ජ්‍යොතිෂය කියන්නේ “නැසී ගිය”ශාස්ත්‍රයකටයි

පුද්ගලයින්ගේ ජන්ම කේන්ද්‍ර සෑදීම සඳහා ජ්‍යොතිෂය ඔවුන්ගේ උපන් වෙලාවල් භාවිත කරයි. ජ්‍යොතිෂය යනු තවත් රැකියා ක්ෂේත්‍රයක් පමණක් නිසා අවශ්‍ය වන්නේ වේලාවේ නිවැරදිකම නොව කුමක් හෝ වෙලාවකි. එහි නිවැරදිතාවය ගැන ඔවුන්ට තැකීමක් නැත.

ජ්‍යොතිෂය සත්‍යයක් නම් කෙනෙකුගේ උපන් වේලාවේ නිවැරදිකම කොයිතරම් වැදගත් ද යන්න තේරුම් ගැනීමට ලොකු බුද්ධියක් අවශ්‍ය නැත.

උපන් වෙලාව ගන්නා අවස්ථාව ගැන ජ්‍යෙතීර්වේදීන් අතර එකඟතාවයක් ද නැත.එක් අයෙකු මා සමඟ කියා සිටියේ දරුවාගේ හිස උපදින අවස්ථාව ගත යුතු බවයි.

තවත් අයෙකු කීවේ මුලින්ම ඇස් ඇර මෙලොව එළිය දකින අවස්ථාව ගත යුතු අතර ඇස් ඇරියේ නැත්නම් මුලින්ම කටහඬ නගන අවස්ථාව ගතයුතු බවකි.

පළපුරුදු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකුගෙන් කළ විමසීම්වල දී ඔවුන් දෙදෙනාම පවසා සිටියේ දරු උපත සම්පූර්ණ වී දරුවා අතට ගත් පසු ඔරලෝසුව දෙස බලා වෙලාව සටහන් කරගන්නා බවකි.

වෛද්‍ය කාර්ය මණ්ඩලයට උපදින දරුවාගේත් මවගේත් සෞඛ්‍යය තත්වය ගැන උනන්දු වනවා හැරුණු විට ‘වෙලාව’ ගැන උනන්දුවක් නැත. වෙලාව බලන්නේ වෛද්‍ය කටයුතු සියල්ල හමාර වූ පසුව ය. එය ‘ප්‍රමාද’ වෙලාවකි.

උපන් වෙලාවේ නිවැරදිකම ගැන ජ්‍යොතීර්වේදීන්ට යන්තම් හෝ උනන්දුවක් තිබිණි නම් ජ්‍යොතිෂයට කැපවුණ රාජ්‍ය නායකයන්ට කියා සෑම සූතිකාගාරයකටම එක් ජ්‍යොතිර්වේදියෙකු වෙලාව සටහන් කරන්නෙකු ලෙස සේවයේ යොදාගත හැකිව තිබේ.

මෙවැනි දේ කළා නම් ඔවුන්ගෙන් සිදුවන වැරදි, වෙලාව සටහන් කිරීමේ වැරදි වශයෙන් දැක්වීමට අවස්ථාව නොලැබෙන බව ඔවුහු දැන සිටියහ.

දරුවකුගේ උපන් වේලාව ලබාගන්නේ ඔහු මවුකුසින් බිහිවීමේදී ය. එහෙත්, ඇත්තෙන්ම මව්කුස තුළ සිටියදීත් ඔහු ජීවියෙකි. කොන්ක්‍රීට් වහල විනිවිදගෙන පවා දරු උපත්වල වේලාව ගැන දැනුවත් වන බව කියන ග්‍රහ තාරකාවන්ට මවු කුස සිටින ජීවියා රහසක් වීම අරුමයකි.ජීවියෙකු වශයෙන් දරුවකුගේ ආරම්භය සැලකිය යුත්තේ ඩිම්බ සංසේචනය සිදුවන අවස්ථාවයි.

ස්ත්‍රී පුරුෂ ප්‍රජනක සෛලවල න්‍යෂ්ටි එක්වීමෙන් සෑදෙන මුල්ම ඒකාබද්ධ සෛලය ජීව ආරම්භය වන අතර එසැණින්ම ස්ත්‍රී පුරුෂ භාවය සමේ වර්ණය, උස්මිටිකම් ආදී සියල්ල තීරණය කෙරෙයි. එම සෛලය ගුණනය වී දින ගණනාවකින් උත්තේජවලට ප්‍රතිචාර දක්වයි. පසුව චලන දක්වයි. නමුත් ජ්‍යොතිෂය ජීවියකුගේ එම ආරම්භය ගැන කිසිත් නොදනී.

උපන් වේලාව ලබාගන්නේ එම සත්‍ය ආරම්භයේදී නොව මාස ගණනාවක් ප්‍රමාදවී මවුකුසින් බිහිවන අවස්ථාවේ ය. එය ද හරියට නොවේ. එතැනද විනාඩි ගණනක ප්‍රමාදයකි!

දැරියකගේ මල්වර නැකතක් ලබාගැනීම ද එයට දෙවෙනි නොවේ. මල්වරවීම යනු ස්ත්‍රී ඩිම්බ කෝෂයකින් ප්‍රථමවරට ඩිම්යක් නිකුත්වන අවස්ථාවයි. එහෙත්, සමාජය මෙන්ම ජ්‍යොතිෂය ද මල්වරවීම ලෙස සලකන්නෙත් ප්‍රථම ඩිම්බය නිසරු වී ආර්තවය ඇතිවන අවස්ථාවයි. එය වැඩිවිය පත්වී සති දෙකක් පමණ ප්‍රමාද වූ අවස්ථාවකි.

ප්‍රථම ඩිම්බය යම් හෙයකින් සරු වුවහොත් ජ්‍යොතිර්වේදීන්ට අදාළ දැරියගේ මල්වර නැකත ලබාගත හැකිද?එවැනි අවස්ථාවල ඔවුන්ට කරකියා ගන්නට දෙයක් නැති වෙයි.

ඒ අනුව ජ්‍යොතිෂය දක්වන මල්වර නැකත හරි නම් හැඳින්විය යුත්තේ”මළ වර” නැකතක් ලෙසිනි.

ජ්‍යොතීර්වේදීන් කේන්ද්‍රය සෑදීමට මුලින් සලකා බලන හිරු උදාව ද ඔවුන් සටහන් කරගන්නේ සැබෑ හිරු උදාවට විනාඩි 8.2ක් ප්‍රමාදවයි.

ඊට හේතුව හිරු උදාවේ ආලෝකය අප කරා පැමිණෙන්නට විනාඩි 8.2ක් ගතවීමයි. ඔවුන් එම ප්‍රමාද වෙලාව නිවැරදි කිරීමක් ගැනසිතන්නේ ද නැත.

හිරු හැර අනෙක් ග්‍රහ තාරකාවලින් ද අප කරා ආලෝකය පැමිණෙන්නට වෙනස් වෙනස් කාල ගත වන බව ඔවුන් නොදන්නා සේ ය.මේ සියළු කරුණු වලින් පැහැදිලි වනුයේ ජ්‍යොතිෂය දක්වන සියළුම වේලාවන් ප්‍රමාද බවකි.

ඉංග්‍රීසි භාෂාවේ ප්‍රමාදය හැඳින්වීමට යොදන  Late යන්න නැසීගිය යන අරුත පළ කිරීම පිණිස ද යොදා ගනු ලැබේ.ඒ අනුව බලන විට ජ්‍යොතිෂය යනු ප්‍රායෝගික භාවිතයේ දී නැසී ගිය ශාස්ත්‍රයක් බව ද මේ අනුව පෙනී යනු ඇත.

සැම්සන් ගුණතිලක

එතෙර - මෙතෙර