මහ සිකුරාදා අදයි;දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ උත්තරීතර කැප කිරීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද (18) ට යෙදී ඇති අතර ලොව පුරා කිතුනු බැතිමත්හු අද මෙය සමරති.අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් අද දිනයේදී දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වීමට නියමිත ය.ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම අද දිනයේදී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.මේ අතර අද දිනය සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුනු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන් සහ උත්සව වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන්ගේ ද සහාය ලබාගැනීමට නියමිත බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.මෙම ආරක්ෂක යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරීමට ප්‍රථම එම පරිශ්‍රයන් බැතිමතුන් අපහසුතාවට පත් නොවන නොවන පරිදි පරික්ෂාවකට ලක් කිරීම, දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයින් හා ගමන්මලු පරීක්ෂාවකට ලක් කිරීම ද සිදු කෙරෙනු ඇතැයි. පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

.

කාලීන පුවත්