ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හෙළිවන ප්‍රතිපත්තිය කුමක්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කොට යළි පාර්ලිමේන්තුව කැඳවන ලද්දේ ජනවාරි 18 දා ය. නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ය.

පාර්ලිමේන්තුව වාර අවසාන කොට යළි කැඳවන අවස්ථාවේ දී ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති එළිදැක්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වේ. ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු වාර අවසාන කරන්නේම සිය ප්‍රතිපත්ති රටට හෙළිදරව් කිරීමට ය.

අතීතයේ දී මෙය හැදින්වූයේ “රාජාසන කතාව” ලෙස ය. නමුත් 1978 ව්‍යවස්ථාවෙන් එය වෙනස් වී ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස පරිවර්තනය විය. සෑම ජනාධිපතිවරයෙකුම සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අඩු ආදායම් ලාභී ජනතාව ආමන්ත්‍රණය කිරීමට අමතක නොකළ ද වත්මන් ජනාධිපතිවරයාගේ කතාවෙන් එම කොටස හැලී ගොස් තිබේ.

එය උවමනාවෙන් කළා ද යම් අතපසුවීමක් වුණාදැයි කීමට අප දන්නේ නැත. සෑම පක්ෂයක්ම මේ පිරිස ගැන කතා කරති. එහෙත්, මෙහි “පොඩි මිනිහා” “නැති බැරි මිනිහා” හෝ අඩු ආදායම් ලාභී ජනතාව” ආදී නම් වලින් හඳුන්වන ඒ ජන කොටස ගැන වගේ වගක් නොතිබිණ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කරුණු 12 කින් සමන්විත විය.ඒ අතරින් කැපී පෙනෙන කරුණු කිහිපයක් තිබේ. හරිත කෘෂිකර්මය සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව අවධාරණය කිරීම ඉන් මුල් තැනක් ගනී. තම රජය මානව හිමිකම් කඩකර නොමැති බවත් ඉදිරියේ දී ද කඩ නොකරන බවටත් කියා සිටිම ද බොහෝ දෙනකුගේ අවධානයට ලක් වන්නකි.

උතුරු නැගෙනහිර හමුදා කටයුතු සඳහා අත්පත් කර ගත් ඉඩම්වලින් 90% ක් නිදහස් කළේ තමන් බවත් ඉදිරියේ දී ඉතිරිව තිබෙන සෙසු ඉඩම් ද නිදහස් කරන බව කීම. අප රට ස්වාධීන රටක් බැවින් බලවත් රටවල් අතර තිබෙන ගැටලුවලට මැදිහත්වීමට අවශ්‍ය නොවන බව කියා සෑම රටක් සමගම මිත්‍රශීලිව කටයුතු කරන බව පැවසීම.ඉදිරියේ දී වාහන ගෙන්වීම සදහා අවසර දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ ගෙන්වීමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව සඳහන් කිරීම වාහන සඳහා විදුලිය සැපයීමේදී පුනර්ජනනීය විදුලි ප්‍රභවයන් භාවිතයට ගන්නා බව කීම.

මොනම හේතුවක් මත හෝ නැවත ගල් අගුරු බලාගාර ඉදිකිරීමට අනුමැතිය නොදෙන බව කියා සිටීම.අධිකරණ පද්ධතිය ඩිජිටල් කරන බවත් ෆයිබර් හා 4ඝ් ජාල ව්‍යාප්ත කරමින් අධිවේගි අන්තර්ජාල පහසුකම් ලබා දෙන බව කීම. තව ද ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ පළමු පියවර මේ වසර තුළ ආරම්භ කරන බව කීම වශයෙන් ජනාධිපතිවරයා කී කරුණු 12 සංක්ෂිප්තියක් ලෙස සටහන් කළ හැකි අතර ඔහු දේශපාලන කරුණු කිහිපයක් ද ඉදිරිපත් කළේ ය.

ඔහු විපක්ෂයට කියා සිටියේ ජනතාව කුපිත නොකරන ලෙස ය. තවද රට දියුණු කිරීමේ ක්‍රියාවලියට බාධා නොකරන ලෙස ද ඔහු කීවේ ය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ දී ගොවි ජනතාවට වැඩිම සේවයක් කළේ තමන් බවත් ඔවුන් එය අමතක කර ඇති බවත් කියා සිටියේ ය.එහෙත් ඒ වැඩිම සේවය කුමක් ද? යන්න ඔහු කීවේ නැත.

වී කිලෝවක මිල රුපියල් 95 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කීවේය. මෙය ගොවි ජනතාව ලැබූ ජයක් ලෙස ඔහු පෙන්වා දුන්නේය.එහෙත් කාබනික පොහොර නිසා අසරණ ව සිටින ගොවියාගේ අස්වැන්න පහළ වැටී ඇති අවස්ථාවක මෙය කිසිසේත්ම ප්‍රමාණවත් මුදල් නොවේ.

එසේම මෙලෙස වී මිල රුපියල් 95 දක්වා ඉහළ යෑමෙන් සහල් මිල කොපමණ මුදලක් වේදැයි ජනාධිපතිවරයා කීවේ නැත. සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට වී කිලෝ එකහමාරක් අවශ්‍ය ය. ඒ අනුව සහල් කිලෝ එකහමාරට රුපියල් 140 කට ආසන්න මුදලක් වැය වේ. එයට නිෂ්පාදන පිරිවැය හා අනෙකුත් වියදම් ඇතුළු වූ විට සහල් කිලෝවක මිල නියත වශයෙන්ම රුපියල් 200 ඉක්මවා යනු ඇත.

අනෙක් පසින් විද්‍යුත් වාහන ගැන ජනාධිපතිවරයා කතා කළේය. ඉන්ධන වලින් විදුලිය නිපදවන්නට සිදුව ඇති රටක ඉන්ධන නොමැතිව විදුලිය කප්පාදුවකට යන රටක විදුලියෙන් ධාවනය වන වාහන ගැන කතා කිරීම විහිළුවකි. බලශක්ති ඇමති උදය ගම්මන්පිල ද කියා තිබුණේ ඉන්ධන දහනය කොට විදුලිය නිපදවා විදුලි වාහන ධාවනය කරන්න කල්පනා කරනවා නම් එය සාර්ථක පියවරක් නොවන බව ය.

එසේ නම් මේ ඉදිරිපත් කර ඇත්තේ රජයේ කවර නම් ප්‍රතිපත්තියක් දැයි අපහැදිලි ය. සාමාන්‍යයෙන් ජනතාව ජනාධිපතිවරයකු ඉදිරිපත් කරන මෙවන් ප්‍රතිපත්ති ප්‍රකාශයකින් කියැවෙන්නේ මොනවාදැයි දැන ගැනීමට විමසිලිමත් වෙති. නමුදු මෙවර රටේ ජනතාවට එවැනි උනන්දුවක් තිබුණේ දැයි දැගන්නට නැත. මෙය ජනාධිපති වරයා මොනවා හරි කීමක් බවට පත්ව තිබේ.

අනෙක් කාරණ රටේ මේ වන විට තිබෙන දැවෙන ප්‍රශ්නය වන්නේ ඩොලර් අර්බුදයයි.නමුත් ඩොලර් අර්බුදය විසදා ගන්නා ආකාරය ගැන කිසිවක් ජනාධිපතිවරයා කීවේ නැත. ඩොලර් ප්‍රශ්නය විසඳීමකින් තොරව රටේ අනෙක් ප්‍රශ්න විසඳීය නොහැක.

එවැනි කාලයක ජනාධිපතිවරයා එම ප්‍රශ්නය අමතක කර තිබෙන බව මෙම කතාවෙන් පැහැදිලි වේ.මේ සියළු කරුණු ඔස්සේ සිතා බැලුව ද යනපති වරයාගේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට අනියමින් ඒත්තු යන ප්‍රධාන කරුණක් තිබේ.

එනම් ජනපති වරයාට හෝ ඔහු ගේ රජයට තවමත් නිසි ප්‍රතිපත්තියක් නොමැති බවකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර