එදවස අපේ ගම් වල තිබූ මිනිස් සත්ව සහජීවනය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

අදින් අවුරුදු පනහකට විතර ඉහත දී ගමෙන් කොළඹට ආපු මට ගමේ ජීවිතේ හොඳටම මතකයි.අපේ ගම තියෙන්නෙ බස්නාහිර පලාතෙ.ඒ වුණාට ඒ පලාතෙ නැගෙනහිර දකුණු මායිම ආසන්නයෙම තියෙන මහ වනන්තරේට යාව.. ඒ නිසාම බොහොම ග්‍රාමීය සමාජයක් තමයි අපි අද්දැක්කෙ.ගමේ ජීවත්වුණු ඔක්කොම වාගෙ එකම ඥාති පිරිසක්. ඥාති නොවන අය වුණේ ගමේ ප්‍රධාන සේවාවන් දෙකක් වුණු රෙදි පිරිසිදු කිරීමයි ආයුධ නිෂ්පාදනයයි වෙනුවෙන් කැපවුණු පවුල් කීපය විතරයි.ඒ අය ඥාතී නොවුණට සෑම ගම්වැසියෙක් එක්කම බොහොම සමීප සුහද සම්බන්ධයක් පැවැත්වුවා.ගමේ ප්‍රධාන ජීවන වෘත්තිය වුණේ.ගොවිතැන. ගොඩ මඩ දෙකම ගොවිතැන් කළ ගම්මු තමයි ගමේ හිටියෙ.

ගමේ සාමාජිකයො හැටියට හිටියෙ මිනිස්සු විතරක් නෙවෙයි. ගම ඇසුරු කරගෙන ජීවත්වුණු සත්ව ප්‍රජාවත් සැලකුවේ ගමේ නිත්‍ය සාමාජිකයො හැටියටයි.

ගමේ සෑම ගෙදරකම වාගේ අනිවාර්යෙන්ම හිටපු සතෙක් තමයි බළලා.අපේ ගෙදරත් ඒ වගේ බැළලියක් හිටියා. ඌව හැඳින්වුණේ පිංචි කියන නමින්. පිංචි ගැවසුණේ අපේ ගෙදරත් අපේ ආච්චි ජීවත්වුණු අල්ලපු ගෙදරත් කියන ගෙවල් දෙකේ විතරයි.මේ ගෙවල් දෙකේම රාත්‍රියට කුස්සියෙ ලිප ළඟ නිදා ගැනීමේ අයිතිවාසිකම පිංචි භුක්ති වින්දා.ඒ වගේම ගෙවල් දෙකේම පිංචි වෙනුවෙන් කෑම වෙන් වුණා. පිංචි ඇරුණම අපේ ගෙදර සාමාජික වුණු නිත්‍ය නේවාසික කුකුළු නාම්බෙක් හිටියා.ඌට කිව්ව නම කවඩියා.කවඩියගෙ රාත්‍රි වාසස්ථානය වුණේ ගේ ඉස්සරහ දෙල්ගහ.හැන්දෑවෙ පහමාර හයවෙන කොට කවඩියා ගල්වැටිය උඩ ඉඳගෙන දෙල්ගහේ අත්තට පියාඹල තැන්පත් වෙනවා. පාන්දර හරියට තුන හමාරට කවඩියා පළවෙනි ඇඬලීම කරනවා. පාන්දර හතරට තුන් වෙනි ඇඬලීම කරන්නෙ පාන්දර බස් එකේ නගරෙට යන අයට අවදිවෙලා සූදනම් වෙන්න කියන පණිවුඩේ දී ගෙනයි.ඒ සංඥාවෙන් අවදිවෙලා මූණකට හෝදාගෙන ලක ලැහැස්ති වෙලා හීල් බත් පිඟානකටත් වගකියල හුලු අතු පන්දමක් හරි කැකුණ ඉටිපන්දමක් හරි පත්තු කරගෙන අඩි පාර දිගේ හැතැක්ම දෙකක් විතර ගිහින් බස් පාරට ඇවිල්ල ටික වෙලාවක් ඉන්නකොට පාන්දර බස් එක එනවා.කුකුල් නාම්බගෙ තනිවට කිකිළියො දෙන්නෙක් තුන්දෙනෙකුත් හිටිය.වත්තෙ කහල ගොඩවල් අවුස්සල පණුවො අහුලන් කන එකයි කුස්සියෙන් අයින් වෙන දංකුඩ කන එකයි දවස පුරාම කළා. බත් කන වෙලාවට මුන්ට බත් අහුරක් දෙකකුත් දෙනවා.වී කොටන කොට හුණුසාල් අහුරක් දෙකක් අනිවාර්යෙන්ම කවඩියටයි පිරිවරටයි ලැබෙනවා .අල්ලපු ගෙදර හිටපු අපේ ආච්චි කවඩියට සැලකුවෙ තමන් ගෙ දරුවෙකුට වගේ.මොනව හරි අමුතු කෑමක් කනකොට ආච්චි “කවඩියෝ වරෙන් පුතේ බොට අමුතු කෑමක් දෙන්න” කියල කතා කළාම කවඩියා පෙඳේ වන වනා අසුරු ගහන වේගෙන් ආච්චිලගෙ ගෙදරට දුවනවා .ආච්චිගෙන් කෑම කාල පිල උඩ ඉන්න ආච්චිගෙ ඔඩොක්කුවට වෙලා පෙඳේ අත ගාවා ගන්න එක කවඩියගෙ පුරුද්ද.එක දවසක් කවඩියව පුදුම කරන්න ආච්චි පුංචි අම්මගෙ මූණ බලන කණ්නාඩිය ඔඩොක්කුවෙ වාඩිවෙලා හිටපු කවඩියගෙ මූණ ලඟට ඇල්ලුවෙ “ඔන්න බලපන් කවඩි පුතේ උඹේ ලස්සන” කියාගෙනයි. කවඩියා කොක් කොක් ගාල කණ්නාඩියට හොටෙන් දිපු ප්‍රහාරෙන් කණ්නාඩිය හතර අතට ඉරිගියා. කවඩියගෙ කිකිළි පිරිවර කවඩියා පස්සෙන් ඇවිද්දට කවඩියා වගේ කාගෙවත් ඔඩොක්කුවට ඇවිත් ඇගෑලුම් කම් පාන්න උන් එන්නෙ නෑ.කවඩියත් තමන්ව අල්ලන්න දෙන්නෙ ගෙදර අයට විතරයි .හොඳට ඇඳගෙන එන අමුත්තන්ට කොටන්න තමයි බලන්නෙ.කිට්ටුව ගෙදරක නූල් බැඳිල්ලක් තොවිලයක් බලියක් තිබුණොත් ඔය අපේ කවඩියාව තොවිල් ගෙදර ඉන්න කුකුළා ගේ ඇබෑර්තුවට ගන්නවා.ඒ එළිවෙන කම් තොවිල් පොලේ කුකුල් බිල්ලට රඟ පාන්න.කිකිළියො බිත්තර දාන්න කෙකර ගාන කොට කිකිළිව අල්ලල කූඩෙන් වහල තියෙනවා කූඩෙ අස්සට හාල් ඇට ටිකකුත් දාල තිබ්බම බිත්තරයක් තෑග්ගට දෙනවා.මේ අපේ ගෙදර වගේම ගමේ හැම ගෙදරකම වාගෙ කුකුළ් නාම්බෙක් ඇති කලේ හිමිදිරි පාන්දර ගමන් බිමන් යන්න ඕන වුණාම වෙලාව බලා ගැනීමටම විතරක් නොවෙයි. ගමේ ජීවිතේ ගතකරන කොට ගෙදරක සිටියයුතු කෙනෙක් හැටියට කුකුළාවත් සැලකුණා.කොටින්ම මේ සත්තු ගෙදර සාමාජිකයො වගේ ගෙදරම ජීවත් වුණා .

අපේ ගමේ සමහර ගෙවල්වල හරක් හැදුවා.වැඩියෙන්ම මී හරක් තමයි හැදුවෙ.අපේ ගෙදරටත් හරක් කීප දෙනෙක් වරින්වර ගෙනාවා. මී දෙන්නුන්ගෙන් කිරි ගන්න සාස්තරේ හරියටම දැනගෙන හිටියෙ අපේ අම්මගෙ අම්මා; එගොඩ ආච්චි.ඕනෑම සැර හරකෙක් අපේ එගොඩ ආච්චි ට බොහොම හීලැයි.බානක් කරට නොදා කිරිගන්න අපේ ඒ ආච්චිට පුලුවන්.නාහෙට අහන්නෙ නැති දැවැන්ත මීගොන්නුන්ට ආච්චි කතා කරල පිට අතගානව. උන් කරබාගෙන ඉන්නවා.අපේ අම්මගෙ අම්ම නැත්නම් එගොඩ ආච්චි සතුන්ට පුදුම විදියට ආදරෙයි.පොලේ ගිහින් එනකොට පාර දිගට බැඳල ඉන්න හරක් වතුර තිබහ වෙලා උඩ බලාගෙන අඬනව දැක්කොත් ආච්චි කොහොම හරි වතුර ටිකක් දිලමයි එන්නෙ.ඒ හරකා බැඳල ඉන්න තැන තණකොල නැත්නම් ආච්චි හරකව ගහෙන් ලිහල තණකොල තියෙන තැනක බැඳලයි එන්නෙ.ඒ හරක් අයිතිකාරයො කවුද කියල බලන්නෙ නෑ ඒ ආච්චි එලදෙන්නුන්ටයි මිදෙන්නුන්ටයි කතා කළේ “දුවේ” කියල .

ඔය ගෘහාශ්‍රිත සතුන් හැරුණම හැම ගෙදරකටම අනන්‍ය වෙච්ච කෑම හොයාගෙන එන පක්ෂීන් හිටියේය. හැම ගෙදරකටම ආවේණික කපුටො ජෝඩුවක් දෙකක් ඉන්නව.උන් කූඩු හදන්නෙත් ඒ ආසන්නයේ ගහක.උන් ගේ ළඟට ඇවිත් ගහක අත්තෙ වහල “කාක් කාක්’ කියල තමන්ගෙ පැමිණීම සංඥා කරහම හීල්බත් අහුරක් වරදින්නෙ නෑ.මේ ඇරුණම නීල කොබෙයියො, අලුකොබෙයියො, දෙමලිච්චො, ගිරව්, මයිනො වගේ කුරුල්ලො ගෙයි මිදුලෙ තියෙන දේවල් අහුලනවා. බොහෝ ගෙවල්වල මේ අයට වෙන්කරපු කෑම දාන ලෑල්ලක් තිබුණා.උදෙන්ම ඒකට බත් දැම්මම වරින් වර ඕක අලුත් කරන්න විතරයි තියෙන්නෙ.කුරුල්ලො ඇවිත් ඒකෙන් බත් කාලා යනව.ඔතනට සමහර වෙලාවට වලිකුකුල්ලු කෑදැත්තො වගේ ලොකු කුරුල්ලොත් ඇවිත් යනවා. කාලෙකට සුදු රෙදිහොරා, සිවුරු හොරා, අවිච්චියා වගේ කුරුල්ලොත් එනවා. අපේ ගෙදර ඔය බත් ලෑල්ලට පුරුදු වුණා කුරුලු රංචු ඇවිල්ල කෑගහන කොට තාත්ත උන් එක්ක සාකච්ඡා කරන හැටි හරි අපූරුයි.දෙමලිච්චො රෑන ඇවිල්ල බත් ලෑල්ලෙන් පහලට බැහැල මිදුලෙ පොදි ගැහිල බොහොම ලොකු සද්දයක් දානවා .තාත්ත පුටුවෙ වාඩිවෙලා ඉන්න ගමන් අහනවා දෙමලිච්චන්ගෙන් “මොකෝ ලෑල්ලෙ බත් නැතිද?කෑගහන්නෙ'” කියල දෙමලිච්චන් ගෙ ගෝසාව නවතින්නෙ නෑ.”ආ එහෙනම් මේ බිස්කට් ඕන වෙල නේද?” කියල අහනවා.දෙමලිච්චො උඩ පැන පැන උත්තර දෙනවා.තාත්ත හිමිහිට ගෙට ගිහින් බිස්කට් දෙකතුනක් පොඩි කරල මිදුලට දානවා.ඔන්න ගෝසාව අඩුකරල දෙමලිච්චො හනි හනිකට බිස්කට් කෑලි අහුලනවා දෙමලිච්චො වැඩියෙන් කැමති මාරි බිස්කට්වලටයි කියල තාත්ත දැන ගෙන හිටියා.ඒ නිසා ඒ අයට වෙනමම මාරි බිස්කට් ගෙනැත් තියාගෙන හිටියා.කෑදැත්තා ගැන අපිට කියාදීල තිබුණේ හරිම දුක හිතෙන කථාවක් .ඒ කෑදැත්තගෙ උගුරෙ හිලක් තියෙන නිසා හොටෙන් අරගෙන් වතුර බොන්න බෑ කියලයි. පුරුවේ කරපු පවක් නිසා එහෙම වෙලා තියනවය කියලයි ආච්චිලා කියා දුන්නෙ.වහින වෙලාවට උඩ බලාගෙන හිටියම වැටෙන වතුරින් පිපාසෙ සංසිඳව ගන්නවා කියලයි විශ්වාස කළේ ඒ නිසාම කෑදැත්තට අනුකම්පා කරන්න අපිට පුරුදු කළා.කොහොමටත් ඔය සෑම සතෙක්ම පූරුවේ පව් පල දීලා සත්තු හැටියට ඉපදුණු මිනිස්සු කියලයි ගමේ අපි විශ්වාස කළේ.

දැන් කාලෙ වගේ ගෙයක් ගානෙ බල්ලො හැදීමක් ඒකාලෙ අපේ ගම් වල තිබුණේ නෑ.හැබැයි ගමේ බල්ලො කීප දෙනෙක් හිටියා උනුත් ගමේ කොටසක් හැටියට කාගෙනුත් සැලකුම් ලැබුවා.අපි කුඩා කාලෙ හිටපු මෙහෙම පොදු අයිතියට යටත් බල්ලෙක් තමයි “නවරියනා”.සාමාන්‍ය බල්ලෙකුට වැඩිය දිගින් වැඩි බවක් පෙනුණු කලුයි සුදුයි මිශ්‍ර ලොම් තිබුණු නවරියනා බොහොම අහිංසක සතෙක්.ඌට ඉන්න නිශ්චිත ගෙයක් නෑ.හැබැයි හැම ගෙදරක්ම “නවරියනා “ට සැලකුවා.අපේ ගේ ළඟ පාරේදිගේ කඩිනම් ගමනින් උඩහට යන නවරියනව දකින අපේ තාත්ත “නවරියනෝ වරෙන් බත් ටිකක් කාල පලයන්” කිව්වම මූණ උස්සල බලල නැට්ට වනාගෙන ගෙදරට ගොඩවෙන නවරියනා.මස් හරි මාලු හරි එක්ක බත් කන්න දුන්නොත් රාත්‍රියටත් නවතිනවා .තාත්තා නිදා ගන්න ඉස්තෝප්පුවෙ ඇඳේ පාමුලින් ගෝනියක් එළලා නවරියනට නිදාගන්න හදල දෙනව. රෑට නැවතුණත් පහු වෙනිදාද නවරියනා උගේ ගමන යනවා. ඔය විදියට රෑවුණු තැන ගෙදර නවරියනගෙ වාසස්ථානෙ වෙනවා.කවුරුවත් ඌට හිරිහැර කළේ නෑ.ඔය නවරියනා වගේම තව බල්ලෙක් හිටියා උගේ නම කළුවා.කලුවත් නිතරම ගමේ සංචාරය කරපු බල්ලෙක් .ඌටත් සාමුහික අයිතියට යටත් එකෙක්.දවසක් අපේ තාත්තා උඩහ ගෙදරක ආච්චි කෙනෙක් නැතිවෙලා මළ ගෙදර ඉඳල මහ රාත්‍රියෙ ගෙදර එන්න හදන කොට මළ ගෙදර හිටපු අය කිව්වලු; දැන් මැදියම් යාමෙ දොල ළඟ කළු බල්ලා ඉන්න පුලුවන් පරිස්සමින් කියල.කළු බල්ල කියන්නෙ යක්ෂ අවතාරයක් අඟවන්න කියන සංකේත නාමයක්.”කමක් නෑ හිටියොත් ගෙදර එක්ක ගිහින් කන්න ටිකක්දෙනව” කියල මළගෙදරින් පිටත් වුණු තාත්තා දොල ළඟ ඒදණ්ඩට ටෝච් එළිය ඇල්ලුවම මළගෙදරදි කියවුණා වගේම ඒදන්ඩෙ අනික් ගොඩේ කළුපාට බල්ලෙක් ඉඳල.එකපාරටම මළගෙදරදි කියපු කතාව මතක් වුණාට අපේ තාත්තා විශ්වාස කළේ නෑ; මිනිස්සුන්ට හානියක් කරන්න පුලුවන් යක්ෂයො ඉන්න බවක්.ඒනිසා “හා කළුවො වරෙන් යන්න” කිව්වම කලු බල්ලා නැට්ට වන වනා ඒදන්ඩට ගොඩ වෙලා තත්ත ලඟට ආවලු.ඊට පස්සෙ තාත්ත එක්ක ගෙදරටම ආපු කලු බල්ලට බත් පිඟානෙන් බාගයකුත් දීල ගෝනි කෑල්ලක් දාල නිදගන්න ඇඳ පාමුල හදල දුන්නා.වෙන මිනිහෙකුටනම් දහ අට සන්නිය නටවන්න වෙන වැඩක් තමයි වුණේ කියල ඔය සිද්ධිය තාත්තා ඉන්දැද්දි ඔය සිද්ධිය රස කර කර ආවර්ජනය කරනවා.

ඊළඟට ගමේ ගෙවතුවල ගැවසෙන වඳුරො ඉන්නවා. බොහෝ විට රැලෙන් වෙන්වුණු තනි වඳුරෙක් තමයි ගෙවතුවලට පුරුදු වෙන්නේ.අපි කුඩා කාලෙ ඔහොම හිටපු වඳුරෙක් තමයි කිරා කියන්නෙ.කිරා හිටියෙ ගඟෙන් එගොඩ අපේ ආච්චිලගෙ වතු හරියෙ.ඌ උගේ සංචාරක සීමාව හදාගෙන තිබුණෙ කිලෝමීටර් දෙකක විතර ප්‍රදේශයකටයි.ඒ හරියෙ ගස්වල ගඩා ගෙඩි කොස් ගස්වල ඉදුණුවැල වරකා, අඹගස්වල ගෙඩි, පේර ගස්වලගෙඩි, අළුබෝ වාගෙ ගෙඩි රබර් දලු ආදිය ආහාරයට අරගෙන පුෂ්ටිමත් වුණු වඳුරු රාජයෙක් තමයි කිරා අපි පේර කන කොට අත පාල ඉල්ලන කිරා පේර ගෙඩියක් වීසිකරනකොට අල්ල ගන්නවා.අපි බොරුවට ඒ ප්‍රමාණෙ ගල් පේර වාගේ පේන්න වීසිකරන කොට කිරා අහක බලා ගන්නවා රබර් කට්ටිවල කිරි කපන ගෑණු අයට කිරා ඉන්නව නම් තනියක් නෑ කිරි කපන ගහෙන් ගහට පැනගෙන ඇවිත් ගෑනු අයට තනි රකිනවා.කොච්චර හීලෑ වුණත් කිරා ආවෙ අපේ එගොඩ ආච්චි කිට්ටුවට විතරයි.ආච්චි රොටි පිච්චුවොත් කිරාට රොටි කෑල්ලක් වෙන් කරනවා.කෙසෙල් ගෙඩියක් දෙකක් දෙනවා.ආච්චි ඒවා අතේ තියාගෙන පේර ගහ ලඟට යනකොට ඇවිල්ල අතෙන්ම අරගෙන කිරා ගහ උඩට යනවා.කවදාවත් වෙන කෙනෙක් කෑමක් දික් කළාට ගන්න එන්නෙ නෑ.දවසක් අපි අලුබෝ කඩාගෙන ගඟෙන් නාල ආච්චිලගෙ ගෙදරට යනකොට ගල් වැටිය පහල ඉන්න අපිට ඇහුණා ආච්චි කාට හරි කතා කරනවා.කවුරු හරි ඇවිත් ඇති කියල හිතාගෙන මිදුලට ගොඩ වෙලා බලනකොට ආච්චි කොස් මදුලු සුද්ද කරනවා.කිරා ආච්චි ඉස්සරහ වට්ටියෙ අනික් පැත්තෙ වාඩිවෙල සුද්ද කරල වට්ටියට දාන කොස් මදුලු කනවා.මේක දැකපු මට හිනාගිය සද්දෙට කිරා පැනල ගිහින් කොස් ගහ උඩට නැගල මට කියෙව්වා අපේ ගමේ අය පොඩි අරියාදුවක් තිබුණේ වගා වලට හානි කරන ඌරො ගෝන්නු ඉත්තෑවො එක්කයි.ඒත් ඒ සත්තු ගැබ්බර කාලෙට දඩයම් කරන්නෙ නෑ.මේ සතුන්ගෙන් වෙන හානි වලක්වන්න හේන් වල පැල් රැක්කා.හේනෙ පැල් රකිනකොට ඌරො ගෝන්නු එනවද?කියල ඔත්තු කියන්නෙත් කැලේ කුරුල්ලෙක්.මිනිස්සු ඌට කිව්වෙ හොබරිල්ලා කියල මහ රාත්‍රියෙ හේන අවට කැලෑවෙන් මේ සත්තු එනකොට හොබරිල්ලා කෑගහන්න පටන් ගන්නවා.හොබරිල්ලා කුරුල්ලෙක් කියලා දැනගත්තට ඌව දවල් කාලෙ දැක්කට අඳුනන්න බෑ.මොකද ඌව අඳුරන්නෙ කෑගහන සද්දෙනුයි එතකොට පැලේ ඉන්න අය කෑගහල සත්තු එලෝනව.

ඔන්න ඔය විදියටයි අපේ ගම්වල එදා හිටපු උදවිය සතුන්ට සැලකුවේ.සත්ව හිංසාවක් තිබුණෙම නෑ කිව්ව හැකි.කොයි සතාටත් ගමේ ඉඩ තිබිය යුතුයි කියල හිතාගෙන තමයි මිනිස්සු ක්‍රියා කළේ .අනික සත්තු හැටියට උපදින්නෙ පව් කරපු නිසා උන්ට හිරිහැර කිරීම නොකළ යුතුයි කියලයි ගැමියො හිතුවෙ.මනුස්සයගෙ යුතුකම සතුන්ටත් ජීවත්වෙන්න ඉඩදෙන එක කියලයි ඒ කාලෙ කවුරුත් හිතුවෙ.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

උරුමයක අසිරිය