හරියකට කන්න අඳින්න වත් නැති ලෝක වාසීන් ගැන විමසුමක්

දරිද්‍රතාවය ; එසේත් නැත්නම් දුප්පත්කම යනු අපේ රටේ මේ දින වල නිතර කතාබහට ලක්වන ජනප්‍රිය මාතෘකාවකි. ඡන්දයක් ආසන්න වන විට දේශපාලන වේදිකාවල තළුමරමින් රස බලන්නට මේ තරම් ගැලපෙන වෙනත් කාරණයක් නොමැති තරම් ය.

අප සිතන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් අප පමණක් වන බවය. නමුත් දරිද්‍රතාවය පිළිබඳ සමීක්ෂණ පවත්වන ලෝක සංවිධානවලට අනුව දැනගන්නට ලැබෙන තොරතුරු අප සිතනවාට වඩා වෙනස් ය.

ඒ වාර්තාවලට අනුව ලෝකයේ බොහෝ දෙනෙක් ජීවත්වන්නේ දරිද්‍රතාවයෙනි. ලෝකයේ සෑම මිනිසුන් 10 කට එක අයෙකුගේම දෛනික ආදායම ඇමරිකානු ඩොලර් 1.90 ක් හෙවත් රුපියල් 385 ක් පමණ වේ. මොවුන් වැටෙන්නේ අන්ත දිළිඳු ජනතාවගේ ගොඩට ය.

දුප්පත්කම පිළිබඳ කතා කරද්දි ඒ ඒ රටවල් සම්බන්ධයෙන් අපූරු තොරතුරු දැනගන්නට ලැබේ. දුප්පත්කම නිසාම මේ රටවල ජනතාවගේ ජීවන චර්යාවන් ඇතැම්විට අපට වඩා වෙනස් ය. කෑමබිම, ඇඳුම් පැළඳුම්, ආදිය මේ අතර ප්‍රමුඛ ය.

ආහාර

ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජය සැලකිල්ලට ගෙන බැලුවහොත් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මඤ්ඤොක්කා ය. ඒ වගේම දළඹුවන්, පළගැටියන් සහ තණකොලපෙත්තන් බැද ආහාරයට ගැනීම සාමාන්‍ය දෙයකි. බුරුන්ඩි යනු දිළිඳුබවේ හිනිපෙත්තේම තිබෙන රටකි. ඔවුහු මඤ්ඤොක්කා කැඳ පානය කරන්නට ඉතා කැමතිය. එළදෙන පූජනීය තත්වයේ ලා සැලකෙන අතර කිරි ආශ්‍රිත ආහාර ද බහුල වේ. බොහෝ රටවල බඩඉරිඟු ද බහුලව ආහාරයට ගැනේ.

ඇඳුම් පැළඳුම්

ලොව දුප්පත්ම රටවල්වලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ අප්‍රිකානු මහාද්වීපයේ ය. මේ දුප්පත් රටවල කිසිවකු අලුත් ඇඳිම් නොඅඳින බව ඇතැම් වට යමෙකුට විශ්වාස කරන්නට නොහැකි වනු ඇත. නමුත් සැබෑව එයයි. ඔවුන් අඳින්නේ ලෝකයේ ධනවත් රටවලින් නොමිලේ ලැබුණු, පාවිච්චි කළ ඇඳුම් පැළඳුම් ය. මේ රටවල්වල ද ඇඟලුම් කර්මාන්ත ශාලා ඇති නමුත් ඒවායේ නිෂ්පාදනය වන ඇඳුම් මිලට ගන්නට ඔවුන්ට වත්කමක් නැත. ඒ ඇඳුම් අළෙවි නොවන බව දුටු බොහෝ රාජ්‍ය පාවිච්චි කළ ඇඳුම් මත වැඩි බදු පනවන්නට පටන් ගෙන තිබීම මේ දුප්පතුන්ගේම අවාසනාවකි.

සනීපාරක්ෂාව

අන්ත දරිද්‍රතාවයෙන් යුක්ත රටවල සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ කතා කිරීම අතිශය ඛේදජනක ය. විශේෂයෙන් එවැනි රටවල කාන්තාවන් වෙනුවෙන් සනීපාරක්ෂාවක් ඇත්තේම නැත. උදාහරණයක් ලෙස ගතහොත් ඉන්දියාවේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා ආදිය මිලට ගැනීමට වත්කමක් නැත.

අඩුම තරමේ මාස් ශුද්ධිය ඇතිවූ විට භාවිතය සඳහා රෙදිකඩකවත් නොමැත. එවැනි දිනවල දී ඇතැම් කාන්තාවන් සිය යට ඇඳුමේ පස් හෝ අලු තබාගන්නේ යැයි සඳහන් කළහොත් බොහෝ දෙනෙක් පිළිගන්නට පවා මැළිවනු ඇත. නමුත් සත්‍යය එයයි. සෞඛ්‍යාරක්ෂිත පැත්තෙන් අතිශය අවදානම් ක්‍රියාවක් වන මේ නිසා ලෙඩරෝග වැළඳී මරණය ළඟ කරගන්නා කාන්තාවන් ද බොහොමයකි.

ධනවත් රටවල දුප්පතුන්

දුප්පතුන් සිටින්නේ දුප්පත් රටවල පමණක් යැයි අප සිතුව ද අතිශය දියුණු, ධනවත් රටවල ද මේ තත්වය දැකිය හැකිය. කෙසේ නමුත් මේ රටවල දුප්පතුන් ලෝකයේ දුප්පත් රටවල සිටින දුප්පතුන්ට වඩා ධනවත් ය.

ඔවුන් දුප්පත් වී ඇත්තේ ඒ රටවල ජිවත්වන බහුතර දෙනාට සාපේක්ෂව ය.මේ තත්වය යටතේ කෘෂි අස්වැන්න පහත් වැටීම්,ඩොලර් හිඟය යන තත්වයන් යටතේ අප රටේ අනාගත ඉරණම කෙබඳු වේදැයි කීමට දැන්ම කල් වේලා වැඩිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්