කොළඹ – බදුල්ල දුම්රිය සංචාරය ලෝකයේ ආකර්ෂණීයතම දුම්රිය ගමන් අතරින් හත් වැනි තැනට! ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) ශ්‍රේණිගත කරයි

සංචාරකයන්ට මග පෙන්වන ලොව ප්‍රමුඛ පෙළේ ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) සමාගම මගින් කොළඹ සිට බදුල්ල දක්වා වූ දුම්රිය සංචාරය ලෝකයේ ආකර්ෂණීයතම දුම්රිය ගමන් අතරින් 7 වැනි තැනට ශ්‍රේණිගත කර තිබේ. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙය ශ්‍රී ලංකාව ලද සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය. මේ දුම්රිය චාරිකාව තුළින් අසමසම වූ ශ්‍රී ලාංකේය සොබා සෞන්දර්යය සහ සමෘද්ධිමත් සංස්කෘතිය අත්විඳ ගැනීමට සංචාරකයන්ට මහඟු අවස්ථාවක් සැලසෙන බව එකී සමාගම විශේෂයෙන් සඳහන් කරයි.

‘ලෝන්ලි ප්ලැනට්’ සමාගම ලොව පුරා ඉමහත් ජන ප්‍රසාදයට පත් සංචාරක මාර්ගෝපදේශක ආයතනයකි. එමගින් ලෝකයේ සංචාරක ස්ථාන පිළිබඳ බොහෝ පතපොත ද ප්‍රකාශනයට පත් කරයි. වර්ෂ 1973 දී ආරම්භ කරන ලද මේ සමාගම සවිස්තර මාර්ගෝපදේශ සැපයීම, සංචාරක ස්ථාන නිර්දේශ කිරීම සහ සංස්කෘතිකමය වටිනාකම් ඉස්මතු කොට දැක්වීම තුළින් ලොව පුරා මිලියන ගණනක සංචාරක ආකර්ෂණය දිනා ගෙන තිබේ. සංචාරකයන් නරඹන්නට බලාපොරොත්තු වන ස්ථාන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම ද මේ සමාගමේ එක් සුවිශේෂ කාර්යයකි. ඔවුහු දශක ගණනාවක් තිස්සේ සිය කීර්ති නාමය අඛණ්ඩව ආරක්ෂා කර ගන්නට සමත්ව සිටිති.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා වූ දුම්රිය චාරිකාව ඉංජිනේරු ශිල්පයේ විස්මය සහ සොබා දහමේ ආශ්චර්යය එකිනෙක බැඳුණු අපූර්ව එකමුතුවකි. කිලෝමීටර් 290 ක් පුරා විහිදුණු මේ දුම්රිය චාරිකාව කඳු තලා ඔස්සේ විහිද යන තේ වතු, මීදුමෙන් වැසුණු කඳු වැටි, තැන තැන දකින්නට ඇති දිය ඇළි සහ අපූර්ව වූ ගම්මාන පිළිබඳ මිහිර සංචාරකයන්ට අත්විඳින්නට අවස්ථාව සැලසෙයි. ‘ගුවනේ වූ පාලම’ ලෙසින් ප්‍රකට ආරුක්කු නවයේ පාළම (Nine Arches Bridge) ලොව පුරා ඡායාරූප ශිල්පීන්ගේ සහ සොබා සෞන්දර්යයට ඇලුම් කරන්නන්ගේ නොමද ආකර්ෂණයක් දිනා ගන්නට සමත්ව තිබේ.

ආරුක්කු නවයේ පාළම

ලෝන්ලි ප්ලැනට් සමාගම යම් සංචාරක ස්ථානයක් පිළිබඳ ලොව පුරා සංචාරකයන්ට නිර්දේශ කිරීම සඳහා යම්කිසි නිර්ණායක කිහිපයක් අනුගමනය කරයි. එහි දී දර්ශනීය සුන්දරත්වය, සංස්කෘතිකමය වටිනාකම සහ සමස්ත සංචාරක අත්දැකීම කුමනාකාර ද වැනි කාරණා පිළිබඳ සැලකිලිමත් වෙයි. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා වැටුණු දුම්රිය ගමන මේ සෑම නිර්ණායකයක්ම හොඳින්ම සපුරාලන බව පෙනේ. මේ දුම්රිය මාර්ගය වැටී ඇත්තේ මධ්‍යම කඳුකරය ඔස්සේය. ශ්‍රී ලංකාවේ සමස්ත මධ්‍යම කඳුකරයම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගැනුනකි. දුම්රිය ගමනේ වැඩි කොටසක් ලෝක උරුමයක් මැදින්, එය රිසි සේ දැක ගෙන විඳිමින් ගමන් කරන්නට ලෝකයේ සෑම තැනකදීම ලද හැකි අත්දැකීමක් නොවේ. මේ සමස්ත ගමන මුළුල්ලේම සංචාරකයකුට කාර්ය බහුල වෙළෙඳ පොළවල් සිත නිවන ආගමික ස්ථාන ඇතුළුව ශ්‍රී ලංකාවේ දෛනික ගැමි ජීවිතය රිසි සේ දැක ගැනීමට අවස්ථාව සලසයි. යටත් විජිත යුගයේ ඉදි කෙරුණු මේ දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් ඉතිහාසය සහ ඉංජිනේරු විස්මය අත්විඳීමට සංචාරකයකුට ඉඩකඩ විවර කරයි. තැනින් තැන හමුවන අව්‍යාජ ගැමියන්ගේ උණුසුම් පිළිගැනීම්, දුම්රියට ගොඩවන විවිධ වෙළෙඳුන් මේ ගමන පුරාම සිතට දැනෙන්නා වූ සිත නිවන ස්වභාවය ලෝකයේ බොහෝ දුම්රිය ගමන්වල දී අත්විඳිය හැකි දෙයක් නොවේ. එමෙන්ම තවත් සුවිශේෂ කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම සංචාරකයකුට මේ දුම්රිය ගමන විඳ ගැනීම සඳහා ඉතා පහසු ප්‍රවේශයක් පැවතීමය. ලෝකයේ ඇතැම් රටවල මෙවැනි දුම්රිය ගමනක් ආරම්භ වන්නේ අගනුවර සිට වෙනත් දුරින් පිහිටි ස්ථානයකිනි. නමුත් මෙය එසේ නොවේ. මේ සඳහන් කළ බොහෝ කාරණා නිසා කොළඹ කොටුවේ සිට බදුල්ල තෙක් වැටී ඇති සුන්දර දුම්රිය චාරිකාව සංචාරකයන්ගේ නොමද ආදරයට බඳුන්ව තිබීම එක් අතකින් පුදුමයට කාරණයක් ද නොවේ.

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දසුන්

ශ්‍රී ලංකාවේ කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගය හැරුණු විට එවැනි අපූර්ව වූ සංචාරක අත්දැකීමක් විඳ ගත හැකි තවත් දුම්රිය මාර්ග ලෝකයේ බොහෝ රටවල තිබෙන අතර ඒවා අතරින් ලෝන්ලි ප්ලැනට් සමාගම විසින් පිළිගන්නා ලද මාර්ග කිහිපයක් පිළිබඳව ද අපට කතා කළ හැකිය. ඉන් එකක් වන්නේ ස්විට්සර්ලන්තයේ ‘ද ග්ලැසියර් එක්ස්ප්‍රස්’ ය. මෙය ප්‍රකටව ඇත්තේ ලෝකයේ ‘මන්දගාමීම ශීඝ්‍රගාමී දුම්රිය’ (slowest express train in the world) ලෙසිනි. එය එසේ ප්‍රකටව ඇත්තේ ශීඝ්‍රගාමී ලෙස හඳුන්වනු ලැබුව ද අවට සොබා දහම රිසිසේ විඳ ගැනීමට සංචාරකයන්ට ඉඩ සලසමින් එය ඉතාමත් අඩු වේගයකින් ධාවනය කිරීම නිසාය. ස්විට්සර්ලන්තයේ හිමෙන් වැසුණු ඇල්ප්ස් කඳු සහ ගැඹුරු නිම්න මැදින් මේ ගමන වැටී තිබේ.

කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දසුන්

කැනඩාවේ ‘රොකී මවුන්ටනියර්’ (The Rocky Mountaineer) රොකී කඳු අතරින් ගමන් කරමින් ඝන වනාන්තර, නිසල විල් සහ මහේශාඛ්‍ය වූ කඳු ශිඛර විඳ ගනිමින් ගමන් කරන්නට අවස්ථාව සලසා දෙයි. රුසියාවේ ‘සයිබීරියානු දුම්රිය මාර්ගය’ (The Trans-Siberian Railway) ලෝකයේ පවතින තවත් ආකර්ෂණීයතම ගමනක් ලෙස සැලකේ. මොස්කව් සහ ව්ලැඩිවොස්ටොක් යා කරමින් කිලෝමීටර් 9000කටත් වැඩි දුරක් ඔස්සේ වැටී ඇති මේ දුම්රිය ගමන අද්විතීය සංස්කෘතිකමය සහ භූගෝලීය අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව සලසා දෙයි. දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා සිට කේප් ටවුන් දක්වා වැටී ඇති ‘බ්ලූ ට්‍රේන්’ (The Blue Train) සහ නෝර්වේ හි ‘ෆ්ලැම් රේල්වේ’ (The Flam Railway) ද ලෝන්ලි ප්ලැනට් සමාගම විසින් නිර්දේශ කරන දුම්රිය චාරිකා අතර ප්‍රමුඛස්ථානයක පවතී.

ලෝන්ලි ප්ලැනට් සමාගම මගින් ලෝකයේ වඩාත් සුන්දරතම දුම්රිය චාරිකා අතරට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා වූ චාරිකාව ඇතුළත් කිරීම, ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සෞන්දර්යය සහ සමෘද්ධිමත් සංස්කෘතික උරුමය පිළිබඳ සාක්ෂියකි. මේ සම්මානය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීමට පමණක් නොව, ලොව පුරා සිටින සංචාරකයින්ට මෙම නිවර්තන පාරාදීසයේ විස්මය ගවේෂණය කිරීමට වූ ආරාධනාවක් ලෙස ද සැලකිය හැකිය. ලෝන්ලි ප්ලැනට් හි මේ නිර්දේශය ලොව පුරා සංචාරකයන්ට ලබා දෙන්නේ ජීවිතයේ අමතක නොවන මතකයන් සහ වික්‍රමාන්විත චාරිකා අත්දැකීම සොයන්නන්ට මෙයටත් වඩා සොඳුරු, ආකර්ෂණීයතම සහ ආදරණීයතම අත්දැකීමක් හිමි කර දෙන වෙනත් දුම්රිය චාරිකාවක් ලෝකයේ නැතැයි යන පණිවිඩයයි.

ස්විට්සර්ලන්තයේ ‘ද ග්ලැසියර් එක්ස්ප්‍රස්’
ස්විට්සර්ලන්තයේ ‘ද ග්ලැසියර් එක්ස්ප්‍රස්’
කැනඩාවේ ‘රොකී මවුන්ටනියර්’
රුසියාවේ ‘සයිබීරියානු දුම්රිය මාර්ගය’
දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා සිට කේප් ටවුන් දක්වා වැටී ඇති ‘බ්ලූ ට්‍රේන්’
නෝර්වේ හි ‘ෆ්ලැම් රේල්වේ’

 

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්