අදානි ඉන්දියාවේ ධාරාවී නාගරික පැල්පත්වලට කුමක් කරාවිද?

ආසියාවේ විශාලතමය වන ඉන්දියාවේ මුම්බායිහි සුප්‍රකට ධාරාවී නාගරික පැල්පත් සංකීර්ණය (Dharavi Slums) දැවැන්ත වෙනසකට බඳුන් වන්නට නියමිත බවට තොරතුරු වාර්තාවේ. ඉන්දියානු ප්‍රකෝටිපතියකු සහ අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා වූ ගෞතම් අදානි මේ නාගරික පැල්පත් සංකීර්ණය නවීන ජනාවාශයක් බවට පත් කිරීම සඳහා දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට සැරසෙයි. ඔහුට මේ සඳහා වූ අනුමැතිය, අධිකරණ නියෝගයක් නිසා ප්‍රමාද වී තිබුණ ද පසුගිය දා ඒ සඳහා ඔහුට අනුමැතිය ලබා දෙමින් අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් විය. ගෞතම් අදානි ශ්‍රී ලංකාව තුළ ද යම් යම් බලශක්ති යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නට කැමැත්තක් පළ කොට තිබෙන බව පසුගිය කාලය මුළුල්ලේම කතාබහට ලක්විය.

ධාරාවී නාගරික පැල්පත් ප්‍රදේශය

වර්ග කිලෝමීටර් 2.1 ක ටත් වැඩි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින ධාරාවී නාගරික පැල්පත් භූමිය තුළ ආසන්න වශයෙන් මිලියනයක් පමණ ජනතාවක් ජීවත් වෙති. එය හුදෙක් අධික ජනගහනයකින් යුක්ත නාගරික පැල්පත්වලින් පිරි ප්‍රදේශයක් පමණක්ම නොව එයටම ආවේණික වූ සංස්කෘතියක්, කර්මාන්ත සහිත ‘ක්ෂුද්‍ර ලෝකයක්’ ලෙස හැඳින්විය හැක්කකි. 

ගෞතම් අදානි

වර්ග කිලෝමීටර් 2.1 ක ටත් වැඩි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින ධාරාවී නාගරික පැල්පත් භූමිය තුළ ආසන්න වශයෙන් මිලියනයක් පමණ ජනතාවක් ජීවත් වෙති. එය හුදෙක් අධික ජනගහනයකින් යුක්ත නාගරික පැල්පත්වලින් පිරි ප්‍රදේශයක් පමණක්ම නොව එයටම ආවේණික වූ සංස්කෘතියක්, කර්මාන්ත සහිත ‘ක්ෂුද්‍ර ලෝකයක්’ ලෙස හැඳින්විය හැක්කකි. 19 වැනි සියවසේ අවසන් භාගයේ දී පමණ ඇති වූ මෙය මුම්බායි හි කාර්මික ප්‍රබෝධය ඇති වූ සමයේ කම්කරුවන් නවාතැන් ගැනීම පිණිස භාවිත කළ ස්ථානයක් ලෙස මුලින්ම වර්ධනය වන්නට පටන් ගැනුණි. කාලයත් සමග එය සම් භාණ්ඩ, මැටි භාණ්ඩ, රෙදිපිළි කර්මාන්ත සහ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත සහිත කුඩා පරිමාණ කර්මාන්ත කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. ලෝකයේ ඇති ඕනෑම දෙයක් මෙතැන ද ඇති බව සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කාරණයකි. නේකාකාර ආර්ථික ක්‍රියාවලියක් මෙය තුළ සිදුවුව ද, ඉතාමත් පහත් ජීවන තත්ත්වයක්, පහත් සනීපාරක්ෂක මට්ටමක් සහ මූලික අවශ්‍යතාවන්වලට සීමිත ප්‍රවේශයක් ඇති ස්ථානයක් ලෙස ද ප්‍රකටය.

මේ ප්‍රදේශය ප්‍රතිසංවර්ධනය විය යුතුය යන්න කාලයක් තිස්සේ සාකච්ඡාවන්ට බඳුන් වෙමින් පැවතිය ද, නිලධාරිවාදය, නීතිමය සංකීර්ණතා සහ මෙහි වාසය කරන්නන්ගේ විරෝධතා හමුවේ ඒවා ආරම්භ කරන්නට හැකියාවක් ලැබුණේ නැත. දැන් මෙය ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට ඉන්දියානු ප්‍රකෝටිපති අදානි ඉදිරිපත් වී සිටින අතර එය ධාරාවී නාගරික පැල්පත් සංකීර්ණයේ ඉතිහාසය කණපිට හරවනු ඇති බවට ඇතැමුන් අදහස් පළ කරන ආකාරය අසන්නට ලැබේ.

ධාරාවී ප්‍රදේශයට ආවේණික මැටි භාණ්ඩ කර්මාන්තය

මේ ව්‍යාපෘතිය දියත් කරන්නට අපේක්ෂාවෙන් සිටින ගෞතම් අදානි, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාය. ඔහු ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා මෙන්ම ගෝලීය ව්‍යාපාරික ලෝකයේ පතාක යෝධයෙකි. ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යය, ක්‍රීඩා, බලශක්ති උත්පාදනය, යටිතල පහසුකම් සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළුව තවත් ක්ෂේත්‍ර ගණනාවක් පුරාම ව්‍යාප්තව තිබේ. ඔහුගේ නිර්භය ව්‍යපාරික ඥානය ඉන්දීය ආර්ථික භූමිදර්ශනය වෙනස් කරන්නට හේතුවක් විය. ඔහුගේ ව්‍යාපෘති, ඉන්දීය යටිතල පහසුකම් සැපයීමේ කර්මාන්තය අනාගතය කරා ගමන් කරවන්නේ කෙසේද යන්න පිළිබඳ පිළිබිඹුවක් ඇති කරන බව පෙනෙන්නට තිබේ. අදානි බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී පාරිසරික විනාශයක් සිදු කරන බවට සහ මුදල් අවභාවිතාවන් සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී තිබේ. කෙසේ වෙතත් දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ඒවායෙන් ප්‍රතිඵල ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ ඇති හැකියාව පිළිබඳ විවාදයක් නැත. ධාරාවී ව්‍යාපෘතිය යනු හුදෙක් ඔහුට ලැබුණු දැවැන්ත ව්‍යාපෘති අතරින් එකක් පමණක් වන අතර අභියෝගයන්ට මුහුණ දීමට ඔහුගේ ඇති කැමැත්ත මේවා මගින් පෙන්නුම් කරයි.

සංචාරක බෑග් නිෂ්පාදනයට ද ධාරවී ප්‍රකටය

ධාරාවී නාගරික පැල්පත් සංකීර්ණය නවීන ජනාවාශයක් බවට පරිවර්තනය කිරීම සඳහා අදානි ඉදිරිපත් කොට ඇති ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක වටිනාකමකින් යුක්ත වූවකි. ඔහුගේ සැලැස්ම වී ඇත්තේ මේ ප්‍රදේශය නේවාසික, වාණිජ සහ විනෝදාස්වාදය සහිත ප්‍රදේශයක් බවට පත් කිරීමය. මෙහි වෙසෙන කිසිදු පුද්ගලයකු අවතැන් නොවන අයුරින් සෑම පුද්ගලයකුට දැරිය හැකි මුදලකට ලබා ගැනීමට නිවසක්, ව්‍යාපාරික ප්‍රජාව ආකර්ෂණය කර ගත හැකි උසස් මට්ටමේ ව්‍යාපාරික ගොඩනැගිලි, ඉහළ සනීපාරක්ෂාවක්, වඩාත් යහපත් කසල කළමනාකරණ පද්ධතියක් සහිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ දැනට පවතින කුඩා පරිමාණ කර්මාන්ත, දැවැන්ත කර්මාන්ත බවට පත් කරවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඔහුගේ ව්‍යාපෘතියට ඇතුළත් වේ.

ධාරාවී නම සහිත සම් භාණ්ඩ

අදානිගේ ඉලක්කය වන්නේ ධාරාවීවල ඇති සංස්කෘතික සාරය රැක ගනිමින් නවීන නාගරික ප්‍රජාවක් නිර්මාණය කිරීමය. මුම්බායි තත්‍ය දේපළ (real estate) වෙළෙඳ පල පුබුදුවාලමින්, අධික ජනගහනය සහ සනීපාරක්ෂාව ප්‍රමාණවත් නොවීම යන මේ නාගරික පැල්පත් ප්‍රදේශයට දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුමක් ලබා දීමට මේ ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

මේ ව්‍යාපෘතිය හුදෙක් සිහිනයක් පමණක් යැයි බොහෝ දෙනෙකුට හැඟෙන අතරේ මේ සම්බන්ධයෙන් මිශ්‍රිත ප්‍රතිචාරයන් ලැබෙමින් පවතී. මෙයට සහය පළ කරන්නන් පවසා සිටින්නේ මේ ව්‍යාපෘතිය ධාරාවී වැසියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන, මුම්බායි හි ආර්ථිකය සහ සමාජය කණපිට හරවන්නක් වන බවය. ඒ තුළින් වඩාත් යහපත් ජීවන තත්ත්වයක් සහ ආර්ථික අවස්ථාවන් උදා වන බව ඔවුහු පවසති.

ධාරාවී ප්‍රදේශයට ආවේණික මැටි භාණ්ඩ කර්මාන්තය

අදානිගේ පාලනය යටතේ ධාරාවී නාගරික පැල්පත් ප්‍රදේශය ප්‍රතිසංවර්ධනය වීම අනුමානයකින් තොරවම නිර්භීත සහ අවදානම් සහගත ක්‍රියාවකි. හොඳින් සිදුවුවහොත්, එය ඉන්දියාවේ පමණක් නොව සමස්ත ලෝකය මුළුල්ලේම නාගරික නවීකරණ ව්‍යාපෘති උදෙසා මෙය පූර්වාදර්ශයක් සපයනු නිසැකය. අදානි මේ අභියෝගාත්මක සහ පරිණාමීය ගමන ආරම්භ කරන්නට සැරසෙන බැවින් මුළු මහත් ඉන්දියාවම ඔහු දෙස මහත් විමසිල්ලෙන් යුක්තව දෑස් යොමා සිටියි.

සම්භාණ්ඩ නිෂ්පාදනය

කෙසේ නමුත් මේ ව්‍යාපෘතියේ ශක්‍යතාව සහ එය ධාරාවී වැසියන් කෙරෙහි බලපෑම් කරන ආකාරය පිළිබඳ තවත් පිරිසක් කනස්සල්ල පළ කරමින් අදහස් දක්වා සිටිති. ඔවුන් පවසන්නේ මෙහි සියලු පදිංචිකරුවන්ට නව නිවසක් ලැබෙන බවට අදානි පොරොන්දු වුව ද, එය එසේම සිදු වනු ඇතිදැයි සැකයක් පවතින බවය. මේ නිසා යම් පිරිසක් අවතැන් වීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති. ධාරාවී ප්‍රදේශයටම ආවේණික වූ සංස්කෘතියක් පවතින අතර ප්‍රතිසංවර්ධන වැඩපිළිවෙළ නිසා එම අනන්‍යතාව සහමුලින්ම විනාශ වී යා හැකි බව ද ඔවුහු චෝදනා කරති. අදානි මෙතෙක් සිදු කොට ඇති ව්‍යාපෘති පිළිබඳ සැලකිල්ලට ගනිමින් අදහස් දක්වන්නන් පවසා සිටින්නේ ජනතාවට සෙත සැලසීමට වඩා ලාබ ඉපයීමට අදානි දක්වන සැලකිල්ල නිසා මෙහි ජනතාවට මෙයින් සෙතක් සැලසේදැයි සැකයක් පවතින බවය. මේ නිසා මෙහි නිවැසියන්ගේ හඬට ද කන් යොමු කරමින් වඩාත් විනිවිදභාවයෙන් යුක්තව මේ ව්‍යාපෘතිය දියත් කළ යුතු බවට ඔවුහු අවධාරණය කොට සිටිති.

කුණුකසලින් වැසුණු ඇතැම් ස්ථාන

අදානිගේ පාලනය යටතේ ධාරාවී නාගරික පැල්පත් ප්‍රදේශය ප්‍රතිසංවර්ධනය වීම අනුමානයකින් තොරවම නිර්භීත සහ අවදානම් සහගත ක්‍රියාවකි. හොඳින් සිදුවුවහොත්, එය ඉන්දියාවේ පමණක් නොව සමස්ත ලෝකය මුළුල්ලේම නාගරික නවීකරණ ව්‍යාපෘති උදෙසා මෙය පූර්වාදර්ශයක් සපයනු නිසැකය. අදානි මේ අභියෝගාත්මක සහ පරිණාමීය ගමන ආරම්භ කරන්නට සැරසෙන බැවින් මුළු මහත් ඉන්දියාවම ඔහු දෙස මහත් විමසිල්ලෙන් යුක්තව දෑස් යොමා සිටියි.

ධාරාවී, ආලෝකමත් නවීන ආශ්චර්යයක් ලෙස නැගී සිටිනු ඇති ද, නැතහොත් මේ ව්‍යාපෘතියේ ඇති සංකීර්ණත්වයේ බරින් යළි ගොඩ ගනු නොහැකි ලෙස ඇද වැටෙනු ඇති ද යන්න පිළිබඳ කිසිවකුට නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ නොහැකිය. නමුත් එක් දෙයක් නිශ්චිතය. එනම්, ධාරාවියේ පරිවර්තනයේ කතාව එහි අතීතය තරමටම බලගතු දෙයක් ලෙස අනාගත ලෝකය කතා කරනු ඇති බවය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර