බුදු සිරි පා සටහනක් සේම දේවදත්තගේ පා සටහනක් ද අප රටේ තිබෙන බව දන්නවාද?

මෙවර සිරි පා සමය ඇරඹීමත් සමඟ දැනට පවත්නා කොවිඩ් වසංගත තත්වය ද නොතකා විශාල වශයෙන් පිරිස් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙමින් සිටිති.

එහෙත්, සාංසාරික වශයෙන් බෝධිසත්වයන්ට සතුරු කම් කරමින් සිට බෝධිසත්වයන් බුද්ධාත්ම භාවයට පත් වූ පසුව පවා බුදුන් ඝාතනය කිරීමට වෙර දැරීම තෙක් වන බිහිසුණු සතුරු කම් කොට “පණ පිටින් අපාගත වූ” බවට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් දේවදත්ත තෙරුන්ගේ බව සැලකෙන පා සටහනක් ද අදත් අප රටේ පර්වත මුදුනක දක්නට ලැබෙන බව ඔබ දන්නවාද?අදටත් බොහෝ දෙනකු නොදන්නා මෙම අපූරු ස්ථානය පිළිබඳව අනාවරණය වනුයේ ඉංග්‍රීසි යටත් විජිත සමයේ මෙරට පරිපාලන සේවයේ යෙදුණු ඉංග්‍රීසි ජාතික එෆ්. එච් ප්‍රයිස් මහතා 1887 වසරේ අගෝස්තු 25 වන දින තම රාජකාරී දිනපොතේ තැබූ සටහනකිනි.එම සටහන මෙසේය. “දේදුගල ලේකම් තැන පර්වතයක් මත වූ සළකුණක් මට පෙන්වීය.

ඔහු කී පරිදි එය දේදුගල-උඩුව යන ගම්මාන අතරේ පිහිටා තිබේ.ඔහු පෙන්වා දුන් අන්දමට ඒ සළකුණ බුදුන් ගේ පරම සතුරා වූ දේවදත්තගේ පා සටහන ලෙස සළකනු ලැබේ.

දේදුගල ලෙස විකෘති වී ඇත්තේ මෙම දේවදත්තගල යන නාමයයි.ජලයට හසු වීමෙන් බොහෝ දුරට ඛාදනය වී ඇති මේ සළකුණ දැවැන්ත සත්වයකුගේ සේ පෙනේ” ඉහත සඳහන් තොරතුරෙන් මහත් උද්දාමයට පත් මම කිහිප වරක් ම ඉහත ඒ දේවදත්තගේ පා සටහන සම්බන්ධ පුරාවෘත්තය සොයා අප රටේ සබරගමු පළාතට කෑගලු දිස්ත්‍රික්කය හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩුව දේදුගල ප්‍රදේශ වල දින කිහිපයක් සංචාරය කළෙමි.

එහි දී මට ඒ සඳහා එවක දේදුගල ග්‍රාම නිලධාරී ගාමිණී බණ්ඩාර මහතාත් ඊට පසුව කරන ලද සංචාරයේ දී දේදුගල-උඩුව වත්මන් ග්‍රාම නිලධාරී කාංචන එදිරිසිංහ මහතාත් දුන් සහාය විශේෂයෙන් මෙහි සටහන් කළ යුතු ය. එසේ අවස්ථා කිහිපයකදීම දේදුගල, උඩුව ගම්මානවල සංචාරය කොට ම`විසින් ගොනු කරගත් මෙම දේවදත්තගල පිළිබඳ රසවත් ගැමි පුරාවෘත්තය මෙලෙසිනි.

තමන් වහන්සේ ගේ ශ්‍රී පාද ලාංඡනය ශ්‍රී ලංකාවේ පර්වත මස්තකයක පිහිටුවීමට අදහස් කළ බුදුන් වහන්සේ සෘද්ධි බලයෙන් අප රටට වැඩම කිරීමට සූදානම් වත්ම ඒ පුවත කෙසේ හෝ දේවදත්තගේ කණ වැකී තිබේ.එමෙන්ම, බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය ශ්‍රී ලංකාවේ පිහිටවුව හොත් ඒකාන්ත වශයෙන්ම එය අනාගතයේ විශිෂ්ඨතම පුද බිමක් වන බව දැනගත් දේවදත්ත ද තමන් සතු සෘද්ධි බලයෙන් ඒ මොහොතේම අප රටට පැමිණ තිබේ.

එම ගැමි ප්‍රවාදයට අනුව බුදු හිමියන් මුලින්ම තමන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමට මුලින්ම තෝරාගෙන ඇත්තේ දේදුගලට නොදුරු නාරංගල පර්වතයයි.,බුදු හිමියන්ගේ මෙම වැඩම කිරීම පිළිබඳව දැනගත් සමනොළ කන්දට අධිපති සමන් දෙවියන් හනික බුදු හිමියන් බැහැදැකීමට යාමට අදහස් කළ මුත් උන් වහන්සේට පූජා පිණිස කුමක් ගෙන යන්නේ ද යන ගැටළුව ද ඒ මොහොතේම සමන් දෙවියන්ගේ සිත තුළට පිවිස තිබේ.

ඒ මොහොතේ සමන් දෙවියන්ගේ ඒ ගැටළුව මුල් කොට ශක්‍රයාගේ පාණ්ඩු කම්බල ශෛලාසනය උණු වූ බව ද එම ගැමි ප්‍රවාදයේ සඳහන් ය.ඒ අනුව එක් ක්ෂණ‍යකින් මහළු වෙසක් මවා ගත් ශක්‍රයා නාරං කදක් ද රැගෙන සමනොළ කන්දට පැමිණ එය සමන් දෙවියන්ට පූජා කොට ඇත.ඉන් මහත් සතුටට පත් සමන් දෙවියන් නාරංවල කන්දට වැඩම කොට සිටි බුදු හිමියන් බැහැදැකීමට ගොස් ඇත්තේ ඒ නාරං කද ද රැගෙන ය.

එසේ සමන් දෙවියන් නාරං කද තැබූ පර්වතය ඉන්පසු නාරංගල ලෙස හැඳින්වුණු බව ජන ප්‍රවාදයේ පවතී. මේ අතර නාරංගල පර්වත මස්තකයට වැඩම කළ බුදු හිමියන් ඒ වන විටත් එම පර්වත මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා ඇතැයි සිතූ දේවදත්ත ද ඊට ආසන්නයේ ඇති පර්වත මුදුනේ තම පා සළකුණ තබනුයේ එම ස්ථානය ද බුදුන් ගේ ශ්‍රී පාදස්ථානය මෙන් ශ්‍රී ලංකාවේ මුල් පෙළේ පූජනීය ස්ථානයක් වේවායි පතමිනි.

එහෙත්,දෙව්දතුන්ගේ පා සළකුණ වැඳීමට මතු ශ්‍රී ලාංකිකයන් පෙළඹුණහොත් ශ්‍රී ලංකාව මිථ්‍යා ද්‍රශ්ඨික රටක් වන බව වටහා ගත් ශක්‍රයා ඒ මොහොතේම දෙව්දත් තෙරුන් මඳක් ඉදිරියට තල්ලු කොට තිබේ,ඒ අනුව දෙව්දතුන් ගේ ඒ පා සටහන පිහිටා ඇත්තේ පාදයක් ලිස්සා ගිය ස්වරූපයකිනි.වර්තමානයේ ද දේවදත්ත ගල නමින් හැඳින්වෙන ඒ පර්වත ඉස්මත්තේ ඇති එම සළකුණ ඉහත සිද්ධියට අතිශයින් ගැළපෙන බව එය දුටු සැනින් මට ද පසක් විය.

එමෙන්ම දෙව්දතුන් මෙසේ ශ්‍රී ලංකාවේ පා සටහනක් තැබූ පුවත ලක් වාසීන් අතරේ ප්‍රචලිත නොවන ලෙස ඒ මොහොතේ ශක්‍රයා විසින් ප්‍රාර්ථනයක් කළ බව ද එම ජන ප්‍රවාදයේ සඳහන් ය. “මේ පර්වතයට හැමෝම කියන්නේ දේවදත්ත ගල කියලා තමයි.ඒත් මොන හේතුවක් හින්දද මන්දා ඔය ජන විශ්වාසය මෙහේ මිනිස්සු අතරේ පැතිරිලාම නැහැ.මේ ගමට දේදුගල කියන්නේ දේදුණු දර්ශනය වෙන ගලක් හින්දා කියලා තමයි හැමෝම වගේ කියන්නේ.

සමහර විට ශ්‍රකයාගේ ප්‍රාර්ථනාව හරි ගිහින් ද දන්නෙත් නැහැ”ග්‍රාම නිලධාරී කාංචන එදිරිසිංහ මහතා සිනාසෙමින් කීය.ඒ කෙසේ හෝ මෙම දේවදත්ත ගල පාමුල නිවාස දෙක තුනක් ඇති අතර ගලට සමීපතම නිවෙස ලෙස අපට පෙනුණේ අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ බස් රියැදුරු මහතෙකු වන අයි.පී ගාමිණී මහතාගේ නිවස ය.එහෙත් අප පුදුමයට පත්කරමින් ඔහු සේම ඔහුගේ බිරිඳ සේම පුතුන් දෙදෙනා ද කීයේ එම පර්වතය මුදුනේ එවන් පා සළකුණක් ඇති බවක හාංකවිසියක් වත් තමන් නොදන්නා බව ය.

දේවදත්ත තම පා සටහනක් අප රටේ පර්වත මුදුනක තැබීමේ වෑයම එලෙස අසාර්ථක වූ අතරේ නාරංගල වැඩම කළ බුදු හිමියන්ට නාරං කද පූජා කළ සමන් දෙවිඳුන් තමන් අධිගෘහිත ව වැඩ වෙසෙන සමනොළ පර්වත මස්තකයේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවන මෙන් උන් වහන්සේට ඇරැයුම් කොට ඇත්තේ එසේ තම ඉල්ලීම ඉටු කළ හොත් මතු ශ්‍රී පාදස්ථානය වැඳීමට පැමිණෙන සැදැහැවතුන්ට නොමඳව පිහිටාරක්ෂාව සළසන බවට බුදු හිමියන් හමුවේ පොරොන්දු වෙමිනි.

අපගේ ශාසන ඉතිහාසය හා කිසිදු සබැඳියාවක් නොමැති මෙම ගැමි ප්‍රවාදයට අනුව බුදු හිමියන් තමන් වහන්සේගේ ශ්‍රී පාද සටහන සමනොළ කඳු මුදුනේ පිහිටුවන ලද්දේ ඉන් පසුව ය.කෙසේ වුව ද දේවදත්ත ගල ඉස්මත්තේ ඇති මෙම දෙව්දතුන්ගේ පා සටහන සහිත කොටස අද වන විට පෞද්ගලික සන්තකයකි.එබැවින් එය නැරඹීමට යාමට පෙර එම ඉඩමේ හිමි කරුවන්ගෙන් අවසර ගැනීමට ඔබට සිදු වෙයි.

මෙම දේවදත්තගේ පා සළකුණ පිළිබඳ ව ම`විසින් ජන මාධ්‍ය වලට සපයන ලද විශේෂාංගය දෙක හැරුණු කොට ඒ සම්බන්ධ මෑත කාලීන ව ලියැවුණු යමක් තිබේ දැයි සැක සහිත ය.

නමුත් මා මෙය ජන මාධ්‍යයට ඉදිරිපත් කිරීමට පෙර එවක නාරංවල වසමේ ග්‍රාම නිලධාරිනිය වශයෙන් සේවය කළ දීපිකා කුමාරි මහත්මිය ඇය විසින් සකසන ලද “නාරංවල තෝම්බුව”නම් ලේඛනයට මෙම රසවත් ගැමි ප්‍රවාදය එක් කොට තිබේ.

ඒ ද මා මෙන් “ශක්‍රයාගේ පැතුමට” එරෙහි වෙමිනි.

        

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය