කාන්තා සිරුරු කුලියට දෙන ‘රතු පහන් වීදි’ අපේ රටටත් ?

රට පත්ව ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රජය මේ වන විට කිසිවක් කර කියා ගන්නට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව පෙනේ.

අපනයන ආර්ථිකය පිළිබඳ සැලසුමක් නොමැති නිසා ගංජා අපනයනය කරන්නට ද පසුගිය දා පාර්ලිමේන්තුවේ කතාබහක් ඇති විය. තවත් වරෙක ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පැවසුවේ අප රටේ ද ‘රාත්‍රී ආර්ථිකයක්’ ඇති කළ යුතු බව ය. රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රී කාලයේ සිදුකෙරෙන විවිධ ව්‍යාපාරික කටයුතු ඔස්සේ ධනය ඉපැයීමේ කටයුතු ය.

රජය දැන් එම ආර්ථිකය ඇතිකිරිමේ අරමුණින් පසුවන බව පෙනෙන්නේ රජයේ ඇතැම් අංශ සංචාරක කර්මාන්තයේ විවිධාංගීකරණයේ නාමයෙන් අප රටේ ද කාන්තා සිරුරු කුලියට දෙන ‘රතු පහන් වීදි’ (Red light street) සංස්කෘතියක් පිළිබඳ කතාබහක් ඇතිවෙමින් පවතින නිසා ය.

යහපත් අයුරින් ජීවිත ගොඩ නඟා ගත් සමහරකු ඒ හැකියාව අහිමි වූ ඇතැමුන් නීති හා සදාචාර විරෝධී ක්‍රියාවන්ට යොමු වීම සාමාන්‍ය තත්වයකි,සංවිධිත සමාජ ආර්ථිකයක් තුළින් නිසි සමාජ ආරක්ෂණයක් නොලබන රටවල ජනතාව මෙම අවනතියට ලක් වීමේ පහසු හැකියාවක් පවතින බව අනාවරණය වී තිබේ.

ඒ අනුව බලන විට; දැනට කරුණු සිදුවෙමින් පවතින අන්දමට අප ජාතියක් වශයෙන් එම තත්වයට පත් ව තිබේද? යන සැකය යමකු තුළ පහළ විය හැකිය.

රතු පහන් වීදි යනු මොනවාද? කියා බොහෝ දෙනෙක් තුළ යම් යම් මට්ටමින් අවබෝධයක් තිබෙනවා විය හැකිය. රතු පහන් වීදි යනු ලිංගික සේවය සපයන කන්තාවන් සිටින ස්ථානයන් ය.

මේවා ආලෝක්වත් කොට ඇත්තේ රතු පැහැ විදුලි පහන් වලින් නිසා මේවාට එම නම යෙදී තිබේ.රාගය,කාමාස්වාදය සංකේතනය කිරීම රතු පැහැයෙන් සිදු වන නිසා මෙම ස්ථාන රත් පැහැයෙන් ආලෝකමත් කොට තිබේ.

ඉන්දියාව, තායිලන්තය, ජපානය, සිංගප්පූරුව ආදී වශයෙන් ලෝකයේ සෑම රටකම පාහේ රතු පහන් වීදි දක්නට ලැබේ.

අප අසල්වැසි ඉන්දියාවේ පමණක් රතු පහන් වීදි අටක් පමණ තිබේ.

අප රටේ ද නීතිගත නොකර තිබුණ ද සංචාරක හෝටල් ආශ්‍රිතව සංචාරකයන්ට ලිංගික සේවය සැපයීම සිදුවන බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ නමුත් ලෝකයේ සෙසු රටවල මෙය සිදුවන්නේ නීත්‍යානුකූල රාමුවක් තුළ ය.

ජර්මනිය මේ ලිංගික සේවය සැපයීමේ කර්මාන්තයේ ඉහළින්ම වැජඹෙන රටක් ලෙස ප්‍රකට ය. ක්‍රි.ව. 1200 පමණ අතීතයේ සිට එරට මෙය පැවැත ගෙන එයි. එරට මේ සඳහා කාන්තාවන්ට ඇරයුම් කරන්නේ රැකීරක්ෂා ඇබෑර්තු දැන්වීම් සහ මානව සම්පත් සමාගම් හරහා ය.ඒ යුරෝපා මහාද්වීපයේ ය.

ආසියා මහාද්වීපයේ මේ සඳහා ප්‍රකටම රට ඉන්දියාව වේ. එහි ද වඩාත් ප්‍රකටම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ මුම්බායි හි ‘කාමාතිපුර’ ය. 1795 තරම් ඈත සමයේ බ්‍රිතාන්‍ය සෙබලුන්ගේ මනදොල සැපිරීම සඳහා මෙවැනි ප්‍රදේශ ඉන්දියාවේ පිහිටුවනු ලැබූ අතර ඒවායේ ඉන්දියානු කාන්තාවන්ට අමතරව ජපාන කාන්තාවන් ද සේවය සැලසූ බව වාර්තා වේ.

යුරෝපයේ කෙසේ වෙතත් ඉන්දියානු කාන්තාවන් මේ රැකියාව තෝරා ගෙන ඇත්තේ කැමැත්තෙන් නොවන බව පෙනේ. ඇතැමුන් ආර්ථික ගැටලු විසඳාගැනීමේ අරමුණින් මේ රැකියාව තෝරාගෙන තිබේ.

මෙවැනි ස්ථාන සඳහා කාන්තාවන් සැපයීම කරන පිරිමින්ට රැවටීම නිසා අවසානයේ මෙවැනි ස්ථානවල ජීවිතය නතර කරවන්නට සිදුවුණු කාන්තාවන්ට අපමණ ය. එබැවින් අප සිතනවාට වඩා මේ රතු පහන් වීදිවල අභ්‍යන්තර කතා දුක්ඛදායක ය.

අප රටේ පවතින ආර්ථික අර්බුදය විසඳාගැනීමට දියත් කෙරෙන උපාය මාර්ග ලෙස රතු පහන් වීදි යෝජනා කොට ඇත්තේ මෙවැනි වටපිටාවක් තුළ ය. අප රටේ සංස්කෘතිය තුළ මෙයට කුමනාකාරයේ ඉඩක් ලැබේ ද? යන්න සැක සහිත ය.

මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක වීම තුළ ගම්වල වෙසෙන අහිංසක තරුණියන් මෙවැනි ස්ථානවලට ගාල්වීම කිසිසේත්ම වළක්වාලිය හැක්කක් නොවේ.එමෙන්ම දැනට අප රටේ සෑම නගරයක්,උප නගරයක් පුරාම පැතිර ඇති “ස්පා” හෙවත් සම්බාහන ආයතන වලින් වැඩි කොටස ද මෙලෙස අර්ධ ලිංගික සේවා සපයන බව රහසක් නොවේ.

මෙම ස්ථාන වලින් සායනික වශයෙන් සම්බාහන ප්‍රතිකාර ලබා දෙන ස්ථාන ඇත්තේ අතලොස්සකි.ඒ හැරුණු කොට පුවත් පත් සහ අන්තර්ජාල දැන්වීම් මඟින් “තෙරපි වරියන්” වශයෙන් බඳවා ගන්නා කාන්තාවන් සේවය කරන මෙම ආයතන බොහොමයකට රජයේ ලියා පදිංචිය පවා දී ඇත්තේ එම තෙරපි වරියන්ගේ වෘත්තීය සුදුසුකම් පිළිබඳව පවා කිසිදු විමසීමකින් තොරව ය.

එමෙන්ම ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකුගේ සේවය අව භාවිතා කරමින් පවත්වාගෙන මෙම සම්බාහන ආයතන මඟින් “වහෙන් ඔරෝ” ක්‍රමයට ලිංගික සේවා සපයන බව ප්‍රසිද්ධ රහසකි.

ඒ අනුව මේ වන විට පිඹුරුපත් සැකසෙමින් පවතින අප රටේ ‘රාත්‍රී ආර්ථිකය’සහ ‘රතු පහන් වීදි’මඟින් ඇතිවන ආර්ථික ප්‍රවර්ධනය සේම සංස්කෘතිකමය බිඳ වැටීම තුළින් අප රටේ අනාගතය කෙබඳු ඉරණමකට ලක්වේද? යන්න කාටවත්ම කිව නොහැක.

අපට හැක්කේ සිදුවන්නේ කුමක්දැයි බලා සිටීම පමණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර