දරු සම්පතක් කෙරෙහි දැඩි ආශාවකින්, බලාපොරොත්තුවකින් සිටින කාන්තාවකට දරු ගැබක් පිහිටීම තරම් සතුටක් තවත් නැත. හදිසියේ හෝ ඒ දරු ගැබ ගබ්සා වී ගියොත් ඇය පත්වන මානසික වියවුල ගැන විස්තර කිරීම පවා අසීරු වෙයි. නමුත් මෙවැනි දේවල් ඕනෑ තරම් සමාජය තුළ සිදුවෙයි.
ඉබේ සිදුවන ගබ්සා වීමකට බලපාන හේතු රාශියක් තිබේ. ගබ්සා වීම් පිළිබඳව බ්‍රිතාන්‍ය වර්ගීකරණයෙහි දක්වන්නේ කළලයක් මව්කුසින් සති 24කට පෙර බලෙන් ඉවත් කිරීම හෝ ඉබේ පිටවීම ගබ්සාවක් ලෙසයි.
කෙසේ වුවත් කළලයක් හටගත් පසු ඒ මුල් තුන් මාසය තුළ ගබ්සා වීමේ අවදානම 30%ක් පමණ වේ. එනිසා වෛද්‍යවරුන් විශේෂයෙන් සැලකිලිමත් වන්නේ මුල් තුන් මාසයට පසුව සිදුවන ගබ්සාවන් සම්බන්ධයෙනි. මුල් තුන් මාසය පිළිබඳ අවධානයක් යොමු නොකරන බවක් මෙයින් අදහස් නොකෙරේ.
යම් කාන්තාවකට දරුවකු පිළිසිඳ ගැනීමකින් පසුව මුල් සති 6 – 8 අතර කාලයේදී දිනක් හෝ දෙකක් ලේ බින්දුවක් දෙකක් යෝනි මාර්ගයෙන් පිටවුණොත් එය ගබ්සාවීමක් ලෙස ඔවුන් බියට පත්වනු ඇත. නමුත් මෙසේ වන්නේ එම මුල් කාලය තුළ කළලාවරිත පටක නිසි ලෙස වර්ධනය වී නොතිබීම නිසා ය. මෙය හැම දෙනෙකුටම තිබෙන තත්ත්වයක් නොවූවත් බිය විය යුතු තත්ත්වයක් ද නොවේ.
තවත් සමහර අවස්ථාවල දී ඔසප් නතර වී මුල් මාසයේ දී මුත්‍රා පරීක්ෂණයක් කර බැලූ විට ගර්භනීභාවය සනාථ විය හැකිය. එනම් මුත්‍රා පරීක්ෂණය positive වන්නට පුළුවන. එවැනි කෙනෙකුට ඊළඟ මාසයේ දී ඔසප් සිදුවුවහොත් දරු ගැබ ගබ්සා වුණේ යැයි සිතා ඔවුන් බියට පත් විය හැකිය. යම් අවස්ථාවක දී දරු පිළිසීඳීමක් නැතිවම මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වුණොත් එය එම පරීක්ෂණයේ දුර්වලතාවයක් මිස අදාළ කාන්තාවගේ වරදක් නොවේ. ඔසප් නතර වීමත් සමඟ ගැබිනියකට මුල් කාලයේ ඇතිවිය හැකි ශාරීරික වෙනස්කම් ද පවතිනවා නම් එය ගැබ් ගැනීමක් ලෙස සැලකිය හැකිය. කෙසේ වුවද ඔසප් නතර වී මාස දෙකකින් කරන ස්කෑන් පරීක්ෂාවන් මගින් ගර්භනීභාවය 100% ක්ම සනාථ කර ගැනීමට හැකියාව ඇත.
ඉබේ සිදුවන ගබ්සාවීම්වලට හේතු
ජානවල විකෘතිතා
ජානයක් යනු වර්ණදේහයක පවතින ඉතා කුඩා ඒකකයකි. එහි විකෘතිතා නිසාත් ඉබේ ගබ්සාවීම් සිදුවිය හැකිය.
වර්ණදේහවල විකෘතිතා
මෙය පළමු මාස තුනේදී ඇතිවන ගබ්සා වීම්වලට බහුලවම බලපාන හේතුවකි. හොඳ කළල ඉතිරි වී විකෘති කළල ඉබේම ශරීරයෙන් පිටවී යාම සොබා දහම මගින් ඇති කරන ලද තත්ත්වයකි. මනා ලෙස අඟපසඟ ඇති අය වැඩියෙනුත්, අංග විකල පුද්ගලයන් ඊට සාපේක්ෂව ඉතාමත් අඩුවෙනුත් බිහිවී සිටින්නේ එනිසා ය. යම් හෙයකින් කලාතුරකින් එම විකෘති කළලයක් ගබ්සා නොවී ගර්භාෂයේ රැඳී තිබුණොත් ආබාධිත දරුවකු බිහිවනු ඇත.
මුල් තුන් මාසය තුළ මව විකිරණවලට භාජනය වීම
එක්ස් රේ පරීක්ෂණ, පිළිකා වැනි රෝගවලට දෙනු ලබන විකිරණ වැනි හේතු නිසා ගබ්සා වීම් සිදුවෙයි.
ගැබිනි සමයේ මවට ඇති ඇතිවන වෛරස් ආසාදන
ගැබිනි මවකට ඇතිවන සෑම වෛරස් ආසාදනයක්ම ගර්භාෂයේ සිටින දරුවාට බලනොපාන නමුත් 10% ක පමණ බලපෑමක් ඇති නොවන්නේ නොවේ. යම් හෙයකින් වෛරසයෙන් වැඩි බලපෑමක් ඇතිවුණොත් කළලය ගබ්සා විය හැකි අතර අඩු බලපෑමක් ඇතිවුණොත් ආබාධිත දරුවකු බිහි වන්නට ඉඩකඩක් තිබේ.
සමහර ඖෂධ වර්ග
ටෙරොටොජෙනික් වර්ගයේ ඖෂධ (terotogenic drugs) නිසා මේ තත්ත්වය බහුලවම ඇතිවන අතර දියවැඩියාව, අපස්මාරය ඇතුළු තවත් රෝග ගණනාවකට දෙන දිගුකාලීන ඖෂධ අතර ඇති සමහර ඖෂධවල මෙය අඩංගු වේ. එබැවින් ඉහත කී රෝග ඇතුළු දිගුකාලීනව යම් රෝගයකට ඖෂධ ගන්නා කාන්තාවක් විවාහ වූ පසු දරුවකු පිළිසිඳ ගැනීමට පෙර අනිවාර්යෙන්ම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමු විය යුතුය. ගැබ් ගත් පසුව එවැනි වෛද්‍යවරයෙකු හමුවීම පලක් නොවන්නේ මුල් මාස තුනේදී කළලයේ අවයව නිර්මාණය වන නිසාය. ඒ කාලයේ ගන්නා ඖෂධ නිසා අවයවවල විකෘතිතා හටගැනීමට අවකාශ පවතී. එබැවින් පිළිසිඳ ගැනීමට පෙර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමු වී තම රෝගය හා ගන්නා ඖෂධ පිළිබඳ පවසා උපදෙස් පැතිය යුතුය. මෙවැනි ඖෂධ නිසා ලොකු හානියක් වුණොත් කළලය ගබ්සාවීමත්, සුළු හානියක් වුණොත් විකෘති දරුවකු බිහි වීමටත් ඉඩකඩක් පවතී.
එසේම මුල් තුන් මාසය තුළ ඇතිවන තයිරොක්සින් වැනි යම් යම් හෝමෝනවල ඌනතා සහ විවිධ හෝමෝන මගින් ඇතිවිය හැකි බලපෑම් නිසා ද ඉබේ ගබ්සා වීම් සිදු වන්නට පුළුවන.
සිරුර තරබාරු වීම
සිරුර තරබාරු වන විට හෝමෝන අසමතුලිතතාවන් ඇති විය හැකිය. වර්තමානයේ මොළය වෙහෙස කරවන අය මිස ශරීරය වෙහෙස කරවන අය අඩු නිසා ව්‍යායාම අඩුවීම, විවිධ කෘත්‍රිම සහ පැණි රස ආහාර ගැනීම ආදිය නිසා තරබාරුකම වැඩි වී තිබේ. තරබාරු කාන්තාවන්ට කුරුලෑ වැඩිපුර හට ගැනීමත්, රෝම බහුල වීමත් වැනි ලක්ෂණ බොහෝවිට ඇතිවන්නේ මේ හෝමෝන අසමතුලිතතාවය නිසා ය. හෝමෝනවල අසමතුලිත බව නිසා ඇතිවන තවත් ප්‍රධාන රෝගයක් වන්නේ P.C.O.D. (පොලිසිස්ටික් ඕවේරියන් ඩිසීස්) ය. තරබාරු තරුණියන් තුළ ඇතිවන මෙම රෝගය නිසා ගැබ් ගැනීම් ප්‍රමාද වීම මෙන්ම ගබ්සාවන් ද බහුලව සිදුවෙයි.
ගර්භාෂයේ විකෘතිතා
උපතින්ම ඇති විය හැකි මෙවැනි තත්ත්වයන් සහ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගර්භාෂයේ කුහර තුළට නෙරා තිබීම ද ගබ්සා වීම් සඳහා බලපෑ හැකිය.
ගැබ් ගෙලේ දුර්වලතා
මාස තුනෙන් පසු ගැබට සති විසිහතරක් දක්වා කාලය තුළදී සිදුවන ගබ්සා වීම්වලට මෙයද එක හේතුවකි. සාමාන්‍යයෙන් සිදුවන්නේ ගැබක් හට ගැනීමෙන් පසු ගැබ්ගෙල තද වී කළලය පවත්වා ගැනීමයි. නමුත් ගැබ්ගෙල දුර්වල නම් මාස 3 – 5 අතර කාලයේදී ගැබ්ගෙලට කළලය රඳවා ගැනීමට හැකියාවක් නැතිවේ. එවිට කළලය ඉබේම ගබ්සාවනු ඇත. යම් ගැබිනි මවකට මෙවැනි ගබ්සාවක් සිදුවූ පසු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝගියාව හොඳින් පරීක්ෂා කර රෝග ඉතිහාසය විමසා HSG එක්ස් රේ පරීක්ෂණ, අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ ආදිය මගින් මේ තත්ත්වය හඳුනා ගනී. ඉන්පසු ඒ මව ඊළඟට ගැබ්ගත් පසු ගැබට සති 16 වන විට ගැබ් ගෙලට මැහුමක් යෙදීම මගින් කළලය ආරක්ෂා කරදීම සිදු කෙරේ. එසේ නොකළොත් එම මවගේ හටගන්නා සෑම කළලයක්ම පිටපිටම ගබ්සා වීම්වලට භාජනය වන්නට ඉඩ ඇත.
කාන්තාව වයසින් අඩුවීම හෝ වැඩිවීම
යම් කාන්තාවකගේ වයස 20 ට අඩු හෝ 35 ට වැඩි වූ විට ගබ්සා වීමකට තිබෙන ඉඩකඩ වැඩි ය.
පිරිමියෙකුගේ වයස වැඩි වූ විටද ඇතැම් අවස්ථාවල දී එම තැනැත්තා නිසා කාන්තාවට පිහිටන කළලවල විකෘතිතා ඇතිවීමට යම් අවකාශයක් නැතුවා නොවේ. කාන්තාවකට පළමු දරුවා ලැබීමට සුදුසුම කාලය වන්නේ වයස 23 – 30 අතර කාලයයි. ඊළඟ දරුවන් වයස 35 ට පෙර ලැබීම සුදුසු ය. පිරිමින්ටද එම වයස් පැවතීම සුදුසු වේ.
දුර ගමන් යාම
පළමු මාස තුනේ දී දුර ගමන්බිමන්වල යෙදීමෙන් ගබ්සාවීම් සිදුවන බවට බොහෝ අය අතර මතයක් තිබුණත් මෙය එතරම් විද්‍යානුකූල නොවේ. නමුත් පිට පිට කිහිප වතාවක් ගබ්සාවීමට ලක් වූ කාන්තාවන් ඊළඟට ගැබ් ගත්විට දුර ගමන්වල නොයෙදීම සුදුසු බවට වෛද්‍යවරු අවවාද කරති.
යම් යුවළක් විවාහයෙන් පසු එකිනෙකා සමඟ දැඩි සෙනෙහසින් බැඳී සිටීම, පෝෂ්‍යදායී ආහාර ගැනීම වැනි දේවල් ද වැදගත් වේ. එමඟින් මානසික ආතතිය වැනි දෑ හට ගැනීම වළකිනු ඇත. ගබ්සාවීම්වලින් වැළකී නිරෝගී දරුවකු ලැබීමට ඒවා ද බොහෝ දුරට ඉවහල් වෙයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.බී. ඒකනායක
ඉන්දු පෙරේරා