වැඩි ධනයක් හිමි කර ගන්නා තැනැත්තාට වැඩි සැපයක් භුක්ති විඳීමට හැකිය යන මතයක් නූතන සමාජය තුළ තිබේ.එහෙත්, ඒ සම්බන්ධ බෞද්ධ විග්‍රහය බොහෝ දෙනෙක් නොදනිති.
ගිහි ජනතාවට වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අර්ථ සම්පත්තිය හෙවත් යහපත් ආර්ථිකයක් (අත්ථි සුඛය) අවශ්‍ය බව බුදු දහමේ දැක්වෙයි. නමුත් එම සම්පත් නිවැරැදිව ලබා ගන්නා ආකාරය හා නිවැරැදිව භුක්ති විඳිය යුතු (භොග සුඛය) ක්රමයන් ගැනත් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ.
ඒ අනුව අප පළමුව අවධාරණය කළ යුත්තේ ගිහි සමාජයේ ධනෝපායනට කෙරෙහි බුදු දහමින් විරෝධයක් දක්වා නැතත් ඒ සඳහා මඟ පෙන්වීමක් කොට ඇති බවකි.අද සමාජයේ බොහෝ දෙනකු ධනය උපයන්නේ “සැපවත් ජීවිතයක්”ඉලක්ක කරගනිමිනි.
එහෙත් මේ සැපය යනු බොහෝ විට අධි සුඛෝපභෝගිත්වය හා ක්ෂණික සුඛාස්වාදය මත පදනම් වන බව පෙනේ.එමෙන්ම වැඩිම මුදලක්,සුවිසල්ම නිවසක්,වටිනාම වාහනයක් ආදී උපභෝග පරිභෝග සම්පත් වල උපරිමය වැඩිම සැපයක් සේ අද බොහෝ දෙනෙක් අර්ථ දක්වති.
නමුත් බෞද්ධ අර්ථ ක්‍රමය සකස් ව ඇත්තේ පුද්ගලයාගේ අධි සුඛෝපභෝගිත්වයට ක්ෂණික සුඛාස්වාදය පරමාදර්ශ කර ගනිමින් නොවේ. දීර්ඝ කාලීනව සතුට සැනසුම රැඳී පවත්නා ආකාරයට ය. කෑම බීම, ඇඳුම් පැළැඳුම්, ඉඳුම් හිටුම් හා බෙහෙත් හේත් ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රධාන මූලිකාංග වන අතර සිවුපසය යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මෙම ප්‍රත්‍ය හතර ය.
සියලු සත්වයෝම ආහාරයෙන් යැපෙති. (සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) මිනිසාට ඇති ලොකුම රෝගය බඩගින්න බව ධම්මපද පාලියේ දී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. (ජීගච්ඡා පරමා රොගා) සියලු දෙනාටම බඩගින්න ඇත.
බඩගින්න ප්‍රධාන ම රෝගය නම් සෑම දෙනාටම මෙම රෝගයට පිළියම් වහාම ලබා දිය යුතු ය.කුසගින්න නම් රෝගයට නිසි පිළියම් නොලැබෙන අවස්ථාවන් හි සමාජය තුළ ප්‍රශ්න ඇති වෙමින් සංකීර්ණත්වයට පත්ව හොරකම, දූෂණය, මං පැහැරීම මෙන්ම කෝළාහල හටගැනීමට ඇති අවකාශය වැළැක්විය නොහැකිය.
අද වන විට අප රටේ සුපිරිසිදු දේශපාලනයක් නොමැති බව කුඩා දරුවන්ට වුව වැටහෙමින් තිබේ.වස්තු කාමයේ අගතියට ගියවුන් පිරිසක් විසින් මහජන සම්පත් සූරා කනු පිණිස දේශපාලනය මාධ්‍යයක් කරගෙන තිබේ.බුදු හිමියන් ද මෙම තත්වය දැක ඇති අන්දම බෞද්ධ ත්‍රිපිටකයේ තිබේ.ඊට කදිම නිදසුනක් ලෙස සංයුක්ත නිකායෙහි මෙන් ම ධම්පදට්ඨ කථාවෙහි ද එක සේ දැක්වෙන පුවතක් මෙසේ ය.
එක්තරා කලෙක භාග්‍යවතුන් වහන්සේ හිමවත වූ ගල් ලෙනක විවේක සුවයෙන් වැඩ සිටිය දී මෙබඳු වූ අදහසක් ඇති විය.’‘මේ රජවරු (පාලකයෝ) ධන සම්පත් රැස්කරනු රිසියෙන් බදු අයකිරීම් ආදී විවිධ ක්‍රම මඟින් මිනිසුන්ට පීඩා පමුණුවති.
එසේ දැඩි බදු අයකිරීම් ආදිය නො කොට මෙම පාලන කටයුතු කළ නොහැකිද?” බුදුන්වහන්සේට පහළ වූ මෙම අදහස දුටු මාරයා ‘බුදු රදුන් දැහැමි ව රජකම් කරනු රිසි වෙති.මා එතුමන් ඒ මඟට යොමු කළ යුතුයැ`යි සිතා බුදුන් හමුවට පැමිණ මෙසේ කීය.
“භාග්‍යවතුන් වහන්ස, සතර ඉද්ධිපාද භාවිත කොට ඇති ඔබ වහන්සේට මෙම හිමාලය පර්වතය වුව ද ඝන රන් පර්වතයක් බවට පත් කරගත හැකි ය. එහෙයින්ම බදු මගින් හෝ වෙනත් කවර හෝ මගෙකින්වත් වස්තු රැස්කිරීම අවශ්‍ය ද නැත.එබැවින් මිනිසුන්ට පීඩා නො වන පරිදි දැහැමෙන් හා සාමයෙන් රාජ්‍යය කරනු මැනවි”.
එවිට මාර්යාගේ ඇරයුම පිළිනොගත් බුදුන් වහන්සේ මාරයා අමතා මෙසේ දෙසූ සේක.“පබ්බතස්ස සුවණණසස-ජාතරූපස්ස කෙවලී-විතතා’පි නාලමෙකස්ස-ඉති වද්වා සමං චරෙ” එහි අරුත මුළු මහත් හිමවත් පව්ව ම ඝන රන් වුවත් එක් අයෙකුගේ මනදොළ පිරවීමටවත් එය ද ප්‍රමාණවත් නොවේ යන්න ය.ධන තෘෂ්නාවේ මෙම අතෘප්තිමත් බව වටහා ගන්නා පුද්ගලයා තම ආසාවන් (ධන තෘෂ්ණාවන්) පාලනය කරගැනුම් පිණිස උත්සාහ කළ යුතු ය.
ධන තෘෂ්ණාවෙන් උන්මාද වන මිනිසා මඩ වගුරෙහි ලගිමින් එහිම වැතිරෙමින් ඉන්ම ආස්වාදයක් ලබන සූකරයන් බවට වන උපමාවක් බුදු දහමේ දැක්වෙයි එය හැඳින්වෙනුයේ තිත්ත සූකර පටිපදා යනුවෙනි.
ගිහියන් කාමාස්වාදයේ යෙදිය යුත්තේ එහි ආස්වාදය සේම ආදිනවය ද දැනගෙන බව බෞද්ධ විග්රහයයි.වර්තමාන සමාජයේ බෞද්ධ අබෞද්ධ භේදයකින් තොරව මෙම නිවැරදි මංපෙත වටහා ගත් සුලුතරයක් ද හිඳින බව ද කිව යුතු ය.
භද්දිය මහ රහතුන් වහන්සේගේ පුවත ද මෙම කරුණ වටහා ගැනුමට ඉතාමත් උචිත නිදසුනකි.උන් වහන්සේ ඈත අතීතයෙහි මහත් වූ යස ඉසුරෙන් සපිරුණ මහ රජ කෙනෙක් ව සිටියහ.
එම රජතුමා ජීවත් වූ ස්වර්ණමය මාළිගාව මෙම මිහිපිට තිබූ අනර්ඝතම මන්දිරය සේ සැලකිණ. එහෙත්, තම වස්තු සම්පත් කෙරෙහි ඇලුම් නොකළ එම රජතුමා තම පින් සිත් වර්ධනය කරගැනුම් හි වඩාත් උනන්දුවක් දැක්වීය.. එහිම ප්‍රතිඵලයක් වශයෙන් අප බුදුරදුන් දවස භද්දිය කුමාරව ඉපිද පැවිදි වී රහත් මගඵල නුවණ ලත් සේක.
දිනක් ගංගා නදිය අසල දී බුදු රජාණන් වහන්සේට මෙම භද්දිය මහ රහතුන් වහන්සේ හමු විය. ඒ ඈත අතීතයෙහි දී ඔබ විසූ රන් මාළිගාව දැන් කොහි දැ? යි විමසූ කල්හි භද්දිය මහ රහතුන් වහන්සේ තම සෘද්ධි බලයෙන් ගංපතුළෙහි සැඟවී තිබූ රන් විමන කාටත් පෙනෙන ලෙසින් උඩට ඔසවන ලද්දේ ය.
එවිට එම මාළිගාවෙහි රැඳී සිටි මත්ස්‍යයන් ඉදිබුවන් හා දිය නයින් වැනි බොහෝ ජලජ සතුන් ජල තලය මත එකා පිට එකා වැටෙන්නට විය. “මේ කවුරුන්දැයි?” බුදුරදුන් විමසූ කල්හි භද්දිය හිමිපාණන්ගේ පිළිතුර මෙය විය.
’‘හිමියනි, එදා මා සමග ම මා සතු මාළිගාවේ විසූ මාගේ නැදෑයෝ එම මාළිගාවට හා එම සම්පත් ආදියට ද ආසා කොට තාමත් ජලජ සතුන් ලෙසින් මෙහි ම ඇලී ගැලී වසති” යනුවෙනි.එහෙත් ඒ රන් මාළිගාවෙහි හිමිකරු වූ භද්දිය කුමරු තම සම්පත්හි නොඇලී සිටිමින් දෙවි මිනිස් දෙගතියෙහි සැරිසරා මෙම භවයෙහි බුදුරදුන් වෙත පැමිණ රහත් බව ලබා ගත්හ.
මජ්ජිම නිකායේ මධ්‍යම පන්නාසකයේ රාජ වග්ගයේ එන මහා රට්ඨපාල සූත්‍ර දේශනාවට අයත් රට්ඨපාල හිමියන් ධනංජය කොරව්‍ය මහරජතුමාට දෙසූ“ඌනො ලොකො අතිනෙත්තා තණභාදාසො”යන ගාථා පාඨය ද මේ සඳහා කදිම නිදසුනකි.
තෘෂ්ණාවට දාස වූ ලෝකයා වස්තු සම්පත් රැස්කිරීම් හා පරිභෝජනය කිරීම් හි ද අතෘප්ත වූයේ හැම දා දුකෙන් ම පසුවෙති යන්න එහි අරුත ය.
ඒ අනුව බුදුන් විසින් ධනෝපායනයට විරුද්ධ නොවූවද එහි ආචාර-විචාර සම්ප්රදායක් අපේක්ෂා කළ බව පැහැදිලි ය.
කදුරුපොකුණේ සුමංගල හිමි