60 වැනි උපන් දිනය දා ආමීර් හඳුන්වා දුන් අලූත් පෙම්වතිය

පේ‍්‍රම කිරීමට වයස බාධාවක් නොවන බව සනාථ කරමින් බොලිවුඩයේ සුපිරි නළු ආමීර් ඛාන් වයස අවුරුදු 60 දී ආදර සම්බන්ධයක් පටන්ගෙන තිබේ. ඔහු මෙයට පෙර දෙවරක් විවාහ වී සිටි තිදරු පියෙකු බව රසික රසිකාවියන් කව්රුත් දන්නා කාරණයකි.

තමාගේ අලූත් ආදර සම්බන්ධය ගැන ආමීර් පළමු වරට මාධ්‍ය සමග හෙලි කර තිබුණේ ඔහුගේ 60 වැනි උපන් දිනය සැමරූ අවස්ථාවේ යි. ඔහු මෙම උපන් දිනය සැමරුවේ පසුගිය 14 වැනි දින ය.

මෙවර ආමීර්ගේ ආදරය දිනාගෙන සිටින කාන්තාවගේ නම ගෞරි ස්ප‍්‍රෑට් ය. ආමීර් සහ ගෞරි ආදරවන්තයන් බවට පත්ව තිබුණේ පසුගිය වසරේ යි. නමුත් ඔවුන්ගේ ආශ‍්‍රය වසර 25 ක් පමණ පැරණි බව සදහන් වේ. එහෙත් එ් මුල් කාලයෙන් පසු ඔවුන් අතර සබඳතා බිඳ වැටී තිබූ අතර නැවත මේ දෙදෙනා මුණ ගැසී තිබුණේ වසර දෙකකට පමණ කලිනි.

ගෞරි බැංගලෝරයේ උපන් කෙනෙකි. බැංගලෝරය හෙවත් බෙංගලූරු යනු දකූණු ඉන්දියාවේ පිහිටි කර්ණාටක නැමැති ප‍්‍රාන්තයේ අගනුවර යි.

පසුගිය දා ගෞරි මාධ්‍ය වෙත හඳුන්වා දීමට පෙර ආමීර් ඇයව තම පවුලේ අයටත්, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් වැනි තම සමීප මිතුරන්ටත් හඳුන්වා දීමට කටයුතු කර තිබිණි. ඉදිරියේ දී යොමු විය හැකි මාධ්‍ය අවධානය වැනි දේට මුහුණ දීම සඳහා ද ඔහු ඇයව සූදානම් කර ඇති බව සඳහන් වේ.

ආමීර්ගේ පවුලේ අය තමාව ඉතා උණුසුම් ආකාරයෙන් පිලිගත් බව ගෞරි සඳහන් කර තිබුණාය.

වසර කිහිපයක් තිස්සේ තනිකඩයකු ලෙස ජීවත් වූ ආමීර්ගේ ජීවිතය මේ අලූත් ආදරයත් සමග සතුටින් පිරී ඇති ආකාරයක් දැකිය හැකි වේ. තමාගේ ජීවිතයට සතුට, නිස්කලංක බව කැන්දාගෙන ආ හැකි කෙනෙකු සොයමින් සිටි බවත්, ගෞරි තමාට නැවත හමු වූයේ එසේ සිටිය දී බවත් ආමීර් පවසා තිබිණි. තමා ආමීර් සමග ආදරයෙන් බැඳුණේ ඇයි දැයි ගෞරී ද පවසා තිබුණාය. ‘මට අවශ්‍ය වුණේ කරුණාවන්ත, මහාත්මා ගතිගුණ ඇති, මාව හොඳින් බලාගන්නා කෙනෙක්’.

ඉතා අපූරු කාරණයක් වන්නේ ගෞරී ආමීර්ගේ චිත‍්‍රපට දෙකකට වඩා නරඹා නැති වීම යි. ඇය නරඹා තිබුණේ ‘ලගාන්’ සහ ‘දිල් චාටා හේ’ යන චිත‍්‍රපට දෙක පමණි. මේවා ද බෙහෙවින් පරණ චිත‍්‍රපට ය. එ් දෙකම තිරගත වුණේ 2001 වසරේ හෙවත් මෙයට වසර 24 කට පමණ පෙර ය.

ගෞරි එතරම් දැඩි සිනමා රසිකාවියක නොවීම මෙයට හේතුව බව පෙනේ. ඇය වඩාත් කැමැත්ත දක්වන්නේ වෙනත් කලා මාධ්‍යයන්ට බවක් ආමීර් පවසා තිබිණි. නමුත් ඇය තමාගේ ‘තාරේ සමීන් පාර්’ චිත‍්‍රපටය නරඹන්නේ නම් තමා කැමැති බවක් ඔහු පවසයි.

ගෞරි ද වයස අවුරුදු 6 ක පුතෙකු සිටින කාන්තාවකි.

ආමීර්ට ද කලින් විවාහයන්ගෙන් දරුවෝ තිදෙනෙක් සිටිති. ඔහු මුලින්ම විවාහ වී සිටියේ රීනා දත්තා සමග යි. ඔවුන්ගේ ආදර සම්බන්ධය ආරම්භ වූ කාලයේ ඔවුහු අසල්වැසියෝ වූහ. පසුව ඔවුන් විවාහ වී තිබුණේ ගෙවල්වලට හොරෙන් බව ද සඳහන් වේ. ආමීර් සහ රීනා විවාහ වූයේ 1986 වසරේ යි.

මෙම විවාහයෙන් ආමීර්ට ජුනේද් නම් පුතෙකු ද, අයිරා නම් දියණියක ද සිටියි. ජුනේද් මේ වනවිට 31 වැනි වියෙහි පසුවන අතර ආයිරාගේ වයස අවුරුදු 28 කි. ජුනේද් සිය පියාගේ අඩිපාරේ යමින් සිනමා රංගනයට ද එක්ව සිටියි. අයිරා මෙයට වසර කිහිපයකට පෙර විවාහ වූවාය.

2002 වසරේ ආමීර් සහ රීනා දික්කසාද වූහ. එයින් වසර කිහිපයකට පසු ආමීර් නැවතත් විවාහ වූ අතර එවර ඔහු විවාහ වූයේ කිරන් රා ඕ සමග යි. ඇය සිනමාවට සම්බන්ධ කෙනෙකි. මේ දෙදෙනා මුණ ගැසුණේ ‘ලගාන්’ චිත‍්‍රපටයේ වැඩ කරමින් සිටිය දී යි. කිරන් එහි සහය අධ්‍යක්‍ෂවරියක වූවාය.

මෙම විවාහයෙන් ඔවුන්ට එක් පුතෙක් සිටියි. 14 වැනි වියෙහි පසුවන ඔහුගේ නම අසාද් රා ඕ ඛාන් ය.

ආමීර් ගේ අලූත් පෙම්වතිය ගෞරී ඇඳුම් විලාසිතා කලාව සහ ඡුායාරූපකරණය පිලිබඳව ලන්ඩන් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇතැයි සඳහන් වේ. මේ වනවිට ඇය රූපලාවන්‍යාගාරයක් ද පවත්වාගෙන යන්නීය. ඊට අමතරව ඈ ආමීර්ගේ චිත‍්‍රපට නිශ්පාදන සමාගම වන Aamir Khan Productions සමාගමට ද සම්බන්ධ වී කටයුතු කරයි.
ඉදිරියේ දී ඔවුන් දෙදෙනා විවාහ වනු ඇත් ද? ගෞරි මාධ්‍ය වෙත හඳුන්වා දුන් අවස්ථාවේ එක් මාධ්‍යවේදියකු ද ආමීර්ගෙන් මේ ගැන විමසා තිබිණි. එහි දී ඔහු ලබා දී තිබුණේ දෙපැත්තටම නැති උත්තරයකි.
‘මාත් ඇයත් එකිනෙකා කෙරේ දැඩි ආදරයෙන් බැඳී සිටිනවා. මම මෙයට පෙරත් දෙවතාවක් විවාහ වී සිටි කෙනෙක්. වයස අවුරුදු 60 දී විවාහය මට සුදුසු දෙයක් කියා මට සිතෙන්නේ නැහැ. අපි බලමු’
ඔහු දී තිබූ පිලිතුර එය යි.

නිහාල් පීරිස්

රසගඟුල