කිසිවෙකුටත් ලෙඩ රෝග වැළඳෙන්නේ කලින් දන්වා නොවේ . මෙහිදී උණක්, හෙම්බිරිස්සාවක් හෝ අනෙකුත් සාමාන්‍ය රෝගයක් වැළඳීම එතරම් ගැටලුවක් නො විය හැකි මුත් ඊට එහා ගිය පිළිකා, වකුගඩු අකර්මණ්‍ය වීම, තදබල මානසික රෝග, හදිසි අනතුරු වැනි බරපතළ රෝගයකට මුහුණ දෙන්නට සිදු වුවහොත් රෝගියාට සේම එම පවුලේ අයට ද උද්ගත වන තත්ත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.
මෙහිදී රෝගය නිසා ඇති වන දැඩි පීඩාවට අමතරව ඊට වඩා ප්‍රබල වූ මානසික පීඩාවකට රෝගියා මෙන්ම පවුලේ අයද ලක්වනු ඇත. ඕනෑම කෙනෙකු තමන්ට බරපතළ රෝගයක් වැළඳී ඇති බව මුලින් දැන ගත් විට එය පිළිගැනීමට මැලි වෙයි.ඒ අප අකැමැති දෙයක් සම්බන්ධයෙන් මුලින්ම ඇතිවන නොපිළිගැනීමේ ස්වභාවයයි. මෙහිදී සිතන්නේ බොහෝවිටම වෛද්‍යවරයාට වැරදී ඇති බවකි.
ඊළඟට එය ටිකෙන් ටික පිළිගැනීමට මනස හුරු වන අතර එහෙත් පවුලේ අයගෙන් පරිබාහිරව කිසිවකු දැන ගනීවි යැයි බියෙන් හැකි තරම් කාලයක් රෝගය පිළිබඳ තතු පවුලෙන් බැහැරට යාම වළක්වා ගැනීම සඳහා සියලු දෙනාම කටයුතු කරනු ඇත.
සමාජ අපවාදයට ලක් වන්නට සිදු වේ යැයි බියක් ඇතිවීම, අනෙක් අයගේ වපර ඇස්වලින් මිදී හිඳීම, මෙවැනි අසනීපයක් හටගැනීම ලජ්ජාවට කරුණක් ලෙස සිතීම වැනි හේතූන් මත බොහෝවිට මෙබඳු රෝගීහු සමාජයෙන් වසන් වී සිටීමට උත්සාහ දරති.
ඊළඟ පියවර වන්නේ අකමැත්තෙන් වුවත් රෝගය පිළිගැනීම ය. ඒ පිළිගැනීමත් සමගම තවත් ප්‍රබල ව නැගෙන සිතිවිල්ලක් වන්නේ “ඇයි මටම මෙහෙම වුණේ? ” යන්න ය. මෙය “why me” සංකල්පය ලෙස හඳුන්වයි. ” මං මෙච්චර පින්දහම් කළා.
කොයි තරම් නම් රෝගීන්ට පිහිට වෙලා තියෙනවද ? කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිව ජීවත් වුණා. එහෙම හිටපු අපි වගේ අහිංසකයන්ටමනේ මෙහෙම වෙන්නේ. අර තරම් ලොකු අපරාධ කරන අහවල්ලු කොච්චර හොඳට ජීවත් වෙනවද ?” ආදී වශයෙන් සිතන්නේ ඒ නිසාය. මෙවැනි තත්ත්වයක් තුළ තදබල ආතතියක්, කාංසාවක් ඇතිවිය හැකිය.
මෙලෙස රෝගය පිළිගැනීමෙන් පසු ඊළඟට ගැටුම්කාරී සහ ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණ දීම ආරම්භ වෙයි. රෝගය තමාට තිබෙන බව පිළිගත්තත් රෝගය නිසා එළඹෙන ඊළඟ තත්වයන්ට සිත හදා ගැනීම පහසු වන්නේ නැත.
විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන් සිටින මවක් නම් ” මට නම් මොකක් වුණත් කමක් නෑ, මට බය මගෙ දරුවන් ගැන. මට හදිස්සියේ මොකක් හරි වුණොත් ළමයින්ට මොකද වෙන්නේ?” යැයි සිතමින් දැඩිව ශෝකයට පත් වනු ඇත. මෙහිදී දරුවන් නිසා තමා ජීවත් විය යුතු බව හැඟවුවද යථාර්ථය වන්නේ දරු සෙනෙහස වේශයෙන් පවත්නා ජීවිතාශාවයි.
මෙලෙස තමාට තවදුරටත් තම දරු පවුල වෙනුවෙන් සම්පූර්ණ කිරීමට යුතුකම් ඇතැයි සිතමින් තැවෙන විට දැඩි මානසික බිඳ වැටීමක් සිදුවේ. එවැනි තත්වයකදී සිරුරේ ප්‍රතිශක්තිය හීන වෙයි. එනිසා ප්‍රතිශක්තිය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට නම් යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත් ය.
බරපතළ රෝග වලට ඇතැම් ඇතැම් විට කායික වශයෙන් සාර්ථක ප්‍රතිකාර තිබුණත් මානසික වශයෙන් සිදුවන බිඳවැටීම යළි ස්ථාපිත කර ගැනීම සඳහා යොමු වන අය ඉතාමත් අඩුය. බොහෝ දෙනෙකු ඒ පිළිබඳව දැනුවත් භාවයෙන් තොර වීම සහ දැනගෙන සිටියත් ඒ පිළිබඳව අවධානයක් යොමු නොකිරීම එයට හේතුවයි. රෝගියාගේ තත්ත්වය මෙලෙස පිරිහෙන අතරේ පවුලේ තත්ත්වය තව දුරටත් අවුල් සහගත වේ.
කොරෝනා උවදුර හට ගන්නට පෙර වසර කිහිපයක් පුරා මා ඇතුළු තවත් මනෝ චිකිත්සකවරුන් කණ්ඩායමක් මහරගම අපේක්ෂා රෝහලේ පවුල් උපදේශන ඒකකය සමග එක්ව රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් බොහෝ වැඩසටහන් පැවැත්වීමු. එහිදී අප හා සම්බන්ධ වූ විවිධාකාර වූ පිළිකා රෝගීන් අතරින් එක් අයකු පිළිබඳව පමණක් මෙහි සඳහන් කරමු.
ඇය අවුරුදු විසි අටක තරුණ විවාහක කාන්තාවකි. සැමියා ද ඇගේ වයසේම ය. මේ යුවළට ළදරු පාසලට යන එක් කුඩා දරුවෙක් ද සිටියේය. මෙම කාන්තාව පියයුරු පිළිකාවකින් පීඩා වින්දාය.
ඒ අනුව එක් පියයුරක් ඉවත් කිරීම වෛද්‍ය නිර්දේශය විය. මෙහිදී එම රෝගී කාන්තාවගේ මානසික තත්ත්වය, ඇගේ සැමියාගේ මානසික තත්ත්වය සහ කුඩා දරුවාගේ මානසික තත්ත්වය වෙන වෙනම ගෙන විග්‍රහ කර බැලිය යුතු වූවකි. මෙබඳු බොහෝ ශෝචනීය පුවත් අපේක්ෂා රෝහල තුළ සේම අප සමාජය පුරාමත් කාටත් නොඇසෙන නොදැනෙන නිහඬ ඛේදවාචක ලෙස සැඟවී පවතී.
පවුලේ එක් අයෙකුට බරපතළ රෝගයකට මුහුණ දෙන්නට සිදු වීම තුළම එම පවුලේ අනෙකුත් සියලුම දේවල් බිඳ වැටෙන තත්ත්වයක් උද්ගත කරවයි. මෙයට සාමය සහ සමගිය ද අයත් ය.
ඒ අනුව පවුලේ සෙසු අයගේ ද හැසිරීම්වල ස්වභාවය වෙනස් වෙයි. සියලු දෙනා තුළම එක් එක් ආකාරයෙන් මානසික ආතතිය සහ කාංසාව හටගන්නා අතර ඒවා වයස් මට්ටම අනුව ද වෙනස් වනු ඇත. එසේම දුක එකිනෙකාට බෝවන තත්වයක් ද මේ නිසා නිර්මාණය වෙයි.
මෙහිදී සියල්ලන්ම පසු වන්නේ මානසික ආතතියකිනි. ඔවුන්ගේ ආතතිය පිට වීමේදී බොහෝ විට සුළු දෙයකට පවා කෝපවීම, හඬ නගා කතා නොකළ යුතු දෙයකදී වුවත් කෝපය නිසා නොරුස්නා හඬින් කෑ ගැසීම පවුලේ සාමාජිකයන් තුළ බොහෝ විට දක්නට ලැබේ. මේ ආකාරයට ආතතිය සහ ව්‍යාකූල බව චක්‍රයක් මෙන් එකිනෙකට බද්ධ වෙමින් ඉහළ නැංවෙන තත්ත්වයට පත්වේ.
මේ තත්ත්වය වළකා ගත හැකි ක්‍රමවේදය කුමක්ද ?
මේ සඳහා අත්‍යවශ්‍ය දෙයක් වන්නේ පවුල් චිකිත්සාවයි. මානසිකව සහ සමාජීයව ඇතිවන කඩා වැටීම්වලදී ශක්තිමත්ව ඊට මුහුණ දෙන්නේ කෙසේද? පෙර තිබූ තත්ත්වයට පත් වන්නේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් කිරීම එමගින් සිදු කෙරේ. මෙය හඳුන්වන්නේ මනෝ සමාජීය මැදිහත් වීම ලෙසිනි.
රෝගී වූයේ නිවසේ මව නම් ඇය දරුවන් පිළිබඳව ශෝක වීම යනු එම දරුවන් අතර අඩුපාඩුකම් තිබීම ය. නිදසුනක් ලෙස ” මම නැති වුණොත් ළමයි බඩගින්නෙ. ” යි යම් මවක් කම්පාවට පත් වන්නේ නම් එහි අරුත මව නොමැතිවත තමන්ගේ කෑම බීම පිළියෙළ කර ගන්නට දරුවන් අපොහොසත් වීම ය.
යම් හෙයකින් දරුවන් එවැනි දෙයක් කරගත නොහැකි කුඩා වයසක පසුවන්නේ නම් සැමියාට හෝ මෙම කටයුතුවලට මැදිහත් වීමට හැකියාව තිබිය යුතු ය.
පවුලේ සාමාජිකයන් අතරේ හැම විටම තව කෙනෙක් මත යැපෙන මානසිකත්වයක් පැවතීම තුළ එම යැපීම ලබා දෙන පුද්ගලයා නිරන්තරයෙන් මානසික පීඩාවකට පත්වන අතර එය එම පුද්ගලයාගේ මනසට දැනෙන්නේ බිම තැබීමට අවකාශයක් නොමැතිවම උසුලාගෙන සිටින බරක් ලෙසිනි.
මෙයින් ඒ පුද්ගලයා මහත් වූ වෙහෙසකට, මානසික ආතතියකට පත් වනු ඇත. එම නිසා දරුවන් ඇති දැඩි කළ යුත්තේ තව කෙනෙකු මත යැපෙන මානසිකත්වයකින් තොරව ය.
දරුවන්ට කෑම බීම දීම, ඇති දැඩි කිරීම, ඉගැන්වීම ආදී යුතුකම් ඉටු කළ යුතු බව සැබෑ ය. නමුත් තවදුරටත් එය කළ නොහැකි බාධකයක් පැමිණි විට එම ගැටලුවට තමන් මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව වැටහීමක් දරුවකු තුළ තිබිය යුතු වේ.
පවුල් චිකිත්සාව මෙහිදී ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි .එසේම යුවලකට නම් පවුල් චිකිත්සාවට අමතරව ලිංගික උපදේශනය ද ලබාදිය යුතුවේ. රෝගියා බිරිඳ නම් බොහෝ විට මෙවැනි අවස්ථාවලදී සැමියා මත්පැන් වලට යොමුවීම සුලබව සිදු වේ.
දරුවන් සිය ආතතියට මුහුණ දෙන්නේ තවත් ආකාරයකිනි. රෝගී වුයේ බිරිඳ නම් ඇය තම රෝගය නිසාත්, සැමියා සහ දරුවන්ගේ හැසිරීම් නිසාත් තවදුරටත් ඇගේ මානසික පීඩනය වැඩි වෙයි. මේ සියල්ල ඇගේ රෝගය තවදුරටත් වැඩි දියුණු වීම සඳහා හේතු වනු ඇත.
ඒ නිසා රෝගියාගේ සේම පවුලේ අයගේ ද මනස ශක්තිමත් කිරීමට insight therapy චිකිත්සාව කළ යුතු වේ. එමගින් යථාර්ථය පිළි ගැනීම සඳහා අවබෝධය ඇති කරවයි.
මේ තත්වය පිළිගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කර රෝගියාව සේම පවුලේ අයද ඊට හුරු කරවීම insight therapy වලට ඇතුලත් ය. යම් හෙයකින් රෝගියා මරණාසන්න තත්ත්වයට පත්ව හිඳින්නේ නම් යථාර්ථවාදීව මරණයට මුහුණ දීම සඳහා ඔහුගේ මනස ශක්තිමත් කෙරේ.
සුප්‍රකට ඇමෙරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ පැවසුවේ
” මිනිසාව විනාශ කළ හැකිය. නමුත් පරාජය කළ නොහැකිය ” යනුවෙනි. එලෙස මනස ශක්තිමත් කරන විවිධ ක්‍රම පවුල් උපදේශනය තුළ තිබේ. සතිමත් බව වඩන ආනාපානසති භාවනාව මින් එක් ක්‍රමයකි.
මනස ශක්තිමත් කර ගත් රෝගීන් තම රෝගයෙන් සුවය ලබා වසර කිහිපයකට පසුව අපව හමු වී තිබේ. ඔවුහු ඉතා යහපත් ජීවිත ගත කරති.
ප්‍රවීණ මනෝ චිකිත්සක ආචාර්ය සුරංග අමරකෝන්