Condé Nast Traveler ජාත්‍යන්තර සංචාරක සඟරාව ශ්‍රී ලංකාව පදිංචිය සඳහා ද හොඳම රට කියන්නේ ඇයි?

අප රටේ ජීවත් වන සැලකිය යුතු පිරිසක් වඩාත් දියුණු රටකට සංක්‍රමණය වී සැපවත් ජීවිතයක් ගත කිරීමේ සිහින දකිමින් සිටින බැව් නොරහසකි. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පින්ලන්තය, ඉතාලිය, ප්‍රංශය ආදී ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක්ම ඔවුන්ගේ ලැයිස්තුවේ ඉහළින් ම පවතී. අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමය, ආර්ථික, සමාජ සාධාරණත්වය වැනි කාරණා පිළිබඳ දැඩි කලකිරීමකින් යුක්තව සිටින නමුත් විදෙස් රටකට සංක්‍රමණය වීමේ හැකියාවක් නොමැති සෑහෙන ප්‍රමාණයක් ද සිටිනු දකින්නට ලැබේ. තත්ත්වය එසේ වුවත් මෑතක දී එක්සත් රාජධානිය පදනම් වූ Condé Nast Traveler නම් ජාත්‍යන්තර සංචාරක සඟරාව තමා කළ සමීක්ෂණයක වාර්තාව එළිදක්වා තිබුණු අතර එහි ඇත්තේ අප සියලු දෙනා විස්මයට පත් කරනා තොරතුරකි. නිර්ණායක 24ක් යටතේ රටවල් 82 ක් පුරා ඔවුන් කළ මේ සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව 2025 වසරේ සිය දරු පවුල් සමග සංචාරය කරන්නට පමණක් නොව පදිංචි වීම සඳහා ද හොඳම රට වශයෙන් ඉහළට පැමිණ තිබුණේ ශ්‍රී ලංකාවය. මෙය ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බර විය හැකි කාරණයක් වන නමුත් කිසිසේත්ම අදහාගත හැකි පුවතක් නොවේ. කීර්තිමත් සඟරාවක සමීක්ෂණයක ප්‍රතිඵල මෙසේ වන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුම දෙයක් වන්නේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය පිළිබඳ දැඩි විවේචන තිබුණ ද මේ සඟරාව විසින් මෙහි අධ්‍යාපන ක්‍රමවේදයන්ට ලකුණු 1න් 0.7 ක් ලබා දී තිබේ. එය ලෝකයේ සංවර්ධිත රටවල පවතින අධ්‍යාපන පද්ධති සමග සලකා බැලීමේ දී ඉතා ඉහළ තත්ත්වයකි. කෙසේ නමුත් බොහෝ සංවර්ධිත රටවල්වල ද දකින්නට නැති අන්දමින්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්වා සියල්ල නොමිලේ ලබා ගත හැකි වීම, 92%ක් වැනි ඉහළ සාක්ෂරතාවක් පැවතීම, සියලු දෙනාටම අනිවාර්ය අධ්‍යාපනය ලබා දෙන ආකාරයේ පද්ධතියක් ක්‍රියාත්මක වීම, ජාතික, පළාත් සහ පෞද්ගලික ආදී වශයෙන් ස්ථාවර පාසල් පද්ධතියක් පැවතීම ආදිය මේ ඉහළ ලකුණු ප්‍රමාණයට හේතු වී තිබේ.

මේ හොඳම රටවල් දහය වනුයේ ශ්‍රී ලංකාව, ස්වීඩනය, නෝර්වේ, නවසීලන්තය, අයිස්ලන්තය, ජර්මනිය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එත්සත් ජනපදය ය. ලෝකයේ සංවර්ධිත යැයි සැලකෙන බොහෝ රටවල් ද මේ ලැයිස්තුවේ නොමැති අතර තෝරා ගත් ලැයිස්තුවේ පවා ශ්‍රී ලංකාව හැරුණු විට අනෙක් රටවල් 9 ම සමාජයීය, අධ්‍යාපනික සහ ආර්ථික වශයෙන් ඉතා සංවර්ධිත රටවල්ය.

Condé Nast Traveler සඟරාව සලකා බැලූ නිර්ණායක 24 අතරින් ප්‍රධාන ඒවා කිහිපයක් තිබේ. ඒවා නම් අධ්‍යාපන පද්ධතිය, දරුවන් රැකබලා ගැනීම සඳහා වූ වියදම, සංස්කෘතික සහ විනෝදාස්වාද අවස්ථා, ආගන්තුක සත්කාරය සහ ඉතා ඉක්මනින් ශ්‍රී ලාංකේය සමාජයට අනුගත වීමේ හැකියාව, ජීවන වියදම, පාරිසරික ගුණත්වය, සෞඛ්‍ය පහසුකම් ආදිය ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය පිළිබඳ දැඩි විවේචන තිබුණ ද මේ සඟරාව විසින් මෙහි අධ්‍යාපන ක්‍රමවේදයන්ට ලකුණු 1න් 0.7 ක් ලබා දී තිබේ. එය ලෝකයේ සංවර්ධිත රටවල පවතින අධ්‍යාපන පද්ධති සමග සලකා බැලීමේ දී ඉතා ඉහළ තත්ත්වයකි. කෙසේ නමුත් බොහෝ සංවර්ධිත රටවල්වල ද දකින්නට නැති අන්දමින්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්වා සියල්ල නොමිලේ ලබා ගත හැකි වීම, 92%ක් වැනි ඉහළ සාක්ෂරතාවක් පැවතීම, සියලු දෙනාටම අනිවාර්ය අධ්‍යාපනය ලබා දෙන ආකාරයේ පද්ධතියක් ක්‍රියාත්මක වීම, ජාතික, පළාත් සහ පෞද්ගලික ආදී වශයෙන් ස්ථාවර පාසල් පද්ධතියක් පැවතීම ආදිය මේ ඉහළ ලකුණු ප්‍රමාණයට හේතු වී තිබේ.

දරුවන් රැක බලා ගැනීම සඳහා වූ වියදම මේ සඟරාව විසින් ගණනය කොට ඇති පරිදි වසරකට ඇමරිකානු ඩොලර් 354.60 කි. එය ශ්‍රී ලංකා රුපියල්වලින් 105,000 ක් පමණ වේ. ඇමරිකාව වැනි රටක එම වියදම වසරකට ඇමරිකානු ඩොලර් 16,439.40 කි. රුපියල්වලින් නම් ලක්ෂ 50 කට ආසන්නය. දරුවන් සිටින පවුල් මෙරටට ආකර්ෂණය වන්නට මෙය ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.

සංස්කෘතික සහ විනෝදාස්වාද අවස්ථා පිළිබඳ සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවේ ඇති පිරිපුන් සංස්කෘතික උරුමය, එකිනෙකට වෙනස් වූ වනාන්තර ජීවය, විහිදී පැතිරී පවතින වනෝද්‍යාන, ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ඉතා නොකිලිටි තත්ත්වයේ පවතින වෙරළ තීර ආදිය බොහෝ පවුල්වලට සිය විනෝදාස්වාදය පහසුවෙන් ලබාගැනීම සඳහා අවස්ථාවක් සලසා දී තිබේ. මෑතක සිට ජනප්‍රිය වී ඇති නිවසින් පරිබාහිර විනෝදාස්වාද ක්‍රියාකාරකම් මෙන්ම හෝටල්වලින් ද පවුල් වෙනුවෙන් ලබා දී ඇති විශේෂ පහසුකම් මේ ආකර්ෂණීය බව තවත් ඉහළ නංවන්නට හේතුවක් වී තිබේ.

ශ්‍රී ලංකාව බොහෝ කාලයක පටන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වර්ග කොට තිබුණ ද, ශ්‍රී ලංකාව තුළ පවතින සමාජයීය සහ අපරව්‍යුහ ගුණාංගයන්ගේ සමස්තය එම වර්ගීකරණය මගින් ලඝුකොට සැලකිය නොහැකිය. ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපනික තත්ත්වයන්ගේ දියුණුව, සෞඛ්‍ය පහසුකම් සහ සංචාරක අපරව්‍යුහ මට්ටම බොහෝ විට ගෝලීය මට්ටමක පවතින බව Condé Nast Traveler සඟරාවේ සමීක්ෂණයෙන් ඉස්මතු වී පෙනෙයි.

ආගන්තුක සත්කාරය සහ ඉතා ඉක්මනින් ශ්‍රී ලාංකේය සමාජයට අනුගත වීමේ හැකියාව සම්බන්ධයෙන් ගත හොත් ශ්‍රී ලංකාව යනු ආගන්තුක සත්කාරය වෙනුවෙන් චිරාත් කාලයක් තිස්සේ ලෝකයේ රටවල් අතර ප්‍රකට රටකි. ලෝකයේ බොහෝ විදෙස් ජාතිකයින් පවසන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු තමාගේම රටේ සිටිනවා වැනි හැඟීමක් දැනෙන බවය. මේ නිසාම ඔවුනට මේ සමාජයට අනුගත වීමේ වැඩි පහසුවක් පවතී.

ඊට අමතරව නිවාස, ආහාර සහ අනෙකුත් දෑ සඳහා වැය වන මුදල පහසුවෙන් දරා ගත හැකි වීම, වාතයේ ගුණත්වය, හරිත භූමිභාග සහ සමස්තයක් ලෙස සලකා බලන විට පාරිසරික නීරෝගීභාවය ලෝකයේ ඇතැම් දියුණු රටවලටත් වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකාව සිටියි.

ශ්‍රී ලංකාව බොහෝ කාලයක පටන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වර්ග කොට තිබුණ ද, ශ්‍රී ලංකාව තුළ පවතින සමාජයීය සහ අපරව්‍යුහ ගුණාංගයන්ගේ සමස්තය එම වර්ගීකරණය මගින් ලඝුකොට සැලකිය නොහැකිය. ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපනික තත්ත්වයන්ගේ දියුණුව, සෞඛ්‍ය පහසුකම් සහ සංචාරක අපරව්‍යුහ මට්ටම බොහෝ විට ගෝලීය මට්ටමක පවතින බව Condé Nast Traveler සඟරාවේ සමීක්ෂණයෙන් ඉස්මතු වී පෙනෙයි. 1987 වසරේ දී ආරම්භ කරන ලද Condé Nast Traveler සඟරාව සංචාරක කර්මාන්තය සම්බන්ධ කාරණා ඉතා ගැඹුරින් සහ විචක්ෂණශීලී ව ඉදිරිපත් කිරීම පිළිබඳ කීර්ති නාමයක් දිනා ගත්තකි. ආකර්ෂණීය සංචාරක ඡායාරූපකරණය සම්බන්ධයෙන් නමක් දිනා ගෙන ඇති මේ සඟරාව ජාතික මට්ටමේ සම්මාන 25 ක් ඇතුළුව තවත් බොහෝ ඇගයීම්වලට බඳුන් වූවකි. ඔවුන් සිය පාඨකයින්ට දී ඇති සහතිකය වන්නේ සංචාරක කර්මාන්තය සම්බන්ධව සත්‍යය පැවසීම (Truth in Travel) ය. ලොව පුරා සංචාරකයින්ට විශ්වාසදායක තොරතුරු විමසා බැලීම සඳහා ඇති හොඳම මූලාශ්‍ර අතරින් මෙයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි.

පවුල් වශයෙන් සංචාරය කිරීමට සහ පදිංචි වීමට ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතරින් ඉහළතම සුදුසුකම් ඇතැයි යන නිර්දේශය Condé Nast Traveler සඟරාව මගින් ලබා දීම සැබවින්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහඟු අවස්ථාවන් විවර කර දෙන්නකි. මෙයට පෙර ද සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සඟරා සහ මාධ්‍ය මගින් ශ්‍රී ලංකාවට නිර්දේශ ලබා දී තිබුණි. මෙසේ අවස්ථාවන් විවර වෙද්දී අදාළ බලධාරීන් කළ යුත්තේ මේ තත්ත්වයන් තව තවත් දියුණු කිරීමය. මන්ද මේ දෙස බලමින් අත්පොළසන් සලමින් සිටීම පමණක් කළ හොත් දිගින් දගටම මේ කීර්තිනාමයන් පවත්වාගෙන යා නොහැකි බැවිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

 

අරුමැසි පුවත්