳහා වන පිළිතුරු වලට සියලුම ළමයින්ට සමාන ලකුණු ලබාදීමයි.එවිට එමගින් සිදුවන හානිය අවම කර ගැනීමේ හැකියාව පවතිනවා.එසේ නොමැති ව දරුවන් වෙත නැවත එම බර පැටවීම කිසිසේත්ම දරුවාගේ උපරිම සුභ සිද්ධිය සඳහා හේතු සාධක වන්නක් නොවේ.දෙමාපියන් කිහිප දෙනෙකුගේ වුවමනාව මත සමස්ත 5 ශ්‍රේණියේ දරුවන් සියලු දෙනාම මානසික ආතතියට පත් කිරීම ඇත්ත වශයෙන්ම ළමා අපචාරයක්.අමුත් අදටත් මේ ගැන විවෘත සමාජ කතිකාවක් ඇති වී නැහැ.

එනිසා මේ සම්බන්ධයෙන් ළමයින්ගේ සුබ සාධනය වෙනුවෙන් පවතින රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සහ සංවිධාන මැදිහත්ව මින් දරුවන්ට සිදුවන අගතිය පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු දැක්වීම මේ මොහොතේ ඉතාම අත්‍යවශ්‍ය කරුණක් බවට අවධාරණය කළ යුතුයි..

එසේම කිසිදු පලකට නමැති දරුවන් දැඩි ආතතියකට ලක් කරන, දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනයට පදනම් වන ළමා කාලය මේ අයුරින් පත පොත අධ්‍යාපනයට සිරකොට සිදුකරන මෙම පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම නවතා දැමීමට නව රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වීම ඉතා වැදගත් කාලීන සමාජ මෙහෙවරක් බව ද කිව යුතුමයි.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
නීති වෛද්‍ය නිලධාරි
ජාතික රෝහල මහනුවර

පහන් ටැඹ