ඇමරිකානු ඉතිහාසයේ වැඩිම කාලයක් ජීවත් වූ හිටපු ජනාධිපතිවරයා ලෙස වාර්තා පිහිටු වූ ජිමී කාටර් මෙයට ටික දිනකට පෙර අභාවප්‍රාප්ත වුණා. එරට ජනාධිපතිවරුන් අතර වඩාත් කැපී පෙනුණු ජනාධිපතිවරයකු වූ ඔහු ගැන කෙටි සටහනක් මේ.
ජිමී කාටර් ගේ අභාවය සිදු වූයේ පසුගිය 29 වැනි දින යි. එ් වනවිට ඔහු සිය ජීවිතයේ සියවසක් සම්පූර්ණ කර තිබුණා. 1924 ඔක්තෝබර් 1 වැනි දින උපත ලැබූ ඔහු පසුගිය ඔක්තෝබර් 1 වැනි දින තමාගේ 100 වැනි උපන් දිනය සැමරුවා.
ජිමී කාටර් විවාහ වී සිටියේ රොසලීන් ස්මිත් සමග යි. ඔවුන් දෙදෙනාගේ යුග දිවියත් විශාල අවධානයක් දිනාගත් එකක්. පසුගිය වසරේ රොසලීන් මිය යද්දී මේ දෙදෙනා වසර 77 ක කාලයක් විවාහ ජීවිතය ගත කර තිබුණා. ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝම කාලයක් යුග දිවි ගත කළ ජනාධිපතිවරයාත් කාටර්. එ් අතිනුත් ඔහු වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
කාටර් ජනාධිපති ධුරයට පත් වුණේ 1977 වසරේ ජනවාරි මාසයේ යි. 1981 ජනවාරි දක්වා ඔහු එම ධුරය හෙබවුවා. එ් ඇමරිකාවේ 39 වැනි ජනාධිපතිවරයා හැටියට යි.
ජිමී කාටර් අයත් වූයේ ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ඩිමොක්රටික් පක්ෂයට යි. එරට ජනතාව සම්ප්‍රදායික දේශපාලනය ගැන යම් කළකිරීමකින් සිටි කාලයකයි ඔහු ජනාධිපති තරගයට ඉදිරිපත් වුණේ. ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ඉතා කුප්‍රකට සිද්ධියක් වූ වෝටර්ගේට් සිද්ධියේත්, වියට්නාම යුද්ධයේත් කළු පැල්ලම්වලින් එ් වනවිට එරට දේශපාලන ක්ෂේත්රය කිලිටි වී තිබුණා. රට කජු ගොවියකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි කාටර් එරට සම්මත දේශපාලන නායකයන්ට වඩා වෙනස් ප්‍රතිරූපයක් හිමි කරගෙන සිටි කෙනෙක්. ඔහු ජනතාවගේ පිලිගැනීමට ලක් වීමට මෙම වෙනස් ප්රතිරූපයත් හේතුවක් වූ බව පිලිගැනෙනවා.
ජිමී කාටර් ගේ පියා ද රටකජු ගොවියකු වූ අතර ළමා කාලයේ, පවුලේ ආර්ථික අපහසුකම් තිබූ ඇතැම් අවස්ථාවල ජිමී ඔහු ජීවත් වූ ජෝර්ජියාවේ ප්ලේන්ස් නැමැති ප්‍රදේශයේ පාරවල රට කජු විකුණූ බව ද සඳහන් වෙනවා. එකල ඔහු පවුලේ උදවියත් සමග ගොවිබිම්වල වැඩ කර තිබූ බවත් සඳහන්.
එරට ජනාධිපතිවරුන් අතරින් මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දැක් වූ, එ් වෙනුවෙන් ලොකු මෙහෙවරක් ඉටු කළ නායකයකු හැටියටත් කාටර් කීර්තියක් දිනා සිටිනවා. ලෝක සාමය වැනි කාරණා ගැනත් ඔහු විශාල උනන්දුවක් දැක් වූ කෙනෙක්. එකල ඇමරිකානු සමාජයේ පැතිර තිබූ පටු ජාතිවාදී ආකල්පවලට ද ඔහු අනුකූලතාවක් දැක් වූයේ නැහැ. අපි‍්‍රකානු ඇමරිකානුවන් වැනි සුළු ජාතීන් ගේ අයිතීන් වෙනුවෙන් ඔහු නිතර පෙනී සිටියා.
රජයේ නිලතලවලට අපි‍්‍රකානු ඇමරිකානුවන් පත් කිරීමට ද ඔහු පියවර ගෙන තිබුණා. එමෙන්ම ජිමී කාටර් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ද බොහෝ දුරට පෙනී සිටි නායකයකු හැටියට සැලකෙනවා. අද මෙන් නොව ඔහු බලය හෙබ වූ කාලය මෙවැනි විෂමතාවන් වඩාත් දරුණු මට්ටමෙන් පැවති කාලයක්.
ජිමී කාටර් ජාත්‍යන්තර දේශපාලනය තුළ ද කැපී පෙනෙන සේවයක් කළ ජනාධිපතිවරයෙක්. මැද පෙරදිග කලාපයේ එකල පැවැති ගැටුම් සමනය කිරීම සඳහා ඔහු ගේ මැදිහත් වීමෙන් ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර 1978 වසරේ ඓතිහාසික ගිවිසුමක් අත්සන් කෙරුණා. එය හැඳින්වුණේ කෑම්ප් ඬේවිඞ් ගිවිසුම් නමින්. ඊජිප්තුව වෙනුවෙන් හිටපු ජනාධිපති අන්වර් සදාත් ද, ඊශ්‍රායලය වෙනුවෙන් හිටපු අගමැති මෙනාහම් බෙගින් ද මෙම ගිවිසුම්වලට අත්සන් කළා. මෙම නායකයන් මෙවැනි ගිවිසුමක් සඳහා එකඟ කර ගැනීමට හැකි වීම කාටර් ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකුණා.
දේශගුණික විපර්යාස නිසා ඇති වන අර්බුද පිලිබඳවත් ඔහු විශාල උනන්දුවක් දැක්වූවා. එ් මෙවැනි කාරණා ගැන ලෝක නායකයන් වැඩි දෙනෙක් වැඩි උනන්දුවක් නොදැක් වූ කාලයකයි. ඔහු ධවල මන්දිරයේ වහළය මත සූර්ය පැනල සවි කිරීමට ද පියවර ගත් බව සඳහන්. නමුත් ඔහුගෙන් පසු බලයට ආ රොනල්ඞ් රේගන් එ්වා ගලවා දමා තිබුණා.
ජිමී කාටර් ගේ ජනපි‍්‍රයත්වය පසු කාලයේ අඩුවෙන්නට පටන් ගත්තේ ඇමරිකානු ආර්ථිකය තුළ දරුණු අර්බුද මතුවන්නට පටන් ගැනීමත් සමග යි. මේ කාලයේ රට තුළ විරැකියාව ඉහළ යාම ද ලොකු ගැටලූවක් බවට පත් වුණා.
ඉරාන විප්ලවය සිදු වූයේ මේ ආසන්න කාලයේ යි. එම විප්ලවයෙන් පසු එරට සිටි ඇමරිකානුවන් පිරිසක් ප්‍රාණ ඇපයට ගනු ලැබූ අතර ඔවුන් නිදහස් කර ගැනීම සඳහා දියත් කළ මෙහෙයුමක දී ඇමරිකානුවන් කිහිප දෙනෙක් මරණයට පත් වුණා. මෙම සිදුවීම ද කාටර්ට අවාසි සහගත ලෙස බලපෑවා.
මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ 1980 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු විශාල පරාජයක් ලැබීම යි. එම ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ රොනල්ඞ් රේගන්.
2002 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීම ජිමී කාටර්ගේ ජීවිතයේ තවත් වැදගත් සිදුවීමක්. මානව හිමිකම් වෙනුවෙන් ද, ලෝක සාමය වෙනුවෙන් ද, දිළිඳු රටවල සෞඛ්‍ය ගැටලූ විසඳීම වෙනුවෙන් ද ඔහු කළ මෙහෙවර උදෙසා තමයි මෙම සම්මානය පිරිනැමුණේ. මෙවැනි සමාජ සේවා කටයුතු සඳහා ඔහු සහ ඔහුගේ බිරිඳ රොසලින් ස්මිත් එක්ව කාටර් කේන්ද්‍රය නැමැති ආයතනයක් ද පිහිටුවා ගෙන තිබුණා.
ජිමී කාටර් ඉතා සරළ පුද්ගලයකු වූ බවත් පැවසෙනවා. ජනාධිපති පදවියෙන් සමු ගැනීමෙන් පසු ඔහු පූර්ණ කාලීනව ජීවත් වීම සඳහා තෝරාගෙන තිබුණේ දේශපාලනයට පිවිසීමට කලින් ජීවත් වූ නිවසම යි. එය නිදන කාමර දෙකකින් පමණක් සමන්විත වූ තනි තට්ටුවේ නිවසක් වූ බව සඳහන්.
2015 වසරේ කාටර් පිළිකා රෝගයට ගොදුරු වූ අතර ඔහුගේ මව්පියන් ද, සොහොයුරියන් තිදෙනා ද මිය ගොස් තිබුණේ පිළිකා රෝගයෙන්.
ජිමී කාටර් ගේ අවමගුල් උත්සවය රාජ්‍ය ගෞරව සහිතව ජනවාරි 9 වැනි දින පැවැත්වීමට නියමිත යි.
නිහාල් පීරිස්