රට සේම විදුලි බල මණ්ඩල සාමාන්‍යාධිකාරී පුටුවත් අඳුරේ!

විදුලිය කප්පාදු නොකරන බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පසුගිය දා පුරාජේරුවෙන් පැවසුවද ඔහු පැවසු කතාව බොහෝ දෙනෙකුට රූපවාහිනී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශ මඟින් නැරඹීමට පවා රටේ යම් යම් ප්‍රදේශවල ජනතාවට නොහැකිවූයේ එම කාලය තුළ ද විදුලිය කැපී ගොස් තිබු නිසා ය.

මහජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස විදුලිය කප්පාදු කරන මෙන් රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ද එදිනම ය.

විදුලිය කප්පාදුවෙන් ජනතාව අසීරුතාවයට පත් නොවන අවස්ථා මොනවා දැයි අපි නම් නොදනිමු. එසේ කිරීම මිනිසකුගේ නොරිදෙන තැනක් බලා පිහියෙන් ඇනීමට දුන් උපදෙසකැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වරයෙක් කීය.

ගෑස් පිපිරීම්  හා ගෑස් හිඟය හේතුවෙන් ජනතාව විදුලි උදුන් වලට මාරු විය. දැන් විදුලි උදුනේ පවා උයා පිහා ගන්නට නොහැකි වී ඇත්තේ විදුලිය ද පැය දෙක හමාරක් නොමැති තත්ත්වයක් මත ය.

විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය කාලය වෙන් කර තිබෙන්නේ රාත්‍රී කාලයේ ය. ඔවුන් එසේ සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලිය කප්පාදු කරන්නේ රටේ වැඩිම විදුලි ඉල්ලුමක් පවතින්නේ එම කාල වකවානුව නිසාවෙනි. සවස 6.00 ත් රාත්‍රී 10.00 ත් යන කාලය යනු ජනතාව වැඩිම විදුලි පරිභෝජනයක් කරන කාලයක් වේ.

මෙම කාලයෙන් පැය එකහමාරක් ද දිවා කාලයෙන් පැයක් ද යන ලෙස විදුලිය කප්පාදු කිරිමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ලබා ගෙන තිබේ. මෙලස විදුලිය කප්පාදු කිරීමට ප්‍රධානතම හේතු කිහිපයක් වේ.

ඉන් එක් හේතුවක් වන්නේ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ මෙගාවොට් 300 ක එක් විදුලි ජනන යන්ත්‍රයක ඇතිව තිබෙන කාර්මික දෝෂයකි.

අනෙක් කාරණය වන්නේ තාප බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් ලබා නොදෙන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කර ඇති දැනුම් දීම ය. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන් ඔවුන් දැවි තෙල් නිකුත් කිරීම නවතා තිබේ.

අමාත්‍යාංශ මට්ටමෙන් කළ ඉල්ලීමක් අනුව තෙල් සංස්ථාව යළිත් දැවි තෙල් ලබාදීමට එකඟ වුව ද ඔවුනට ලබාදීමට දැවි තෙල් නොමැති බව සංස්ථා නිලධාරියෙකු අප හා කීවේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබෙන තත්ත්වයක් තුළ දැවි තෙල් දිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. එසේම තෙල් සංස්ථාව තමන් සතුව පවතින දැවි තෙල් තොග පෞද්ගලික විදුලි බලාගාර වෙත අත් පිට මුදලට ලබාදීම නිසා ඔවුන්ට විදුලිබල මණ්ඩලයේ බලාගාර වෙත ලබාදීමට දැවි තෙල් නොමැතිවී ඇත.

මෙම සියළු කාරණා මත කැළණිතිස්ස හා සපුගස්කන්ද බලාගාරවලට ඉන්ධන ලැබී නොතිබීම නිසා ඉකුත් 13 දා ද රටේ ප්‍රදේශ ගණනාවක දිවා කාලයේ පැය කිහිපයක් විදුලිය විසන්ධි කර තැබීමට විදුලි බල මණ්ඩලයට සිදුවිය. මෙය කිසිදු කළමනාකරණ හැකියාවක් නොහැති ආණ්ඩුවක් බව මෙම සියලු කරුණු කාරණා මතින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රදර්ශනය කරමින් සිටියි.

විදුලිය කප්පාදුව යනු නිතැතින්ම ජල කප්පාදුවකට මුල පුරන්නකි. එනම් ජලය ටැංකිවලට පිරවීම මෙන්ම ජල පිරිසිදු කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට විදුලි බලය අවශ්‍ය බැවිනි. එම යන්ත්‍ර ක්‍රියාත්මකවීමට නොහැකිවූ විට ජලය පිරිසිදු කිරීමට හෝ පිරිසිදු කළ ජලය ටැංකිවලට පුරවා පීඩනයක් දමා නල මගින් පාරිභෝගිකයා වෙත එවීමට නොහැකි වනු ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා අයි.ඕ.සි පර්යන්ත වල තෙල් ගොඩ බෑම හා පැටවීම කරනුයේ ද යන්ත්‍ර සූත්‍ර මගිනි. ඒවා ක්‍රියාත්මක වීමට ද විදුලි බලය අවශ්‍ය ය. එසේම රටේ ඉන්ධන පිරවුම් පොලවල ඇති වාහනවලට තෙල් ලබා දෙන යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ ද විදුලියෙනි. එසේ නම් විදුලිය කප්පාදුවක දී මේ සියල්ල ද ඇන හිටිනු ඇත.

දෛනික රැකියා කරන බිරිඳ හා සැමියා නිවසට පැමිණෙන්නේ සවස් කාලයේ ය. ඔවුන් පැමිණෙන්නේම පසුදිනට අවශ්‍ය ඉවුම් පිහුම් කටයුතු හා රාත්‍රී ආහාරය සකස් කර ගැනීම උදෙසා ය.

නමුත් ඔවුන් නිවසට පැමිණෙන විට හෝ නිවසට පැමිණ තමන්ගේ කටයුතු කර ගැනීමට සුදානම් වන විට විදුලිය කප්පාදු වන්නේ නම් එය බරපතල ජීවන ගැටළුවකි.

පවුල් සංස්ථාව බිඳ වට්ටන කාරණයකි.

මේ කිසිවක් ගැන රටේ පාලකයන්ට ගණනක් නැත. එසේම ඔවුන් එය තැකීමක් කරනු පෙනෙන්නට ද නැත. ජනතාව ඉලෙක්ට්‍රෝනික උපාංග වෙත යොමුව සිටින අවස්ථාවක ඔවුනට අවශ්‍යම දේ අහිමි කිරීමට පාලකයන් කටයුතු කර තිබේ.

ඒ සියල්ල අතර මාධ්‍ය වාර්තා කර තිබූ තවත් කරුණක් වූයේ ඉකුත් 12 දා සිට විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන පරිපාලක ධූරය වන සාමාන්‍යාධිකාරී ධූරය හිස්ව පවතින බවකි. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර් රණතුංග ඉකුත් 12 දා සිට විශ්‍රාම ගියේ ය. එහෙත් ඒ තනතුරට සුදුසුකම් ලැයිස්තුවේ ඊළගට සිටින කෙනා පත් කළ යුතු වුව ද විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය එය කර නැත.

ඒ වෙනුවට ඔවුන් සුදානම් වී ඇත්තේ හිටපු සාමාන්‍යාධිකාරිවරයාටම සේවා දිගුවක් ලබාදීමට ය. හිටපු සාමාන්‍යාධිකාරිවරයාට සේවා දිගුවක් ලබාදීම වෙනුවෙන් ඔවුන් ඉකුත් 13 දා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැදවා තීන්දු ගැනීමට සුදානම් වුව ද විදුලිබල පනත අනුව එසේ කිරීමට නොහැකි බව නීතිඥවරුන් දැනුම් දී තිබේ.එය වත්මන් රජයේ අකාර්යක්ෂමතාව මනාව පිළිබිඹු කරන්නකි.

එසේම එයට සේවක විරෝධය ද එල්ල වී තිබේ. විදුලිබල මණ්ඩල පනත අනුව සේවා දිගුවක් දිය හැකි වන්නේ එම තැනැත්තා විශ්‍රාම ගැනීමට පෙර ය. එම නිසා එදින සාමාන්‍යාධිකාරි තනතුරට කිසිවෙකුත් පත් නොකර අධ්‍යක්ෂ මණ්ඩලය විසිර ගොස් තිබේ.

නැවත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවිය හැක්කේ 18 දා ය. ඒ අනුව එතෙක් සාමාන්‍යාධිකාරී ධූරය පුරප්පාඩුව ද මෙලෙස “අඳුරේම” පවතිනු ඇත.

බලාගාරවල ඉන්ධන අර්බුදය සේම විදුලිය බිදවැටීම් ආදී මණ්ඩලයේ ගැටළු කළමනාකරණය කිරීමට සිටින තනතුර අද හිස්ව තිබේ. මෙවැනි අරුම රටක ජනතාව මෙලෙස හෝ ජීවත්වීම ගැන සතුටු වෙනවා හැර කළ හැකි වෙන දෙයක් නොමැත.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර