බිල් ගේට්ස් අලුත් ප්‍රේමය ගැන කතා කරයි

vinivida

සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ මෙන්ම ලෝකයේ ධනවත්ම පුද්ගලයකු ද වන බිල් ගේට්ස් මාධ්‍ය තුළ නිතර පුවත් මවන්නෙකි. නමුත් ඔහු වැඩි වශයෙන්ම එලෙස පුවත් මවන්නේ ව්‍යාපාරික කටයුතු, තාක්ෂණය සම්බන්ධ කාරණා, සමාජ සේවා කටයුතු ආදියට අදාලව ය. කෙසේ හෝ වේවා, මීට වඩා වෙනස් කාරණාවකට අදාලව ද පසුගිය දිනවල බිල් ගේට්ස් මාධ්‍ය තුළ අවධානය දිනාගෙන සිටිනු දැකිය හැකි විය. එම කතාබහ සිදුව තිබුණේ ඔහුගේ වර්තමාන පෙම්වතිය පිලිබඳව ය.

මේ වනවිට 69 වැනි වියෙහි පසු වන ගේට්ස් මුලින් විවාහ වී සිටියේ මෙලින්ඩා ෆ්‍රෙන්ච් ගේට්ස් සමග යි. මේ දෙදෙනාගේ විවාහය සිදු වූයේ 1994 වසරේ ය. නමුත් වසර 27 ක යුග දිවියකින් පසු ඔවුහු 2021 වසරේ එකිනෙකාගෙන් දික්කසාද වූහ.

එයින් ටික කාලයකට පසු බිල් ගේට්ස් අලුත් පෙම්වතියක ඇසුරු කරන බවට තොරතුරු පළ වෙන්නට විය. ඔහුගේ මෙම පෙම්වතිය වූයේ පෝලා හර්ඩ් ය. පෝලා ද ඒ වනවිටත් ප්‍රසිද්ධ චරිතයකි. ඇය කලින් විවාහ වී සිටියේ Oracle නැමැති සුප්‍රකට පරිගණක මෘදුකාංග සමාගමේ ප්‍රධානියා වූ මාක් හර්ඩ් සමග යි. මාක් හර්ඩ් 2019 වසරේ ජීවිතයෙන් සමු ගත්තේය.

බිල් සහ පෝලා හර්ඩ්

බිල් ගේට්ස් සහ පෝලා අතර ආදර සම්බන්ධය ගැන මුලින්ම ආරංචි පළ වීමට පටන් ගත්තේ 2022 සැප්තැම්බර් මාසයේ පමණ ය. මේ කාලයේ ඔවුන් දෙදෙනා ටෙනිස් ක්‍රීඩා තරගාවලි ආදිය නැරඹීම සඳහා පැමිණ සිටින ආකාරය මාධ්‍ය හරහා වාර්තා විය. කෙසේ නමුත් ඔවුන් අතර සම්බන්ධයක් ඇති බව නිල වශයෙන් තහවුරු කෙරුණේ 2023 වසරේ යි.

මාක් සමග විවාහයෙන් පෝලාට දියණියෝ දෙදෙනෙක් ද සිටිති.

බිල් ගේට්ස් සහ පෝලා අතර ආදර සම්බන්ධය ගැන මුලින්ම ආරංචි පළ වීමට පටන් ගත්තේ 2022 සැප්තැම්බර් මාසයේ පමණ ය. මේ කාලයේ ඔවුන් දෙදෙනා ටෙනිස් ක්‍රීඩා තරගාවලි ආදිය නැරඹීම සඳහා පැමිණ සිටින ආකාරය මාධ්‍ය හරහා වාර්තා විය. කෙසේ නමුත් ඔවුන් අතර සම්බන්ධයක් ඇති බව නිල වශයෙන් තහවුරු කෙරුණේ 2023 වසරේ යි.

මේ වසරේ ජුලි-අගෝස්තු මාසවල ප්‍රංශයේ පැවැත්වුණු ඔලිම්පික් තරගාවලිය නැරඹීමට ද ඔවුහු දෙදෙනා පැමිණ සිටියහ. එමෙන්ම තවත් ප්‍රසිද්ධ අවස්ථා කිහිපයක දීම බිල් සහ පෝලා දැක ගත හැකි විය. ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානි ගේ පුතෙකු වන අනන්ත් අම්බානිගේ විවාහය වෙනුවෙන් මේ වසරේ මුල් භාගයේ දැවැන්ත උත්සවයක් පැවැති අතර බිල් සහ පෝලා එයට ද සහභාගි වී සිටියෝය. ඇමරිකාවේ තවත් ධනවත් යුවළක වන මාක් සකර්බර්ග් යුවළ ද එම උත්සවයට ඇරයුම් ලබා සිටියහ.

බිල් ගේට්ස් සහ පෝලා හර්ඩ් විවාහ ගිවිසගෙන ඇති බවට ද 2023 වසරේ මැද භාගයේ පමණ කටකතා පැතිරෙන්නට පටන් ගත්තේය. ඒ පෝලා කිසියම් විශේෂ මුදුවක් පැළඳගෙන සිටිනු දැක ගන්නට ලැබීමත් සමග ය. නමුත් පසුව දැන ගන්නට ලැබුණේ එම කතාවල සත්‍යයක් නොමැති බව යි.

බිල් සහ මෙලින්ඩා

මේ දෙදෙනාගේ ආදර සම්බන්ධයට මේ වනවිට වසර කිහිපයක් ගතව තිබුණත් බිල් ගේට්ස් පෝලා ගැන පළමු වරට ප්‍රසිද්ධියේ කතා කර තිබුණේ මේ ඊයේ පෙරේදා ය. මධ්‍ය තුළ මේ ආදර කතාව ගැන අලුතෙන් අවධානය යොමුවන්නට පටන් ගෙන තිබුණේ ඒ හේතුවෙනි. පසුගිය දිනෙක එක්තරා රූපවාහිනී සේවයක් සමග පැවති සාකච්ඡාවක දී බිල් පවසා තිබුණේ පෝලා වැනි පෙම්වතියක ලැබීම තමා ගේ වාසනාවක් බව යි.

“අපි දෙන්නා ඉතාම සතුටින් කාලය ගත කරනවා. ඔලිම්පික් ඇතුළු තවත් බොහෝ අවස්ථාවන්ටත් අපි පහුගිය කාලේ සහභාගි වුණා. ” ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.

තමාට වයස අවුරුදු 69 ක් වන මේ කාලයේ ජීවිතයේ අන් කවරදාටත් වඩා සතුටින් කල් ගෙවන බවක් පසුගිය ජනවාරි මාසයේ බිල් තවත් සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් මෙලින්ඩාගෙන් දික්කසාද වීම තමා ජීවිතයේ වඩාත්ම පසුතැවිලි වන කාරණය බවක් ද ඔහු පසුගිය කාලයේ පැවසුවේය.

බිල් ගේට්ස් ගේ දෙමව්පියන් වසර 45 ක කාලයක් යුග දිවිය ගත කර තිබිණි. බිල් වරක් පවසා තිබුණේ තමාට ද තම මව්පියන් ගත කළ ආකාරයේ විවාහ දිවියක් ගත කිරීමට අවශ්‍ය වූ බව යි.

“මෙලින්ඩයි මායි මුණ ගැහෙන කොට මම ගොඩක්ම සාර්ථක වෙලා හිටියෙ නැහැ. ඒ සාර්ථකත්වය ඇති වුණේ අපි එක් වුණාට පස්සෙයි” ඔහු සඳහන් කර තිබිණි. “මගේ බොහෝ වැඩ කටයුතුවලට ඇයගේ දායකත්වය ලැබුණා. දික්කසාද වීම අපිට අසීරු කටයුත්තක් වුණා”.

ඔවුන් දෙදෙනා එක්ව ආරම්භ කළ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම නැමැති සමාජ සේවා ආයතනයෙන් ද මෙලින්ඩා පසුව ඉවත් වූවාය. ඇය එම තීරණය ගැනීම ගැන තමා මහත් සේ කණගාටු වූ බව ද බිල් සඳහන් කර තිබිණි.

බිල් ගේට්ස්

බිල් ගේට්ස් තවමත් ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනාට අයත් වන කෙනෙකි. බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව පසුගිය 9 වැනි දින වනවිට ඔහු 7 වැනි ස්ථානයේ පසු වූ අතර ඔහුගේ වත්කම ඇ. ඩොලර් බිලියන 165 ක් ලෙස සඳහන් විය.

දරු මුණුබුරන් ගේ කටයුතුවල දී තමාත්, මෙලින්ඩාත් තවමත් මුණ ගැසෙන බව බිල් ගේට්ස් පවසයි.

“මෙලින්ඩායි, මමයි තවම මුණ ගැහෙනවා. අපිට දරුවන් තුන් දෙනෙක් සහ මුණුබුරු මිණිබිරියන් දෙන්නෙක් සිටිනවා. ඒ නිසා අපේ පවුලේ උත්සව අවස්ථා ගොඩක් තියෙනවා.

“අපේ දරුවන් හොඳින් ජීවත් වෙනවා. ඔවුන්ට හොඳ ගතිගුණ තියෙනවා” යයි ද මාධ්‍ය සමග කළ සාකච්ඡාවකදී බිල් පවසා තිබිණි.

බිල් ගේට්ස් තවමත් ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනාට අයත් වන කෙනෙකි. බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව පසුගිය 9 වැනි දින වනවිට ඔහු 7 වැනි ස්ථානයේ පසු වූ අතර ඔහුගේ වත්කම ඇ. ඩොලර් බිලියන 165 ක් ලෙස සඳහන් විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර