ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් දරුණු පිහි ප්‍රහාරයකට ලක් වීම පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනා ගත් සිදුවීමක් වුණා. මෙයට දින කිහිපයකට පෙර ඔහුට මේ ආකාරයෙන් පිහියෙන් ඇන තිබුණේ අලුයම් කාලයක ඔහුගේ නිවසට හොරෙන් ඇතුල් වූ පුද්ගලයකු විසින්. මොහු සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයකු බවයි පැවසෙන්නේ.
සයිෆ් සහ ඔහුගේ බිරිඳ කරීනා කපූර් මේ වනවිට වාසය කරන්නේ මුම්බායි නුවර බන්ද්‍රා නැමැති ප්‍රදේශයේ සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නිවසකයි. මෙම නිවස මෙයට වසර කිහිපයකට පෙර සයිෆ් මිල දී ගෙන තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 24 ක (ලංකා රුපියල් කෝටි 83 ක පමණ) මුදලකට බව සඳහන්.
මාධ්‍ය වාර්තාවල සඳහන් වූ ආකාරයට සයිෆ් ගේ සිරුරේ හය පොලකට ඉහත කී කොල්ලකරු පිහියෙන් ඇන තිබුණා. වහාම රෝහල්ගත කරන ලද සයිෆ්ට බරපතල සැත්කමක් ද කර තිබූ අතර ඔහුගේ කොඳු නාරටිය ආසන්නයේ ඇනී තිබූ පිහි තලයේ කොටසක් ඉවත් කිරීමට සිදු වූ බවත් සඳහන් වෙනවා. ඒ සඳහා කළ සැත්කමට පැය පහකට ආසන්න කාලයක් ගතව තිබුණා.
නිවසේ සේවය කරමින් සිටි හෙදියක තමයි මුලින්ම කොල්ලකරුව දැක තිබුණේ. එම අවස්ථාවේ සයිෆ්-කරීනා යුවළගේ දරුවාගේ කාමරයේ සිටි හෙදියට ඒ අසල නාන කාමරයක් ළඟ සිටි කොල්ලකරු දැක ගන්නට ලැබී තිබුණා. ඉන්දීය රුපියල් මිලියන 10 ක මුදලක් ඉල්ලා ඔහු හෙදියට තර්ජනය කර තිබූ බවත් පැවසෙනවා.
ඔවුන් අතර මෙම කතාබහ සිදු වෙද්දී තමයි සයිෆ් එම ස්ථානයට පැමිණ තිබුණේ. කරීනාත් එම අවස්ථාවේ ඔහු සමග පැමිණ තිබුණා. එහිදී යම් කළබලයක් සිදුව තිබූ අතර කොල්ලකරු සයිෆ්ට පිහියෙන් ඇන තිබුණේ ඒ වෙලාවේයි. ඉන්පසු ඔහු නිවසින් පලා ගොස් තිබුණා.
ලේ ගලන තුවාල සහිතව සිටි සයිෆ් රෝහල වෙත ගෙන ගොස් තිබුණේ ත්‍රී රෝද රියකින්. එම අලුයම් කාලයේ ත්‍රී රෝද රථයක් නතර කර ගැනීම ද බෙහෙවින් අසීරු වී තිබුණා. බොහෝ රථ එහි නොනවත්වා ගොස් තිබූ බව සඳහන්. අවසානයේ සයිෆ් රෝහලට ගෙන යාමට ඉදිරිපත්ව තිබුණේ රානා නැමැති ත්‍රීරෝද රථ රියදුරෙක්. සැත්කමෙන් පසු සයිෆ් මෙම රියදුරා රෝහලට කැඳවා ඔහුට මුදල් ත්‍යාගයක් ද පිරිනමා තිබුණා. සයිෆ්ව රෝහලට ගෙන යද්දී මේ සයිෆ් අලි ඛාන් බවක් රානා නොදැන සිටි බවයි පැවසෙන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෂරිෆුල් ඉස්ලාම් ෂේසාද් නැමැති මොහු බංග්ලාදේශ ජාතිකයකු බව පොලිසිය පවසා තිබුණා. ඔවුන් පවසන ආකාරයට සැකකරු ඉන්දියාවට පැමිණ ඇත්තේ මෙයට මාස හයකට පමණ පෙරයි. තමා පිහි ප්‍රහාරය එල්ල කළේ සයිෆ් අලි ඛාන්ට බවක් ඔහුත් දැන සිට නැහැ. සයිෆ් සහ කරීනා වාසය කරන තට්ටු නිවාස සංකීර්ණයට ඔහු ඇතුල්ව තිබුණේ එහි ජීවත් වන්නේ ධනවත් පුද්ගලයන් බවක් කිසිවෙකු ඔහුට පවසා තිබූ නිසා බව සඳහන්.
කෙසේ හෝ වේවා, මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ නීතිඥයා පවසා තිබුණේ සැකකරුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ඔහුව බොරුවට මෙම සිද්ධියට පැටලවීමේ උත්සාහයක් ඇති බවකුත් නීතිඥයා ප්‍රකාශ කර තිබුණා.
නමුත් පසුගිය දිනවල පොලිසිය සඳහන් කර තිබුණේ සයිෆ්ගේ නිවසේ තිබී සැකකරුගේ ඇඟිලි සලකුණු හමු වී ඇති බවයි. පඩිපෙලක අත් වාරුවේ, නාන කාමරයක දොරේ සහ කුඩා දරුවාගේ කාමරයේ තිබී මෙම ඇඟිලි සලකුණු හමු වී ඇති බව පොලිසිය පවසා තිබෙනවා. මෙය ඉදිරි විමර්ශන කටයුතුවලට ලොකු උදව්වක් වනු ඇති බව විශ්වාස කෙරෙනවා.
සයිෆ්ගේ නිවසට ඇතුල් වීමට පෙර සැකකරු තව නිවාස තුනකට ඇතුල් වීමට උත්සාහ කර ඇති බවකුත් විමර්ශකයන් සඳහන් කර තිබුණා. නමුත් එම නිවාසවලට ඇතුල් වීමට ඔහු ගත් උත්සාහයන් සාර්ථක වී තිබුණේ නැහැ.
ඉහත කී සැකකරු තට්ටු නිවාස සංකීර්ණය පිහිටි ඉඩමට ඇතුල් වී ඇත්තේ තාප්පයකින් පැනීමෙන් බවත් හෙලි වී තිබෙනවා. එම අවස්ථාවේ එහි සිටි ආරක්ෂක නිලධාරීන් තද නින්දේ සිට ඇති බවයි හෙලි වී ඇත්තේ.
මේ වනවිට සයිෆ් රෝහලෙන් නික්ම නැවත නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඔහු කිසිවකුගේ උදව්වකින් තොරව රෝහලෙන් පිටතට ඇවිද එන ආකාරය දැක්වෙන ඡායාරූප මාධ්‍ය තුළ පළ වී තිබුණා.
සයිෆ් මේ ආකාරයෙන් ආධාරයකින් තොරව ඇවිද ඒම ගැන සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් ඇතිව තිබෙනු දැක ගන්නට ලැබුණා. ඔහු සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටියා නම් මේ ආකාරයෙන් පහසුවෙන් ගමන් කරන්නේ කෙසේද යන්න ගැන ඇතැමුන් ප්‍රශ්න කර තිබෙනු දැකිය හැකි වුණා. සමහරුන් පවසා තිබුණේ මෙම සිද්ධිය හුදෙක් ප්‍රචාරය සඳහා මවා පෑ එකක් විය හැකි බවයි.
නමුත් බොහෝ දෙනෙකු එම අදහස නොපිලිගනිමින් සයිෆ් වෙනුවෙන් ද අදහස් දක්වා තිබුණා.
නිහාල් පීරිස්