ගර්භාෂයක් නැතිව උපන් ග්‍රේස් දරුවකු බිහි කළ සැටි

ගර්භාෂය නැතිව උපදින කාන්තාවන් සිටින බව සමහර විට ඔබ නොදන්නවා ඇති. දුර්ළභ තත්වයක් වන මෙය හැඳින්වෙන්නේ මෙයර්- රොකිටන්ස්කි- කූස්ටර්- හෞසර් සින්ඩ්‍රෝමය යනුවෙනු යි. ලෝකයේ කාන්තාවන් 5,000 කගෙන් එක් අයෙකුට මෙම තත්වය තිබිය හැකි බවයි සඳහන් වන්නේ. මෙම තත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ට දරුවකු බිහි කිරීමේ හැකියාව නොමැති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මෙම සින්ඩ්‍රෝමය නිසා පීඩා විඳිමින් කණස්සල්ලෙන් පසුවන කාන්තාවන්ට පිහිට විය හැකි තාක්‍ෂණයක් මේ වනවිට වෛද්‍ය විද්‍යාව තුළ සාර්ථකව අත්හදා බලා තිබෙනවා. එනම් ගර්භාෂ බද්ධ කිරීමේ තාක්ෂණය යි.

ලෝකයේ ගර්භාෂ බද්ධ කිරීම ආරම්භ වී එතරම් කාලයක් නැහැ. පළමු වරට මේ ආකාරයෙන් සාර්ථකව ගර්භාෂයක් බද්ධ කරන ලද්දේ 2013 වසරේ යි. ඒ ස්වීඩනයේ දී යි. එහි දී ඉහත කී සින්ඩ්‍රෝමයෙන් පීඩා විඳිමින් සිටි 36 හැවිරිදි කාන්තාවකටයි ගර්භාෂයක් බද්ධ කෙරුණේ. මෙම කාන්තාවට බද්ධ කළ ගර්භාෂය ලබා දී තිබුණේ ඇයගේ 60 හැවිරිදි මිතුරියක්.

මේ ආකාරයෙන් ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම් ගැන පසුගිය දිනවල නැවතත් මාධ්‍ය තුළ යම් කතාබහක් ඇති වී තිබුණා. එයට හේතුව බි‍්‍රතාන්‍යයේ පළමු වතාවට මෙවැනි ගර්භාෂ බද්ධයකට මුහුණ දුන් කාන්තාව එම බද්ධ කරන ලද ගර්භාෂය හරහා දරුවකු බිහි කිරීම යි. මෙම වාසනාවන්ත කාන්තාවගේ නම ගේ‍්‍රස් ඩේවිඩ්සන්. ඇයගේ වයසත් අවුරුදු 36 ක්.

ඉහත කී සින්ඩ්‍රෝමයෙන් පීඩා විඳිමින් සිටි ගේ‍්‍රස්ට ගර්භාෂයක් බද්ධ කර තිබුණේ 2023 වසරේ යි. එයින් වසර දෙකකට පසු ඇය මව් පදවිය හිමි කර ගැනීමට සමත් වී සිටිනවා. එය ඇයගේ දිගු කාලීන සිහිනයක් ඉටු වීමක්.

ගේ‍්‍රස්ට බද්ධ කළ ගර්භාෂය ඇයට ලබා දී තිබුණේ ඇගේම සොහොයුරියක වීම විශේෂත්වයක්. මෙම සොහොයුරියගේ නම ඇමී පර්ඩී. ඇමී විවාහක කාන්තාවක වන අතර දරුවන් දෙදෙනකුගේ මවක්. ඇය සිය සොහොයුරිය වෙනුවෙන් ගර්භාෂය ප‍්‍රදානය කිරීමට කැමති වී තිබුණේ තව දුරටත් දරුවන් හැදීමට ඇය සහ ඇගේ සැමියා තුළ අදහසක් නොතිබුණු නිස යි.

පසුගිය පෙබරවාරි මාසයේ ගේ‍්‍රස් සිය කූළුදුල් දරුවා බිහි කර තිබුණේ ලන්ඩන් නුවර පිහිටි ක්වීන් චාලට්ස් රෝහලේ දී යි. දරු ප‍්‍රසූතිය සිදු වූයේ සිසේරියන් සැත්කමක් තුළින් බවත් සඳහන්. දරුවාගේ බර කිලෝ ග්‍රෑම් 2 ක් (රාත්තල් හතරහමාරක් පමණ) වූ බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

ගේ‍්‍රස් සහ ඇයගේ සැමියා වන ඇන්ගස් ඔවුන්ගේ දරුවාට නම් තබා ඇත්තේ ඇමී යනුවෙනු යි. ඒ ගේ‍්‍රස්ට ගර්භාෂය ලබා දුන් සොහොයුරියට ගරු කිරීමක් හැටියට යි.

ඇමී ගේ ගර්භාෂය ඉවත් කිරීමටත්, එය ගේ‍්‍රස්ට බද්ධ කිරීමටත් පැය 17 ක කාලයක් ගත වී තිබුණා. ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ සිදු කෙරුණු මෙම සැත්කම සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වූ බව පැවසෙනවා.

මුලින් එම සැත්කම කිරීමට යොදාගෙන තිබී ඇත්තේ 2019 වසරේ යි. නමුත් යම් හේතුවක් නිසා එම වසරේ එය කරන්නට හැකි වී තිබුණේ නැහැ. එයින් පසු 2020 වසරේ කොවිඩ් වසංගතය පැතිරෙන්නට පටන්ගත් නිසා සැත්කම නැවතත් වසර කිහිපයකින් කල් දමන්නට සිදුව තිබුණා. අවසානයේ එය කරන්නට හැකිව තිබුණේ පසුගිය 2023 වසරේ පෙබරවාරි මාසයේ යි.

සැත්කමේ දී ග්‍රේස් මෙන්ම ඇමී ද යම් අනතුරුදායක තත්වයන්ට මුහුණ දෙන්නට ඉඩ තිබූ බවත් වෛද්‍යවරුන් පවසා තිබුණා. නමුත් වාසනාවකට මෙන් එවැනි ඇබැද්දියක් සිදුව තිබුණේ නැහැ. මේ දෙදෙනා සැත්කමට සූදානම් කිරීම සඳහා වෛද්‍යවරුන් බොහෝ පියවර ගෙන තිබූ බව වාර්තා වෙනවා. මනෝ උපදේශනය වැනි දේ සඳහා ද ඔවුන් යොමු කර තිබුණා.

ග්‍රේස් සහ ඇය ගේ සැමියා ඇන්ගස් මෙම ගර්භාෂය තුළින් තවත් දරුවකු ලබා ගන්නට බලාපොරොත්තු වන බවත් සඳහන්. එයින් පසු ගර්භාෂය ඉවත් කිරීමට නියමිත යි.

මේ ආකාරයෙන් ගර්භාෂය ඉවත් කිරීමටත් විශේෂ හේතුවක් තිබෙනවා.

මෙම ගර්භාෂය නිසා ග්‍රේස් මේ වනවිට එක්තරා ඖෂධයක් අඛණ්ඩව භාවිත කරමින් සිටිනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට යම් අවයවයක් බද්ධ කළ විට එම පුද්ගලයාගේ ශරීරය විසින් එම ආගන්තුක අවයවය ප්‍රතික්ෂේප කිරීමක් කරනු ලබනවා. එය වැලැක්වීම සඳහා ඖෂධ භාවිත කළ යුතුයි. ග්‍රේස් ද කලින් සඳහන් කළ ඖෂධය භාවිත කරන්නේ මේ සඳහා යි.

නමුත් ඇය භාවිත කරන ඖෂධය තරමක් අනතුරුදායක එකක් බවයි සඳහන් වන්නේ. එයින් අහිතකර අතුරු ආබාධ ඇති විය හැකි බව පැවසෙනවා. පිළිකා
පවා ඇති වීමේ අවදානමක් ඇති බව සඳහන්. මෙම තත්වය නිසා යි ග්‍රේස් ගේ ගර්භාෂය ඉවත් කිරීමට නියමිතව තිබෙන්නේ. ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු ඇයට ඉහත කී ඖෂධය භාවිත කිරීමට සිදු වන්නේ නැහැ. මව් පදවිය හිමි කර ගැනීම සඳහා ඇය කෙතරම් වේදනාවන් සහ අනතුරු දරාගෙන කටයුතු කර ඇත් ද යන්න මේ අනුව පෙනී යනවා.

වෙනත් කෙනෙකුගේ දරුවකු ලබා ගෙන හදා ගැනීමට හෝ අන්වාදේශ ක්‍රමයට දරුවකු ලබා ගැනීමට ග්‍රේස්ට හැකියාව තිබුණත් ඇය ඊට කැමැත්තක් දක්වා තිබුණේ නැහැ. ඇයට වුවමනා වී ඇත්තේ තමාගේම කුසින් දරුවකු බිහි කිරීමටයි.
(අන්වාදේශ ක්‍රමයේ දී සිදුවන්නේ බිරිඳගේ ඩිම්බ සහ සැමියාගේ ශුක්‍රාණු කෘත්‍රිමව සංසේචනය කර එයින් ඇති වන කළලය වෙනත් කාන්තාවක ගේ ගර්භාෂයේ තැන්පත් කර වැඩෙන්නට සැලැස්වීම යි.)

එක්සත් රාජධානිය තුළ මේ වනවිට ගර්භාෂය නොමැති (දරුවන් බිහි කරන වයසේ පසුවන) කාන්තාවන් 5,000 ක් පමණ සිටින බව සඳහන්. එමෙන්ම ක්‍රියාත්මක තත්වයේ පවතින ගර්භාෂ නොමැති කාන්තාවන් ද තවත් 10,000 ක් පමණ සිටින බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ග්‍රේස් ගේ දරු ප්‍රසූතිය ඔවුන් සියලු දෙනා තුළ බලාපොරොත්තු දල්වන්නක් වනු ඇති බවයි වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්