දුම්රිය E ටිකට් වංචාව CIDයෙන් පරීක්ෂණ

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මොබිටෙල් සමාගම එක්ව ක්‍රියාත්මක කරන ඔන්ලයින් ආසන වෙන් කිරීමේ ක්‍රියාවලියේ දී එම ටිකට්පත් ක්ෂණිකව මිල දී ගෙන වැඩි මිලකට වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට ඊයේ (20) දැන්වීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකර එහි ප්‍රගති වාර්තාවක් ඉතා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණයට දන්වා සිටියේය.

කාලීන පුවත්