මාලිමා ආණ්ඩුව බලයට පත්වී තවමත් මාස දෙකක කාලයක් වත් ගෙවී නැත.පරිසරයේ සත්ත්ව ගහනයන් සම්බන්ධයෙන් පවතින සත්‍ය ගැටලූ දැනට සමාජගත කරමින් ඇති තත්වයන්ට වඩා අඩු මට්‍ටමක පවතී.ඒවා කාලයක සිට පවතින ගැටලු සහගත තත්ත්වයන් බැවින් හදිසියේ පිළිතුරු සෙවීමට නොහැකි බව ජනතාවට තේරුම් කරදෙමින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට එම ගැටලු සදහා ස්ථිර විසදුම් ලබාදෙන ලෙස අපි රජයට බල කරන්නෙමු.
වීදි සුනඛ ගහනය වැඩිවීම සම්බන්ධයෙන් වැරදි තොරතුරු මේ වන විට සැලසුම් සහගතව සමාජගත කරමින් සිටින බවක් අපට පෙනේ.2007 වසරේදී සුනඛයන් සපාකෑම නිසා ජලභීතිකාව වැළදී සිදු වූ මිනිස් මරණ සංඛ්‍යාව 63 වූ අතර 2024 වසරේ දී සිදුවූ ජලභීතිකා මිනිස් මරණ 20 න් වීදි සුනඛයන් සපාකෑම නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 11 පමණි.
2007 වසරේ දී සතුන් සපාකෑම නිසා රෝහල්වලට පැමිණෙන රෝගීන්ට ජලභීතිකා එන්නත් ලබාදීමට මිලියන 600 වැය වූ අතර 2024 වසරේදීත් එම මුදල මිලියන 600 පමණි.
2007 වසරේදී ඩොලරයක අගය රුපියල් 150 වූ අතර 2024 වසරේදී ඩොලරයක අගය රුපියල් 300 කි.මේ අනුව 2007 වසරට වඩා ජලභීතිකා එන්නත් 2024 වසරේදී මිලදීගෙන ඇත්තේ ඉන් අඩක් පමණි
මෙයින් වැටහෙන්නේ සුනඛයන්ගේ සපාකෑම් 2007 වසරට වඩා හරි අඩක් අඩුවී ඇති බවයි. මේ ගණනය කිරීමට අනුව සුනඛ ගහනය 2007 වසරට වඩා විශාල අඩුවීමක් 2024 දී පෙන්නුම් කරයි.
සුනඛයන් සපාකෑම නිසා රෝහල් ගත වන රෝගීන්ගේ වාර්තා පරීක්ෂා කිරීමේ දී එම සිද්ධීන්ගෙන් 90% – 95% රෝගීන්ගේ නිවෙස්වලම සිටින සුරතලුන් බව සාක්ෂි සහිතව තහවුරු කළ හැක.ලංකාවේ සුනඛ ගහනයෙන් අයාලේ යන සංඛ්‍යාව 3% පමන ඉතා අඩු ප්‍රමාණයක් වේ.79% අයිතිකරුවන් සිටින එහෙත් නිදැල්ලේ හැසිරෙන සුනඛයන් වේ.
8% පොදු ස්ථානවල කාරුණික මිනිසුන්ගේ රැකවරණය යටතේ නිදැල්ලේ හැසිරෙමින් ජීවත් වේ.10% පමණක් නිවෙස්වල කූඩුවල හෝ බැඳදමා හෝ තාප්පවලින් වටවී ඇති ඉඩක හෝ ජීවත් වේ.
රටේ වීදි සුනඛයන්ගේ ගහනය පාලනය සම්බන්ධයෙන් රජයත්, සත්ත්ව සුභසාධාන සංවිධානත්, 2008 වසරේ සිට ජාතික මට්ටමින් වැඩසටහන් සංවිධානය කරමින් සිටී.
