සොරකම් කළවුන් නිදැල්ලේ; ජනතාව වෙනුවෙන් කතා කොට සිර ගත වූ රන්ජන් නිදහස් කරන්න

ජනතාවාදී මානව හිතවාදී චරිතයක් ලෙස ප්‍රකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිරගත කොට සිටින්නේ සොරකම් කිරීමෙන් හෝ අයථා වැඩකිරීමෙන් නොවන බවත් ඒ මහතා නිරන්තරයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නිසා බවත් එනිසා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.. ඒ දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා අද (03) වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.
සීනි වංචා, පොල්තෙල් වංචා, ගෑස් වංචා, පොහොර වංචා වලට සම්බන්ධ සියලු දෙනා නිදැල්ලේ සිටින පසුබිමක ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ රන්ජන් රාමනායක මහතා පමණක් සිරගතකොට සිටින බව ද විපක්ෂනායකවරයා පැවසීය.දූෂණයට මර්දනයට අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් මේ වසරේ දී යළි ආරම්භ කරන බව ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් පුන පුනාම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප්‍රතිචාර වාචිකව හිමි වූවත් ද වනතුරු තවමත් එය ප්‍රායෝගිකව ඉටු ඉටු නොවීම පිළිබඳව තමන් කණගාටුවට පත් වන බවත් මාධ්‍ය වේදීන් හමුවේ විපක්ෂ නායකවරයා පැවසීය.

කාලීන පුවත්