වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා තවදුරටත් මෙහෙයුම්

සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කර නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

මේ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳසැල් වැටලීම තවදුරටත් සිදු කෙරෙයි.

සහල් සඳහා නිකුත් කර ඇති මිල ගණන් වෙනස් කර ඇති බවට සිල්ලර වෙළෙඳුන්ට ප්‍රකාශ කරමින් වැඩි මිලට සහල් අලෙවි කිරීමට ඇතැම් වී මෝල් හිමියන් කටයුතු කරන බවට තොරතුරු ලැබී ති‍බේ.

ඇතැම් තොග වෙළෙඳුන් ද මේ අයුරින් ක්‍රියා කරන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල මෙන්ම උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නැති බවද එම අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220 ක් වන අතර නාඩු සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 230 ක්.

සම්බා සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 240 ක් වන අතර කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260 ක් ලෙසටයි පාරිභෝගික අධිකාරිය දැනුම් දෙයි.

කෙසේ වුවද වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසැල් 5500කට වැඩි ප්‍රමාණයක් විමර්ශනය කර තිබේ.

එයින් වෙළෙඳසැල් 4070 කට එරෙහිව නීතිමය පියවර ගැනුණි.

මෙම වසරේ මාර්තු 12 වනදා දක්වායි මෙම වැටලීම් සිදු කර ඇත.

වත්තල,මතුගම ,පාදුක්ක ,පිටකොටුව, මාවනැල්ල ආදී ප්‍රදේශවල වැටලීම් සිදු කෙරුණි.

ඒ අනුව වෙළෙඳසැල් 139 ක වැටි මිලට සහල් අලෙවි කර තිබේ.

එම වැටලීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

කාලීන පුවත්