අද මැදියම් රැයේ නැගෙනහිර වෙරළට ආසන්නව සුළි කුණාටු අවදානමක්

මේ වන විට නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවත් එම ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද (27) මධ්‍යම රාත්‍රිය කේන්ද්‍රගත ව සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු- මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

කාලීන පුවත්