දැනට රටේ බොහෝ ස්ථානවල වීදි සුනඛ ගහනය හොදින් පාලනය වී ඇති අතර, සත්ත්ව සුභසාධන සංවිධාන මෙන්ම පුරවැසියෝ මේ සම්බන්ධයෙන් විශාල දායකත්වයක් දරති.
දැනට සුනඛ ගහනය කළමනාකරනය කිරීම උදෙසා සාර්ථක නියමු ව්‍යාපෘතීන් මහනුවර මහ නගර සභාව, නුවරඑළිය නගර සභාව, අනුරාධපුර මහ නගර සභාව, සීගිරිය සංස්කෘතික භූමිය, කුරුණෑගල නගර සභාව, ගාල්ල, හබරාදූව, අක්මීමන, ඉමදූව, ජාඇල, මීගමුව, කයන්කර්නි හමුදා කදවුර අවට, මන්නාරම් දූපත, පොලොන්නරුව පූජා භූමිය, රත්නපුර නගර සභාව ආශ්‍රිතව සිදුකරන අතර මේ සම්බන්ධයෙන් මනා අධ්‍යයනයක් සිදුකොට රටේ අනෙක් ස්ථානවලත් මනා සැලසුමකින් ආරම්භ කළ හැක.
මෙවැනි සාර්ථක වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී නිරන්තරයෙන් සතුන් මහපාරට ගෙනවිත් දමන සුනඛ අයිතිකරුවන් නිසා වීදි සුනඛ ගැටලුව විසඳීමට අසීරු ගැටලුවක් වී ඇත.නමුත් සැබෑ ගැටලුව හඳුනා නොගෙන සමහර ස්ථානවල පවතින සුලු ගැටලුකාරී තත්ත්වයන් මතු කරමින් වීදි සුනඛයන්ගෙන් විශාල ගැටලුවක් ඇති බව හුවා දක්වන බවක් අපට පෙනේ.
වගකීමකින් සුරතලුන් ඇතිකිරීමට බලකිරීම උදෙසා නීති අන පනත් අවශ්‍ය වේ.
මේ සදහා “ජලභීතිකා ආඥා පනතත්” “සත්ත්ව සුභසාදන පනතත්” ඉතා ඉක්මනින් යාවත්කාලීන කරගත යුතුව ඇත.තවත් සමහර විද්වත්හු වීදි සුනඛයන් සදහා අනාථාගාර ඇතිකිරීමට සැලසුම් කරමින් සිටිති.සුනඛ අනාථාගාර දැනට ලෝකයේ කිසිදු රටක ක්‍රියාත්මක නොකරන අතර අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස ඉවත්කොට තිබේ.ලංකාවේ අවස්ථා ගණනාවකදී සුනඛ අනාථාගාර ආරම්භ කළත් ඒවා වසා දැමීමට සිදුවූයේ තවත් අර්බුද ගනනාවක් ඇතිකරමිනුයි.
ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් සුනඛයන්ට ඉතා ආදරය, කරුණාව දක්වන බැවින් සුනඛ ගහනය පාලනය උදෙසා ඇතිකරන ජාතික ප්‍රතිපත්තියක් සාර්ථක කර ගැනීමට ඔවුන් හැකි පමණින් දැනටත් වඩා සහයෝගය ලබාදෙන බව සහතික ය.ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ සුනඛ ගහනය පාලනය කිරීමටත්, ඒ හා බැඳුණු ජලභීතිකාව තුරන් කිරීමටත් ඉතා ඉක්මනින් සියලු පාර්ශවයන් ඒකාබද්ධ වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසයි.
එසේ නොකොට රිලවුන් සම්බන්ධයෙන් හා වන අලින් සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කළ අසාර්ථක ක්‍රියාමාර්ග සුනඛයන් සම්බන්ධයෙන් ආරම්භ කළ හොත් ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වනු නොඅනුමාන ය.
සත්ව ගහනය මානුෂීය කළමනාකරණය සඳහා වන පශු වෛද්‍යවරුන්ගේ සංගමය