වරින් වර සිදුවන විදුලි කප්පාදු කිරීම් හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශ අඳුරේ පැවතීම මේ දිනවල නිතර අත් දකින්නට සිදු වෙයි.මෙවන් විශේෂිත තත්වයන් යටතේ ඒ සම්බන්ධයෙන් ජ්‍යොතීර්වේදයට අනුව කරුණු දැක්වීමට කිසිදු ජ්‍යොතීර්වේදියකු මෙතෙක් ඉදිරිපත් ව නැත.
සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ගැන යථාර්ථය නොදත් අතීත ජනයා ඒවා හඳුන්වන ලද්දේ රාහු නම් මනඃකල්පිත ග්‍රහයාගේ ක්‍රියාකාරකම් ලෙසිනි.
හිරු සහ සඳු පවා අඳුරේ තැබීමට තරම් දුෂ්ඨ නපුරු බවකින් යුතු රාහු ග්‍රහයා වත්මන් විදුලි කප්පාදුව හා සම්බන්ධ කෙරෙන අන්දම පිළිබඳව මේ දක්වා ජන මාධ්‍යකින් කීමට කිසිදු ජ්‍යොතීර්වේදියකු මෙතෙක් ඉදිරිපත් ව නැත්තේ පසුගිය කාලය තුළ ඔවුන්ගේ සැබෑ නිරුවත සමාජ කරලිය හමුවේ ප්‍රදර්ශනය වීම නිසා ය.එනිසා ඒ පිළිබඳව යමක් කිව යුතු යැයි මට සිතිණ.
නව ග්‍රහයන් අතරින් අපගේ ජන සමාජය වඩාත්ම බියපත් කරන ග්‍රහයා වනුයේ ශනි හෙවත් සෙනසුරු ය. ඊට අමතරව රාහු, කේතු යන ග්‍රහයන් කෙරෙහි ද සාමාන්‍ය ජනයා තුළ ඇත්තේ දැඩි නොකැමැත්තකි. ඒ අතරිනුදු රාහු ග්‍රහයා තුළ පවතින සුවිශේෂත්වයක් වනුයේ සාමාන්‍ය ජන සමාජය හමුවේ ‘රාහු කාලය’ නම් වන කාර්ය සම්බාධකය පැනවීමට රාහු නම් ග්‍රහයා නිබඳවම පෙළඹීම ය.
ජ්‍යොතිෂයට අනුව ‘රාහු’ යනු පාපී ග්‍රහයකු වුව ද ‘රාහු’ යනු දෙවිවරුන්ට හෙවත් සුරයන්ට එරෙහි අසුරයකු ලෙස ද නොයෙක් තැන්වල සඳහන් වෙයි.නමුදු රාහු ග්‍රහයා හෝ අසුරයා පිළිබඳ කරුණු ඉදිරිපත් කරන බොහෝ දෙනකු නොදන්නා අප්‍රකට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ගත වූ දශක තුනක පමණ කාලය තුළ මට හැකි විය.
ඒ අතුරින් වඩාත් වැදගත් සේම කුතුහලය දනවන පුවතක් වූයේහිරු සඳු පවා වරින් වර ගිල ගන්නා ‘රාහු’ අප රටේ උපන්නකු බව පැවසෙන පැරණි ජන විශ්වාසයයි.
‘නව ග්‍රහ ශාන්ති’ නම් පැරණි ජන කාව්‍යයක නව ග්‍රහයන්ගේ උප්පත්ති ස්ථාන පිළිබඳ සඳහන් වන අතර නව ග්‍රහ සිව් ශාන්ති නම් තවත් ජන කාව්‍යයක නව ග්‍රහයන්ගේ ආයුධ, වාහන ආදී සෙසු විස්තර සඳහන් වෙයි. එම ජන කාව්‍යවලට අනුව එකී නව ග්‍රහයන්ගෙන් අප රටේ උපත ලබා ඇත්තේ රාහු ග්‍රහයා පමණක් වීම ද විශේෂත්වයකි.
හිටපු කෞතුකාගාර ප්‍රධානී පී.ඊ.පී. දැරණියගල සූරීන් විසින් 1954 සහ 1955 වසරවල සංස්කරණය කළ දහ නව වැනි සියවසේ අග භාගයේ අප රටේ සිටි ඉංග්‍රීසි ජාතික පරිපාලන නිලධාරියකු වන හියු නෙවිල් විසින් ඒකරාශි කරන ලද දේශීය ජන කාව්‍ය මුල් කොට ගත් Ethnology 1, 2, 3 කාණ්ඩවල රාහු ග්‍රහයා අප රටේ උපන්නකු බව පැවසෙන ඉහත සඳහන් පද්‍ය සංග්‍රහයන් ඇතුළත්ව තිබේ.
එහෙත්, ඔහු අප රටේ උතුරේ නැතිනම් දකුණේ උපත ලද්දකු ද යන්න සොයා ගත නොහැක.නමුදු,කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය පරිශීලනය කරන ඕනෑම අයකුට රාහු ග්‍රහයා පිළිබඳ මෙම අප්‍රකට පුරාවෘත්තය නම් අනාවරණය කර ගත හැකි ය.
පැරණි මිථ්‍යා සංකල්පයක් මත පදනම් වූ රාහු ග්‍රහයාට බියෙන් පසුවන සහ රාහු කාලය අකුරටම පිළිපදින බොහෝ දෙනකු වුව රාහු ග්‍රහයාගේ උපත පිළිබඳ අසා නොමැති වීම තවත් විශේෂත්වයකි. එහෙත්, රාහු අප රටේ උපත ලැබූ බව පැවසුණ ද ඒ සම්බන්ධයෙන් මතු වන මෙම ඉන්දීය පුරාවෘත්තය විශ්වය හා සම්බන්ධ වූවකි.භාරතීය හින්දු පුරාවෘත්තවලට අනුව රාහු යනු අති ප්‍රබල අසුරයකුගේ හිස කොටස රාහු වශයෙන් ද ඒ අසුරයාගේ කඳ කොටස කේතු වශයෙන් ද සැලකෙයි.
මෙම රමණීය පුරාවෘත්තයට මුල් වනුයේ සුරයන් සහ අසුරයන් එක්ව ගත් සාමූහික ක්‍රියාවක් වන කිරි මුහුද කැළඹීම ය. එසේ කිරි මුහුද කැළඹීමෙන් ලබා ගත් මහාර්ඝ වස්තූන් අතර යමකුට මරණයෙන් අත්මිදී සදාකාලික ජීවිතයක් ලබා ගත හැකි අමෘතය ද විය. අමෘත යන්නෙහි අරුත මෘත හෙවත් මරණයට පත් නොවන පානය යනුයි.
එහි මුලට යෙදෙන ‘අ’ යන උපසර්ගයෙන් මරණයට පත් නොවීම ප්‍රකාශ වෙයි. සුරයන් හා අසුරයන් එක්ව කිරි මුහුද කැළඹීමේ ක්‍රියාන්විතය සිදු කළ ද ඉන් මතු කරගත් නොමැරෙන බෙහෙත අසුරයන් පානය කළහොත් ලෝකයට සිදුවන විනාශය වටහා ගත් විෂ්ණු දෙවියන් එය සුරයන් අතර පමණක් බෙදීමේ වගකීම මෝහිනිය වෙත පවරන ලදී.
ඒ අනුව මෝහිනිය ද අසුරයන් මගහැර සුරයන්ට පමණක් අමෘතය ලබා දෙමින් සිටින අතරේ සුරයකු මෙන් වෙස් වළාගෙන සිටි රාහු අසුරයා ද ඉතා සට කපට ලෙසින් මෝහිනිය වෙතින් ලබා ගත් පානය හනිකට පානය කළේ නොමැරී සිටීමේ හෙවත් අමර වරම ලබා ගැනීමේ රිසියෙනි.
එහෙත්, මෙම සිදුවීම දෙස විමසුම් සහගතව බලා සිටි චන්ද්‍ර සූර්ය හෙවත් හිරු, සඳු එසැණින්ම ඒ බව මෝහිනිය වෙත දන්වා සිටි අතර තමන් වෙතින් සිදු වූ වරදේ බරපතළකම ඒ ඇසිල්ලෙන්ම වටහා ගත් මෝහිනිය එම අමෘතය රාහුට ශරීරගත වීමට පෙර රාහුගේ හිස කඳින් වෙන් කළා ය.
ඉන් පසුව වහා ඉදිරිපත් වූ අසුරයන් කඳෙන් වෙන් වූ රාහුගේ හිස කොටස කේතුගේ කඳට එක් කොට රාහු-කේතු යනු එකම අසුර යුගලයක් බවට පත් කළ ද ඉන් රාහුගේ ගෙලෙහි වූ සිදුර වැසීමට නොහැකි වූ බව එම වෘත්තාන්තයේ සඳහන් ය.
එමෙන්ම තමන් කළ ඒ වැරදි ක්‍රියාව ඒ මොහොතේම මෝහිනියට පැවසීම සම්බන්ධයෙන් හිරු සඳු කෙරෙහි බරපතළ වෛරයෙන් පසු වූ රාහු වරින් වර හිරු සඳු ගිල දමන්නට පුරුදුව සිටි මුත් එසේ ගිලින ලද හිරු සඳු රාහුගේ ගෙලෙහි ඇති සිදුරෙන් පිටතට එන බව පැවසෙයි.
වර්තමානයේ සිදුවන සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ සම්බන්ධ භාරතීය හින්දු පුරාවෘත්තයක සඳහන් වන්නේ එලෙසිනි.අප රටේ අමු අමුවේ සමාජමය කසල ගොඩට ඇද දමා ඇති මෙබඳු මානව විද්‍යාත්මක කරුණු ශාස්ත්‍රීය වශයෙන් ඉදිරියට ගෙන යාම පිණිස භාරතීය සමාජ මානව විද්‍යාවේ ඉන්දුවේදය(Indology)නම් වෙනම විෂයක් තිබේ.
ජ්‍යොතිෂයට අනුව රාහු සේම හිරු සඳු ද නව ග්‍රහයන්ට අයත් වේ. එහි හිරු ‘රවි’ ලෙසින් ද සඳු ‘චන්ද්‍ර’ ලෙසින් ද සඳහන් ය. එහෙත් අපගේ පිරිත් පොතේ සඳහන් චන්ද පරිත්ත, සූරිය පරිත්ත යන පිරිත් දේශනාවලට අනුව හිරු සඳු සහ රාහු ග්‍රහයන් නොවේ.
හිරු සඳු සුරයන් හෙවත් දෙවිවරුන් ලෙසත් රාහු අසුරයකු ලෙසත් දැක්වෙන එම පිරිත් දෙසුම්වල රාහු අසුරයා තමන් ගිල ගැනීම නිසා බියට පත් හිරු සඳු බුදුන්ගේ පිහිට අයැද සිටි බවත් එහි දී බුදු ගුණ සිහි කිරීමෙන් රාහු ගිල ගැනීමෙන් වැළකිය හැකි බවට බුදුන් වහන්සේ හිරු සහ සඳුට උපදෙස් දුන් බවත් දැක්වෙයි.
අවසානයේ ඒ අනුශාසනය මුල් කොට හිරු සඳු බුද්ධානුභාවය සිහි කළ අතර නැවත හිරු සඳු ගිලගතහොත් තම හිස සත් කඩකට පැළී යන බව වටහා ගත් රාහු අසුරිඳු සැණින් ඒ ක්‍රියාව නවතා දැමූ බවත් එම පිරිත් දේශනාවල සඳහන්ව තිබේ.
මේවා සම කාලීනව ජනතාව තුළ රාහු කේතු යන ග්‍රහයන් සම්බන්ධයෙන් පැවති බිය සැක දුරලීම පිණිස යම් යුගයක බෞද්ධ සාහිත්‍යයට එක් කළ මනඃකල්පිත ප්‍රබන්ධ බව පැහැදිලි ය.
මේ සියලු තත්ත්වයන් යටතේ රාහුගේ උපන් බිම අපේ රට බවට පුරාණ ජන සම්මතයක් ඇතිවීමට හේතුව නම් මට මෙතෙක් අනාවරණය වී නැත.
එහෙත්,වර්තමානයේ අපේ රටේ පවතින සමාජ,ආර්ථික දේශපාලන අන්ධකාරය අනුව බලන විට රාහු අප රටේ උපන් බව පැවසීමේ ප්‍රබල දාර්ශණික වටිනා කමක් නම් ඇති බවක් පෙනෙයි.
තිලක් සේනාසිංහ