මිනිසා සහ තිරිසනා වෙන් කෙරෙන ප්‍රධානතම සාධකය මිනිසුන් හට පමණක් ආවේණික ශිෂ්ටත්වයයි.
ඒ ශිෂ්ටත්වයේ මූලික පදනම විළිබිය මත රඳා පවතී. මිනිසා ගේ විළි බිය ආරක්ෂා වීම පිළිබඳ තීරණාත්මක සාධකය ඇඳුම් පැළඳුම් වන අතර ඇඳුම් පැළඳුම් වලින් තොර මිනිසුන් මිනිස් සමාජයේ ශිෂ්ටත්වය පිළිබඳ සිද්ධාන්ත පවා උල්ලංඝනය කරන්නවුන් බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.
නමුදු, ඒ අතරේ ඇඳුම් පැළඳුම් නම් වන මූලික ශිෂ්ටාචාරගත ලක්ෂණ නොතකන ජන කොටස් පිළිබඳව ද අසන්නට ලැබේ.
තවමත් ලෝකයේ ඉතා දුලබ ලෙස දක්නට ලැබෙන නිර්වස්ත්‍ර ගෝත්‍රිකයන් ඉන් මුල් කොටස ය. එවැනි කොටස වනුයේ ආධ්‍යාත්මික හේතුන් මත ඇඳුම් ඇඳීමෙන් පවා වැළකී හිඳින පූජ්‍ය පක්ෂයයි.
ඒ කවර තත්වයක් යටතේ වුව සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් “ඇඟේ නූල්පටක් වත් නොමැතිව” ප්‍රසිද්ධියේ හැසිරෙන පුද්ගලයකු සමීපයට යාමට කිසිවකුත් කැමති නොවනු ඇත.
විශේෂයෙන් එබඳු පිරිමියකු සමීපයට යාම කාන්තාවකට සිහිනයකින් වත් කළ නොහැක්කකි. එහෙත්, අදටත් ඉන්දියාවේ නිගන්ඨයන් නමින් හඳුන්වන එම නිරුවත් ශ්රමණයන් සමීපයට ගොස් ඔවුන් සමඟ සුහදව කතා බස් කොට බොහෝ දේ දැන උගත් ශ්‍රී ලාංකේය සරසවි ඇදුරු වරියක පිළිබඳ සුවිශේෂී තොරතුරකි මේ.
ඇය කැලණි විශ්ව විද්‍යාලයීය දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ ය.
■ ශාස්ත්‍රීය කටයුතු කියන කාරණේ පැත්තකින් තිබ්බත් ඔබ නිරුවත් ඉන්දියානුවන් පිරිසක් මැද්දට ගියා නේද?
සිද්ධියක් හැටියට ගත්තොත් නම් ඉතින් “ඔව්” කියලා තමයි උත්තර දෙන්න වෙන්නේ.
■ ඔබ අපේ රටේ පවතින සමාජ සංස්කෘතික පසුබිම තුළ හැදුණු වැඩුණු තැනැත්තියක්.ඉතින්, කොහොමද ඔය වගේ දේකට ධෛර්ය උපදවා ගත්තේ?
ඇත්තෙන්ම මට උවමනා වුණේ ඒ මිනිස්සුන් ගේ නිරුවත දිහා බලන්න නෙවෙයි. ඒ නිරුවත් වීම තුළින් ඒ මිනිස්සුන් තුළ පවතින ආගමික, සංස්කෘතික ආධ්‍යාත්මික දෘශ්ඨිය වටහා ගන්න. ඒකට ඉතින් ඇඳුම් ඇඳගෙන ඉන්න අය අතරට ගිහින් හරියන්නේ නැහැනේ.
■ ඔබ ඔය හමුවුණු “නිගන්ඨයා” කියන නම පවා අපේ සමාජයේ අපහාස භාෂණයක්.
ඔව් ඉතින්, නිකම් නිගන්ඨයා කිව්වම නම් එහෙම තමයි. නමුත් ඒ ශ්‍රමණයන්ට ඒ නම හිමිවෙලා තියෙන්නේ ‘නිර් +ග්රන්ථ’ ඒ කියන්නේ බැඳීම් වලින් අත් මිදුණු කියන අරුතින්.
ඒ කොට්ඨාශය ප්‍රායෝගික වශයෙන්ම ලෞකිකත්වයෙන් සහමුලින් අත් මිදිලා තියෙන්නේ. ඇඳුම් කියන්නෙත් ඉතින් ලෞකිකත්වයේ කොටසක් නේ.
■ කොහෙද ඔය ඔබට හමුවුණු නිගන්ඨයෝ හිටියේ ?
මගේ මේ පර්යේෂණ චාරිකාව දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ශ්රවණබෙලගොලා වගේම උතුරු කර්නාටක ප්රාප්තයේ හුම්චා කියන ජෛන ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර ගත කරගෙන සිදු කළේ. ඔය නිගන්ඨ කියන කොට්ඨාශය ජෛන ආගමේ එන ‘මුනි’ නමින් හැඳින්වෙන ලෞකිකත්වය මුලුමනින්ම අතහැරලා ආධ්‍යාත්මික ජීවිත වලට යොමු වුණු කොටසක්. ලෞකිකත්වය මුලුමනින් අතහැරීම සංකේතවත් කරන්න තමයි ඒ මිනිස්සු ශරීරයේ නූල් පටක් වත් නැතුව ඉන්නේ. ඒ අය හඳුන්වන්නේ “දිගම්බර” නමින්.
■ නමුත් ඒ මිනිස්සු එක්තරා විදිහක මානසික රෝගීන් පිරිසක් වෙන්න බැරිද?
හැම ආගමික ඉගැන්වීමක අඩු වැඩි වශයෙන් භක්ති මාර්ගයක් වගේම දාර්ශනික පක්ෂයක් තියනවා. නමුත් ඉන්දියාවෙන් ලෝකයට පහළවුණු බුදු දහම වගේම ඔය ජෛන දහමත් මුලුමනින්ම දාර්ශනිකත්වය පදනම් කර ගත් ශාස්තෘ දේශනා. ඒවා භක්ති මාර්ගයන් විදිහට විපරිනාමය වෙන්න පටන් ගත්තේ පසුකාලීනව.
නමුත් මේ ජෛන දහමේ ආකෘතික පදනම තුළ පිහිටලා තියන දිගම්බර කියන නග්න ශ්‍රමණ වෘතය රකින අයගේ විනය, සංවරය, ශික්ෂාකාරීත්වය දිහා බලනකොට ඒ අය තුළින් කිසිම මානසික ව්‍යාකූලත්වයක් දකින්න බෑ. ඒ වගේම ඒ අයත් ඒ ආගමික ව්‍යුහය තුළ උතුම් තත්වයේ සැළකෙන පිරිසක්. පිටින් බලනකොට තමයි ඒ වගේ අඩු තක්සේරුවකින් පේන්නේ.
■ එතකොට ඔබ කියන්නේ ඔය නිගන්ඨයන් ගේ ජෛන දහමත් බුදු දහම වගේ ශ්‍රේෂ්ඨ එකක් කියලද?
ඔව්, මේ ශාස්තෘ ඉගැන්වීම් දෙකේ මූලිකාංග වල බොහෝ සමානකම් තියනවා. නිර්වාණය, කර්මය,පුනර්භවය, රහත්, වගේ බුදු දහමේ දැක්වෙන කරුණු ජෛන ඉගැන්වීම් වලත් ඒ විදිහටම තියනවා. නමුත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය, වගේ හුදු බෞද්ධ පරමාදර්ශී කොටස් විතරයි ඒවගේ නැත්තේ.
නමුත් බුදු සමයට එකතු වුණු භික්ෂූන්ගේ වස් හාර මාසය ජෛන ආගමේ චතුර්මාස සංවරයට ඒ වගේම බුදු සමයට එකතු වුණු සුවිසි බුදු වරු සංකල්පය ජෛන ආගමේ එන සුවිසි තීර්ථාංකර සංකල්පයට ඉතාම සමානයි. ඒ අනුව ආගමේ ශාස්තෘ වරයා වන නිගන්ඨ නාථ පුත්ත; ඒ කියන්නේ වර්ධමාන මහා වීර ත් ඉතාම ගැඹුරු දර්ශනයක් ලොවට හෙළි කරපු ශාස්තෘ වරයෙක් විදිහට තමයි ඒ සම්බන්ධයෙන් හැදෑරීම් කරපු විද්වතුන් ගේ පොදු මතය. නමුත්, පසුකාලීන බෞද්ධ අටුවා සාහිත්‍යයෙන් එතුමන් තදබල විවේචන වලට ලක්වෙලා තියනවා.
■ අද අපේ රටේ බුදු සමය තුළ ඉතා පැහැදිලි වානිජවාදී නැඹුරුවක් තියනවා. අද මහ ධන කුවේර භික්ෂුන් වහන්සේලා පවා අපේ රටේ ඉන්න බව ප්‍රසිද්ධ රහසක්. ඉන්දියාවේ ජෛන ආගමික පසුබිම තුළත් ඒ වගේ වානිජ වාදී නැඹුරුවක් තිබෙනවාද?
ආගම් කියන්නේ සමාජ සංස්ථා ව්‍යුහයක් නිසා වානිජවාදී නැඹුරුවකින් තොරව කිසිම ආගමක් පවතින්න බැහැ කියන එකනේ ඇත්තම කතාව. ජෛන ආගමික සංස්ථාවේත් ඒ වගේ ‘වානිජවාදී පැතිකඩ දකින්න පුළුවන්. නමුත් එහි විවිධාංගීකරණයට ලක් වුණු පූජක ව්‍යුහයක් දකින්න පුළුවන්.ඒ අතරේ අඛණ්ඩ ශ්‍රමණ සම්ප්රදායක් ද තිබෙනවා.
ඒ අතරේ සුදුවත් හඳින ස්වේතාම්බර කියා ශ්‍රාවක පිරිසක් වෙනම ඉන්නවා. නමුත් මේ නිරුවත් ශ්රමණයන් හඳුන්වන්නේ දසාව ඇඳුම බවට පත් කර ගත් කියන අර්ථය සහිත දිගම්බර යන නමින්.
ඒ අය ප්‍රායෝගික විදිහටම ලෞකිකත්වයෙන් ඈත් වෙලා ඉන්නේ.දවසකට එක ආහාර වේලක් ගන්න ඒ අය අඩුම තරමින් පිඟානක්, කෝප්පයක් වත් පරිහරණය කරන්නේ නැති මේ අය කෑම බීම සේරම දෝතට අර ගෙන තමයි කන්නේ බොන්නේ. ඒ හින්දා ඒ අය ඔය කියන ප්රතිලාභවල හිමිකරුවන් නොවෙයි.
■ ඔය කියන දිගම්බරයන් සමඟ ඔබ සුහදව කතා බස් කලාද?
ඔව්, ඒක ඒ අයට වගේම ඒ අයගේ දායක කාරකාදීන්ට බොහොම සාමාන්‍ය දෙයක්. ඒ ගමනේ දී ඔය අය කතා කරපු කන්නඩ වචන ඉංග්‍රීසියට පරිවර්තනය කළේ “පූජ්යා”කියලා අතිශය රූමත් ඉන්දියානු තරුණියක්. ඒ අයට ඒ මුනිවරුන් ළඟටම යාම සාමාන්‍ය දෙයක්. ඒ මුනිවරුන් ගේ ශරීර සම්බන්ධ ලිංගික කුතුහලයක් ඔවුන් තුළ නැහැ.
■ ජෛන ආගමට අනුව කොහොමද මේ නිගන්ඨයෙක් වෙන්නේ ?
එකපාරටම ඇඳුම් ගලවා දැමූ පමණින් නිගන්ඨ තත්වයට පත් වෙන්නේ නැහැ. ඒකට විධිමත් අනුපූර්වගාමී ශික්ෂා මාර්ගයක් ඔස්සේ මනා පුහුණුවක්, පරිචයක් ලබා ගත යුතුයි.
හරියට අපේ බෞද්ධ සම්ප්රදායේ පැවිදි උපසම්පදාව වගේ.නමුත් හැම ජෛන ශ්‍රමණයෙක්ම දිගම්බර විය යුතු නෑ.ඒක එක ශ්‍රමණ සම්ප්රදායක් විතරයි.
■ මුණි නමින් හැඳින්වෙන දිගම්බරයන් පමණක් හිඳින ආරාමත් තිබෙනවාද?
තුම්කූර් කියන පලාතේ තියන යුගල මුණි කියන ආරාමය ඒ වගේ දිගම්බර මුණි වරුන් දෙන්නෙක් හිඳින තැනක්.ඒත් ඒ දෙන්නාත් මුළුමනින්ම ආධ්‍යාතමික ජීවිත ගත කරන අය මිසක් ලෞකිකත්වය එක්ක කිසිම සම්බන්ධයක් පවත්වා ගෙන යන අය නෙවෙයි.ඒ වගේම ‘මුනි’ වශයෙන් නොහැඳින්වෙන වෙනම පූජක තන්ත්රයකුත් ජෛන ආගමේ තියනවා.
ඒ ආගම පවත්වා ගෙන යන්නේ ඒ සංස්ථා ව්‍යුහය මගින්. ඒවා පවත්වාගෙන යාම කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් වෙනම ප්‍රජාවක් හිඳිනවා. නමුත් ඔය මුණි නමින් හැඳින්වෙන ශ්‍රමණ කොටස මේ ලෝකයේ ජීවත් වෙන්නේ අඩුම තරමින් මහ පොළවට වත් නොදැනෙන තරම් සැහැල්ලුවකින්. ඔවුන් ඒ තරම් ම වගකීම් වලින් අත්මිදුණු පිරිසක්; ඒක තමයි බුදුන් වහන්සේත් භික්ෂුන්ට අනුදැන වදාරපු ක්‍රමය.බුදුන් වහන්සේ නග්න වෘත ප්‍රතික්ෂේප කළා තමයි.
නමුත් භික්ෂුවට විලෙන් විල හැර යන හංසයකු මෙන් සිවුරු බර විතරක් රැගෙන ආරාමයෙන් ආරාමයට සංක්‍රමණය වීමේ හැකියාවක් තිබිය යුතුය කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.ජෛන ආගමේ ආරාම වලට අරක් ගත්තු “මිනිස් බහිරවයන්”නෑ. ඒ අතින් මේ ජෛන ශ්රමණයන් ඉතා විශිෂ්ටයි.
■ ඔබ මේ චාරිකාව සඳහා කොපමණ කාලයක් ගත කළාද?
පසුගිය නොවැම්බර් 30 දා ලංකාවෙන් පිටත් වෙලා මේ දෙසැම්බර් 14 දා නැවත ලංකාවට ආවා.
■ ඔබ මේ ගමන ගියේ තනිවම නේද?
ඔව්.
■ ඔබගේ නවාතැන් පහසුව එහෙම?
මට අවශ්‍ය සියලු පහසුකම් මගේ සංචාරයට අනුග්‍රහය දක්වපු ජෛන පර්යේෂණ මධ්‍යස්ථානයෙන් සළසා දුන්නා; ඔවුන් මට නවාතැන් සපයා දුන්නේ තරු පන්තියේ හෝටල්වල.මගේ මේ සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු කළේ එහේ පළ වෙන “ජන මිත්‍ර”දිනපතා පුවත් පතේ ප්‍රධාන කර්තෘ මදන් ගෞඩා මහත්මයා
■ පොදුවේ ජෛන ආගමිකයන් ගේ ධර්ම ශාස්ත්‍රීය ඥානය කොහොමද?
ඉතාම හොඳයි; සමහරු සංස්කෘතික වගේම පාලි භාෂාවන් ප්‍රගුණ කරලා තියනවා.සමහර දිගම්බර මුනිවරුන් ආධ්‍යාත්මික පක්ෂයට දැඩි නැඹුරුවක් දක්වන අතර ඒ වගේ ධර්ම ශාස්ත්‍රීය පසුබිමක් තියන මුණිවරුන් ද මට මේ ගමනේදී හමුවුණා.
■ ඔය දිගම්බර මුණිවරුන් අතරේ තරුණයනුත් ඉන්න ඇති ?
ඔව්; ඒත් ඉතින් මම ඒ අයගේ ආගමික සංස්කෘතික ආධ්‍යාත්මික පසුබිම හා ආත්මීය සංහිඳියාව ගැන උනන්දු වුණා මිසක් වයස,උස මහත වගේ දේවල් ගැන එච්චර තැකීමක් කළේ නැහැ.ඒවා ඉතින් එච්චර වැදගත් නෑනෙ නේද?
සංවාදය : සහන් සංකල්ප සිල්වා