ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දාන්නේ පරදිනවාට බය නිසයි

හැටනව ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයාත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවත් දැනට හිස ඔසවමින් තිබෙන ජනතා විරෝධය හමුවේ පරාජයට බියෙන් පළාත් පාලන ඡන්දය වසරකින් කල් දමා ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.“මේ ආණ්ඩුවට ජනතාව ලබා දුන් ජනවරම දැන් දියවෙලා.

ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රශ්න දැන් එළියට ඇවිත්. බඩු මිල වැඩිකරලා; ජනතාවට පීඩාවට පත්කර කරලා; ජනතාවගේ සහයෝගයක් නැති ආණ්ඩුවක් බවට පත්වෙලා. ජනතාවගේ විරෝධය දැන් ආණ්ඩුවට දැනෙමින් තිබෙන්නේ.

ජනතා විරෝධයට බයෙන් පළාත් පාලන ඡන්දය නීතිවිරෝධීව, සදාචාර විරෝධීව පළාත් පාලන ඇමතිවරයාට තිබෙන බලතල පාවිච්චි කරමින් වසරකින් ඡන්දය කල් දමලා.

ප්‍රජාතන්ත්‍ර විරෝධීව තමන්ට හිමි නැති බලයක් අවුරුද්දක් පවත්වාගෙන යන්න මේ හදන්නේ. පළාත් පාලන මැතිවරණයේදී අත්වෙන පරාජයට බයෙන් තමයි මේ ඡන්දය කල් දාලා තියෙන්නේ. ජනතාවට අපි කියනවා ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවට එරෙහිව විරෝධය පළකරන්න කියලා.” යනුවෙන් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(11) පස්වරුවේ පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

කාලීන පුවත්