නවසීලන්තය සුනඛ තරග තහනම් කිරීමට සැරසෙයි

තුරඟ තරග හෙවත් ”අශ්ව රේස්” ගැන නම් අපි බොහෝ දෙනෙක් දන්නවා. නමුත් සුනඛ තරග ගැන නම් වැඩි දෙනෙක් අසා නැතුව ඇති. ලෝකයේ රටවල් කිහිපයක මේ ආකාරයෙන් සුනඛ තරග පැවැත්වෙනවා. නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ඇමරිකාව වැනි රටවල් ඊට නිදසුන් ලෙස දක්වන්න පිලිවන්. මෙම සුනඛ තරග ඉංග්‍රිසි බසින් හැඳින්වෙන්නේ Greyhound Racing යන නමින්. එයට හේතුව මෙම තරග සඳහා යොදා ගනු ලබන්නේ ග්‍රේහවුන්ඩ් නමින් හැඳින්වෙන සුනඛ වර්ගය වීම යි. ග්‍රේහවුන්ඩ් යනු දිග පාද ඇති, වේගයෙන් දිවිය හැකි සුනඛ වර්ගයක්.

පසුගිය දිනවල මෙම සුනඛ තරග ගැන මාධ්‍ය තුළ යම් අවධානයක් යොමුව තිබුණා. එයට හේතු වී තිබුණේ නවසීලන්තය මෙම තරග තහනම් කිරීමට සූදානම් වීම යි. මෙම තරගවලට යොදා ගන්නා සුනඛයන්ට වන අනතුරු සහ ආබාධ මෑත කාලයේ බෙහෙවින් ඉහළ ගොස් තිබීම නිසායි නවසීලන්තය මෙවැනි තහනමක් පැනවීමට සූදානම් වන්නේ. මෙම සුනඛයන් ගේ භාරකාරයින් සුනඛයන්ට අයහපත් ආකාරයෙන් සලකන බවටත්, සමහර අවස්ථාවල විවිධ උත්තේජක ලබා දෙන බවටත් දැන් කලෙක සිටම චෝදනා එල්ල වෙමින් තිබෙනවා.

නවසීලන්ත රජය අදහස් කරන්නේ තව මාස 20 ක කාලයක් තුළ මෙම කර්මාන්තය නතර කර දැමීමට යි. මාස 20 ක කාලයක් ලබා දී ඇත්තේ දැනට එහි නිරත අයට වෙනත් ආදායම් මාර්ග සොයා ගැනීමට යම් කාලයක් අවශ්‍ය නිසා යි.

“මෙම කර්මාන්තය තුළ මෑත කාලයේ යම් ප්‍රගතියක් දක්නට ලැබුණත් තුවාලවලට සහ ආබාධවලට ලක්වන සුනඛයින්ගේ ප්‍රතිශතය තවමත් ඉතා ඉහළ මට්ටමකයි තිබෙන්නේ” එසේ පවසා තිබුණේ නවසීලන්තයේ මෙම විෂයය භාර ඇමැතිවරයා වන වින්ස්ටන් පීටර්ස්. ”මේ නිසා මෙම සතුන්ගේ යහපත වෙනුවෙන් යම් තීරණයක් ගැනීමට කාලය පැමිණ තිබෙනවා” ඔහු තවදුරටත් සඳහන් කර තිබුණා.

පසුගිය කාලයේ නවසීලන්තයේ මෙම සුනඛ තරග කර්මාන්තය ගැන විමර්ශණ කිහිපයක්ම පවත්වා තිබෙනවා. 2021 වසරේ මෙම ග්‍රේහවුන්ඩ් සුනඛයන් 232 දෙනෙකු මරණයට පත්ව තිබූ බවත්, 900 දෙනෙකු තුවාල ලැබූ බවත් එක් විමර්ශණයකින් හෙලි වී තිබුණා. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය මෙම කර්මාන්තයේ නිරත පාර්ශ්වවලට එකල යම් අනතුරු ඇඟවීමක් කළ බව සඳහන්. නමුත් තත්වයෙහි සැලකිය යුතු ප්‍රගතියක් ඇතිව තිබුණේ නැහැ. එයින් පසුව ගත වූ වසර දෙකහමාරක කාලය තුළ තවත් සුනඛයින් 2,500 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල සහ ආබාධවලට ලක්ව තිබූ අතර සුනඛයින් 30 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව තිබුණා.

සුනඛ තරග පැවැත්වෙන ආකාර දෙකක් තිබෙනවා. එක් ආකාරයක් පැවැත්වෙන්නේ ධාවන පථයක යි. තුරග තරගවලට සමාන ආකාරයෙන් තමයි මෙම තරගත් පවත්වනු ලබන්නේ. සුනඛයින්ව ධාවනය සඳහා පොළඹවන යම් කෘත්‍රිම මෙවලමක් මෙහි දී සුනඛයන්ට ඉදිරියෙන් ධාවනය කෙරෙනවා. සුනඛයන් කරන්නේ ඒ පසුපස හඹා යාමයි. හාවකු වැනි ෂතකුගේ අනුරුවක් ද ඇතැම් අවස්ථාවල යොදා ගන්නා බව සඳහන්. තුරග තරගවල දී මෙන්ම මෙම සුනඛ තරගවලදී ද ප්‍රේක්‍ෂකයන් ඔට්ටු ඇල්ලීමෙහි යෙදෙනවා.

සුනඛ තරග පැවැත්වෙන අනෙක් ආකාරය නම් සැබෑ සාවුන් පසුපස හඹා යාමයි. වඩාත් පැරණි ක්‍රමය මෙය යි. නමුත් මෙම ක්‍රමය මේ වනවිට බොහෝ රටවල තහනම් කරලයි තිබෙන්නේ. එය ඉතා කෲර ක්‍රීඩාවක් බවට දැඩි විවේචන එල්ල වුණා.

පළමු ආකාරයේ සුනඛ තරග ද තහනම් කිරීමට නවසීලන්ත රජය පසුගිය දා ගත් තීරණය සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කාලයක් තිස්සේ සටන් කරමින් සිටින සංවිධානවල මහත් පැසුසමට ලක්ව තිබෙනු දැකිය හැකියි.

Safe නැමැති සංවිධානය පවසන්නේ මෙය සතුන්ගේ අයිතිවාසිකම්වලට අදාළව ලැබුණු සුවිසල් ජයග්‍රහණයක් බව යි. මෙම සංවිධානය ඉහත කී ආකාරයේ තරග තහනම් කරවා ගැනීම සඳහා පසුගිය කාලයේ විශාල කාර්යභාරයක් කරමින් සිටි සංවිධානයක්. SPCA නැමැති තවත් සංවිධානයක් ද මෙම තීරණය මහත් සේ අගය කර තිබූ අතර නවසීලන්තය ගත් මෙම පියවර අනුගමනය කරන මෙන් සුනඛ තරග පවත්වන සෙසු රටවලින් ද ඔවුන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් සුනඛ තරග කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව නම් රජයේ මෙම තීරණය නිසා බෙහෙවින් කණස්සල්ලට පත්ව සිටින ආකාරයක් දැකිය හැකියි. මෙම කර්මාන්තය තුළින් රටට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ගැන ද, මෙම ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරත ව සිටින අයට රැකියා අහිමි වීමේ තත්වය ගැන ද ඔවුන් පෙන්වා දී තිබුණා.

අද පවතින ආකාරයේ සුනඛ තරගවල ආරම්භය සිදු වූයේ 20 වැනි සියවසේ මුල් භාගයේ යි. ඕවන් පැටි්‍රක් ස්මිත් නැමැති ඇමරිකානුවකු මේ සඳහා යොදාගත හැකි කෘත්‍රිම හාවකු නිර්මාණය කිරීමත් සමග මෙම තරග රටාවට මුල පිරුණු බව සඳහන් වෙනවා. 1919 වසරේ තමයි මෙම තරග වඩාත් සංවිධිත ආකාරයෙන් පැවැත්වීම ආරම්භ වී තිබුණේ. එයට පෙර කාලයේ වඩාත්ම පැවැත්වුණේ සැබෑ හාවුන් යොදා ගත් සුනඛ තරග යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර