කුප්පි ලාම්පු එළියෙන් විසඳිය නොහැකි විදුලි කප්පාදු අර්බුදය

සැළකිය යුතු කාලයක් බල පැවැත්වෙන විදුලි කප්පාදුවක පෙර නිමිති මේ වන විට පහළ වී තිබේ. ඊට හේතු සාධක ගණනාවක් ද මේ මොහොතේ හට ගෙන ඇත. මහජන උපයෝගීතා පනත අනුව විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ විදුලි බල මණ්ඩලයට තනිව ගත නොහැක. විදුලි බිල වැඩි කිරීමේ සිට විදුලි ජනන පද්ධති අලුත් වැඩියාව දක්වා සියළු කාරණා සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ගත යුතුම ය.

එසේම නව බලාගාර ඉදිකිරීමේදී පවා මහජන උපයෝගිතා කොමිසමේ අවසරය ගත යුතු වෙයි. ඒ අනුව දිනකට පැය දෙක හමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉකුත් සිකුරාදා (07) ඉදිරිපත් කර තිබුණි.

විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම අනුව මහජන උපයෝගීතා කොමිසම අද (10) සිට දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබා දී ඇත.

විදුලිය කප්පාදු කිරීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දක්වා තිබූ හේතු කාරණා වූයේ තාප විදුලි බලාගාරවල ජනන කටයුතු වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැවි තෙල් ලබා නොදීමත්, කැළණිතිස්ස බලාගාරය හා තවත් පෞද්ගලික බලාගාරයක පවතින කාර්මික දෝෂයන් මෙන්ම නොරොච්චෝලේ යුගදනවි බලාගාරයේ බිදවැටීමත් ය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයේ බලාගාර වෙත දැවි තෙල් ලබාදීම වෙනුවෙන් සංස්ථාවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් අයවීමට තිබුණ ද එය නොගෙවීම මත ඉකුත් සතියේ සිට ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැවි තෙල් නිකුත් කිරීම නවතා දැමුවේය. එම කාරණය මත විදුලිබල මණ්ඩලය වෙත තාප බලාගාරයන්ගෙන් විදුලිය ජනනය කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගිණ.

මේ අතර කැළණිතිස්ස බලාගාරය, නොරොච්චෝලේ බලාගාරය හා තවත් පෞද්ගලික බලාගාරයක විදුලි නිෂ්පාදනය බිද වැටුණේ එහි ඇතිවූ දෝෂයන් හේතුවෙනි. එම කාරණයන් නිසා ඉකුත් සතියේ දින කිහිපයක් පැයක කාලයක් රට පුරා තෝරගත් ප්‍රදේශවල විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ අමාත්‍යාංශ මට්ටමෙන් කළ සාකච්ඡාවන් හි ප්‍රතිඵලයන් අනුව නැවත දැවි තෙල් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදීමට තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

එහෙත්, මේ වන විට තෙල් සංස්ථාව තුළ ද අර්බුදයක් නිර්මාණය වී තිබේ. එනම් සපුගස්කන්දේ පිහිටි තෙල් පිරිපහදු සංකීර්ණය වසා දැමීම ය. තෙල් පිරිපහදුව වසා දැමීමට ඔවුන් තීරණය කරන්නේ දැවි තෙල් ආනයනය කිරීමට මුදල් නොමැතිකම මත ය.

විදුලි බල මණ්ඩලයේ තාප බලාගාර වෙත සංස්ථාව දැවි තෙල් ලබා දුන්නේ සපුගස්කන්දේ පිරිපහදුවෙනි. බොරතෙල් පිරිපහදු කිරීමේදී ලැබෙන අතුරු ඵලයක් වූයේ දැවි තෙල් ය.

භූමිතෙල්, ගුවන් යානා තෙල් මෙන්ම තාර යනාදී අතුරුඵල රැසක් බොරතෙල් පිරිපහදු කරන විට තෙල් සංස්ථාව නිෂ්පාදනය කර ගනියි. එම අතුරු ඵල අලෙවි කිරීමෙන් යම් මුදලක් ඔවුන් උපයා ගත්ත ද දැවි තෙල් වෙනුවෙන් විදුලිබල මණ්ඩලය වසර කිහිපයකින් මුදල් ගෙවා නොමැත.

එය කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බොරතෙල් ගෙන්වා පිරිපහදු නොකළ හොත් අනිවාර්යෙන්ම විදුලි බල මණ්ඩලයේ බලාගාර වෙනුවෙන් දැවිතෙල් ආනයනය කිරීමට සිදුවනු ඇත. මන්ද තාප බලාගාර රැසක් මේ වන විට පවතින බැවිනි. තාප බලාගාරවල අවශ්‍යතාවය පැන නගිනුයේ වර්ෂාව අඩු කාලවලදී ය. ඒ මන්ද ජල විදුලිය නිෂ්පාදනය අවම වන බැවිනි.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් දක්වා ඇද හැළුණු නිරිත දිග මෝසම හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවල ජලධාරිතාවය ඉහළ ගියේය. මේ නිසා ලංකා විදුලි බල මණ්ඩලය රටේ විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 75% ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ ජලවිදුලි බලාගාර වලිනි. නමුත් මේ වන විට වර්ෂාව අඩුවීම නිසා ජල විදුලිය නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වෙමින් තිබේ.

සාමාන්‍යයෙන් වර්ෂාව අවම කාලවලදී ජල විදුලිය නිෂ්පාදනය 25% දක්වා පහත බසිනු ඇත. නියඟ කාලයක් පැමිණිය හොත් එය 10% ටත් අඩු මට්ටමකට පහළ යනු ඇත. මෙම ගැටළුවට විසදුමක් ලෙස නොරොච්චෝලේ යුගදනවි බලාගාරය ඉදිකළ අතර එහි විදුලි නිෂ්පාදනය මෙගවොට් 900 කි. එනම් මෙගවොට් 300 බැගින් වූ බලාගාර 3 ක් එහි මේ වන විට ස්ථාපිත කර තිබේ.

යුගදනවි බලාගාරය විදුලිය නිෂ්පාදනය කරනුයේ ගල්අඟුරු දහනය කිරීමෙනි. ගල් අගුරු දහනය කොට නිපදවන තාපයෙන් ටර්බයින කරකවා විදුලිය ජනනය කරයි. එහෙත්, රට තුළ මේ වන විට උද්ගතව ඇති ඩොලර් අර්බුදය හේතුවෙන් ගල් අගුරු ආනයනයට ද තහංචි පැනවී ඇත. ගල් අඟුරු ආනයනය කිරීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කැඳවුවද කිසිදු ගැණුම්කරුවෙක් ටෙනඩර් ඉදිරිපත් කර නැත්තේ ඩොලර් අර්බුදයක් අස්සේ එවැනි දේකට අත පෙවීම”නිකරුණේ ඉල්ලන් කෑමක්” විය හැකි බැවිනි.

එම නිසා මේ ජනවාරි මාසයෙන් පසු නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇත. මෙම යුගදනවි බලාගාරයේ මෙගාවොට් 300 ක එක් ජනන යන්ත්‍රයක දෝෂයක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය අක්‍රීය වුව ද ඉතිරි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක වන නිසා ජාතික විදුලිය පද්ධතියට අහිමිව ඇත්තේ මෙගවොට් 300 ක් පමණි. අනෙක් මෙගාවොට් 600 ලැබෙමින් පවතියි. එසේවුවද ගල් අඟුරු නොමැතිවුවහොත් මෙම ජනන යන්ත්‍ර දෙක ද අක්‍රියවීම වැළැක්විය නොහැක.

එක් පසෙකින් ඩොලර් අර්බුදය නිසා බොරතෙල් ගෙන්විය නොහැකි වීමෙන් තාප බලාගාරවලට දැවි තෙල් නොලැබී එම බලාගාර අක්‍රිය වන තත්ත්වයක් නිර්මාණය වෙද්දී අනෙක් පසින් ගල් අගුරු ගෙන්වීමට නොහැකිව යුගදනවි බලාගාරය වසාදැමීමට නියමිතව ඇත.

මේ සියළු කාරණා ගණනය කළ විදුලි බල මණ්ඩලය විදුලිය කප්පාදුවකට දින නියම කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර් රණතුංග කියා සිටියේ දැනට දැවි තෙල් සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරන බැවින් අද(10)විදුලි කප්පාදුවකට නොයන නමුත් ඉදිරියේ දී ඇතිවිය හැකි බවට නිගමනය කරන ගැටළු කිහිපයක් මත අද සිට විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමෙන් අවසරය ලබාගත් බව ය.

එම ගැටළු නිරාකරණය වුවහොත් විදුලි කප්පාදුවකට නොයන බව ද ඔහු කීවේය.

නමුත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති කරුණු නිරාකරණය වන පාටක් නොමැති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.විදුලිය යනු රාත්‍රියට අඳුර දුරලීම පිණිස පමණක් යොදා ගත හැක්කක් නොවේ.එය වූ කලී සමස්ත ජාතියේම,මූලික ජනතා අවශ්‍යතා ඉටු කිරීමේ සිට නිෂ්පාදන,ව්‍යාපාර,කර්මාන්ත ආදී ක්ෂේත්‍ර රාශියක ප්‍රධානතම ගාමක බලයකි.

ඒ අනුව කවර කරුණු කාරණා මත පදනම් ව හෝ නැවත විදුලි කප්පාදුවකට යාමට සිදු වුව හොත් සාමාන්‍ය ජනතාවට රාත්‍රි කාලයට අඳුරේ සිටීමට, ගෘග මෙවලම් පරිහරණය නොකර සිටීමට වඩා අතිශය බරපතල ඛේදනීය තත්වයකට රට මුහුණ දෙනු ඇත.

එමෙන්ම එහි දී විකල්ප විදුලි බල උත්පාදනය වෙනුවෙන් ඉන්ධන සපයා ගැනීමේ අසීරුතාව මුල් කොට අපේ රටත් ජනතාවත් මෙතෙක් මින් පෙර මුහුණ නොපෑ අතිශය ඛේදනීය තත්වයන් රැසකට මුහුණ දීමේ දැඩි අවදානමක් පැන නඟී.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කිව හැක්කේ මෙම විදුලි කප්පාදුව කුප්පි ලාම්පු එළියෙන් කෙසේවත් විසඳිය නොහැකි ඊට වඩා අතිශයින් බරපතල විසඳුම් සෙවිය නොහැකි අර්බුදයක් බවය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර