“උන්ඩියල්”යන වදන මේ දිනවල අප රටේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් ව තිබේ.ඒ අපේ රට දැනට පත් ව ඇති ආර්ථිකමය බිඳ වැටීම හා සබැඳුණු ඩොලර් හිඟය පිළිබඳව කතා කිරීමේ දීය.
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් අප රටේ වෙසෙන තම ඥාතීන්ට නීත්‍යානුකූල නොවන උන්ඩියල් ක්‍රමයට මුදල් එවීම මත රටට මේ වන විට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වී ඇති බව මහ බැංකුව පෙන්වා දී තිබේ. ඉතා සරල ව කිවහොත් උන්ඩියල් යනු එක්තරා අන්දමක පාතාල බැංකු ක්රමයකි.
නීති විරෝධී ලෙස රැස්කරගත් ධනය ජාත්‍යන්තර වශයෙන් හුවමාරු කර ගැනීම පිණිස යොදා ගනු ලබන මෙම ක්‍රමය මුදල් විශුද්ධිකරණය හෙවත් කළු සල්ලි සුදු කිරීමේ යාන්ත්‍රණයේම කොටසකි.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්,මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, ජාත්‍යන්තර අවි අලෙවිය, හොර බඩු ජාවාරම්, සංවිධානාත්මක අපරාධ පැහැර ගැනීම්, කප්පම් ගැනීම්, මුදල් ණයට දීම, නීති විරෝධී මුදල් හුවමාරු කිරීම, පාතාල බැංකු පද්ධති නඩත්තු කිරීම, සූදු ක්‍රීඩා, ගණිකා ව්‍යාපාර, මහා පරිමාන කොල්ලකෑම් වැනි විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා ජාත්‍යන්තර වශයෙන් මුදල් හුවමාරු වන මෙම උන්ඩියල් ක්‍රමය අද වන විට අප රටේ බොහෝ දෙනකුට රහසක් නොවේ.
මෙම ක්‍රමයට අනුව මුදල් හුවමාරු වීම් එලෙස මුදල් හුවමාරු වන රටවල් දෙකේ නියෝජිත වරුන් හරහා සිදු වන්නකි.නිදසුනක් ලෙස කිසියම් විදේශ රටක සිටින ශ්‍රී ලාංකිකයකුට මෙරට හිඳින තම ඥාතියකුට හෝ මිතුරකුට රුපියල් ලක්ෂයක් එවීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඊට සමාන මුදලක් එරට මුදල් වලින් එම රටේ උන්ඩියල් නියෝජිතයකුට භාර දීම පමණි.
එවිට ඊට පසු දිනම එම රුපියල් ලක්ෂය ශ්‍රී ලංකාවේ මුදලින් ඒ ඥාතියාගේ මෙහි ඇති බැංකු ගිනුමෙහි තැන්පත් ව තිබේ.එසේ නොමැති නම් අප රටේ හිඳින උන්ඩියල් නියෝජිතයකු විසින් එම මුදල එය ලැබීමට නියමිත ශ්‍රී ලාංකිකයාගේ අතටම පත් කරනු ලැබේ.
දැනට අප රටේ පවතින මූල්‍යමය අස්ථාවරත්වය මුල් කොට අප රටේ පිළිගත් බැංකු සහ මූල්‍යායතන මඟින් විදේශ විනිමය ලෙස මෙරටට ගෙන්වා ගත හැකි මුදල් හුදු දේශීය මුදල් ලෙස උන්ඩියල් ක්‍රමයට ලබා ගැනීමේ යම් මූල්‍යමය වාසියක් තිබේ.
එහෙත්, කිසිදු විධිමත් බවකින් තොර මෙවන් ක්‍රම මඟින් මුදල් ගෙන්වා ගැනීමේ අවාසි තත්වයන් බොහෝ ය.එමෙන්ම අප රටේ මූල්‍ය යාන්ත්රණයට රහසිගත ලෙස සිදු වන මේ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය නිසා මේ වන විට ද අති විශාල බදු ආදායමක් රජයට අහිමි වන බව අනාවරණය වේ.
මෙම උන්ඩියල් යන වදන ජාත්‍යන්තර වශයෙන් භාවිතා වුව ද එය ඉන්දීය සම්භවයක් සහිත වදනක් බව පැවසෙයි.එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වන ජාවාරම් රැසක් සඳහා ද මෙම උන්ඩියල් ක්‍රමය යොදා ගන්න බව අනාවරණය වී තිබේ.උන්ඩියල් යන්න හැඳින්වීම පිණිස වෙනම සිංහල වදනක් නැත.
එහෙත්, මහනුවර යුගයේ දී උන්ඩියා,සහ උන්ඩියා රාල යන වදන් භාවිතයේ පැවැති බව තත්කාලීන මූලාශ්‍ර පිරික්සීමේ දී පෙනී යයි.එම උන්ඩියා හෙවත් උන්ඩියා රාළ ලෙස හඳුන්වා ඇත්තේ රජු සඳහා අය බදු එකතු කරන නිලධාරියාය.
බදු පොදි ගසා ගැනීම හෙවත් උන්ඩි කර ගැනීම මුල් කරගෙන ඔහුට මෙම තනතුරු නාමය ලැබී ඇත.ඒ අනුව අපේ රටට එන විදේශ විනිමය ඒ රටවල දීම උන්ඩි කොට තබාගෙන මෙරට දී ඒවා දේශීය මුදල් වශයෙන් ගෙවා දැමෙන මෙම පාතාල බැංකු ක්‍රමය ද උන්ඩියා(ල්) ලෙස හැඳින්වීමේ වැඩි දොසක් ඇතැයි අපට නොසිතෙයි..
සහන් සංකල්ප සිල්වා