නාගරිකත්වය ආදර්ශ කොට ගත් නූතන සමාජයට සාපේක්ෂව ස්වීයත්වය මත පදනම් වූ පැරණි ග්‍රාමීය සමාජ ඒකක වල සාම්ප්‍රදායිකත්වයට මුල් තැනක් හිමි විය.ඒ සාම්ප්‍රදායිකත්වයන් සිඳ බිඳ දැමීමෙන් තම දිවි පැවැත්මට අනිටු ප්‍රතිඵල හිමි වන බවට පැරණි ගැමියන් අතර විශ්වාසයක් තිබූ බැවිනි.
එලෙස සාම්ප්‍රදායිකත්වයට බලපෑම් කරන්නවුන්ට විපත් පමුණුවන ගුප්ත ශක්තීන් පිළිබඳව ද පැරණි ගැමියෝ විශ්වාස කළහ. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක විසි වැනි සියවසේ විශිෂ්ටතම කෘෂිකාර්මික විප්ලවය කළ ජන නායකයා වශයෙන් හඳුන්වනු ලැබේ.
එහෙත්, ඔහුගේ හදිපි මරණය දිගාමඬුල්ලේ පැරණි දෙවි කෙනෙකු සමඟ ඇති කර ගත් ආරෝවක් බව ඒ සම්බන්ධයෙන් කරනු ලැබූ විමසුමක දී අනාවරණය කර ගැනීමට මට හැකි විය. ශ්‍රී ලංකාවේ මුල්ම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු 1949 ඇරඹූ ගල්ඔය ව්‍යාපාරය ඩී.ඇස්. සේනානායකයන්ගේ සංවර්ධන ව්‍යපෘති අතුරින් ප්රධානත්වයට පත් වන අතර එහි දී ඔහුට මුහුණ දීමට සිදු වූ අභියෝග අතර එක්තරා සුවිශේෂී අභියෝගයක් ද විය.
එනම් ගල්ඔය ව්‍යාපාරය සඳහා ජලයෙන් යට වී ගිය බිමකට අරක් ගත් දෙවියකුගේ වාසස්ථානයක් හෙවත් දේවාලයක් ඉවත් කිරීමට සිදු වීම ය දිගාමඩුල්ල ප්‍රදේශයේ පාරම්පරික ගැමි ජනතාවගේ පාරම්පරික විශ්වාසයකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරයාගේ හදිසි මරණයට හේතුව එම දෙවියන්ගෙන් ලැබුණු දඬුවමකි. එනිසා ඒ ජන විශ්වාසය පිළිබඳ විස්තර කිරීමට පළමු ඒ දෙවියන් කවුරුන් දැයි ඔබට හඳුන්වා දීම මගේ යුතුකමකි.
දිගාමඩුල්ල ප්‍රදේශයේ පාරම්පරික ගැමි ජනතාවගෙන් පිදුම් ලබන මෙම දෙවියන් හැඳින්වෙනුයේ ‘නිකවැටියේ අලුත් දෙවියෝ’ යන නමිනි. එතුමන්ගේ අනන්‍යතාව තවදුරටත් පැහැදිලි කරගනු පිණිස ඒ දෙවියන් සම්බන්ධ පැරණි යාදින්නක එන මෙම ඡේදය යොදා ගත හැකිය.
‘නිකවැටියේ පස්සර පලාවන්න නින්දගම ඇල්ලූ දිසානායක අලුත් බණ්ඩාර හාමුදුරුවනේ’ යනු ඒ යාදිනි වැකියයි. මෙහි සඳහන් වන ‘නින්දගම ඇල්ලූ’ යන වදනින් අනියමින් හැඟවෙනුයේ එතුමන් රජ කෙනෙකුන් විසින් අනෙකකුට ප්රදානය කළ යම් සුවිසල් භූමි භාගයක් බලහත්කාරයෙන් අත්පත් කර ගත් බව ය.
පාදාගොඩ අලුත් දෙවියන් නමින් හැඳින්වෙන දිගාමඩුල්ලේ තවත් ප්‍රාදේශීය දෙවි කෙනකුන් සමඟ ප්‍රදේශයේ ජන දුකට පිහිට වන නිකවැටියේ අලුත් දෙවියන් දඩයමේ යන්නවුන්ට පිහිටාරක්ෂාව සලසන බව පුරාණ වැව්ගම්පත්තු වැසියන් තුළ විශ්වාසයක් පැතිර තිබිණ. පුරාණ කාලයේ නිකවැටිය කෝරලයේ ප්‍රභූවරයකු වූ දිසානායක නමැති ප්රතාපවත් පුරුෂයකු ඒ අද්දර නිල්ගල වන පෙතේ දඩයමේ යන අතරේ කුළු මීමකුට බිලිවීමෙන් මරණයට පත් වූ සිදුවීමක් මේ දේවත්වය හා බැඳී පවතී.
එනිසාම පසුකාලීනව මෙම නිකවැටියේ අලුත් දෙවියන් පිළිබඳ සංකල්පය ගව මහීෂාදීන් හා සම්බන්ධ මංගර දේව සංකල්පය හා සම්මිශ්‍රණය වූ බවක් පෙනේ. නමුදු පැරණි වැව් ගම්පත්තු වැසියන්ගේ දේව ඇදහීම් අතුරින් මුළුමනින්ම ගිලිහී නොගිය නිකවැටියේ අලුත් දෙවියන් පිළිබඳ විශ්වාසය සම්බන්ධයෙන් මායා රංජන් සූරීන් ලියූ ‘දිගාමඩුල්ලේ ආශ්චර්ය’ නම් මාහැඟි කෘතිය මගින් යම් යම් කරුණු අනාවරණය කර ගත හැකිය.නමුදු එහි කතුවර මායා රංජන් තම කෘතියට පදනම් වන කරුණු උකහා ගෙන ඇත්තේ මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකයන් ගේ හදිසි මරණයට කලින් වකවානු පදනම් කර ගනිමිනි.
එහෙත්, මෙම නිකවැටියේ අලුත් දෙවියන් සහ මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක අතර ඇති වූ පැනය සම්බන්ධයෙන් මානට විද්‍යාත්මක වශයෙන් වැදගත් කරුණු සම්භාරයක් එක්රැස් කර ගැනීමට හැකි විය. ඒ 1960 දශකයේ මැද භාගයේ අම්පාර උහන, දමන ආදී ප්‍රදේශවල උප ගුරුවරයකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජාඇල, නිවන්දම විශ්‍රාමලත් විදුහල්පති එම්.ටී. ධර්මසේන මහතාගෙනි.
ඔහු මා වෙත ඉදිරිපත් කළ විස්තරයට අනුව නිකවැටියේ අලුත් දෙවියන්ගේ දේවාලය තිබූ ස්ථානය ගල්ඔය ව්‍යාපාරය උදෙසා ජලයෙන් යට වීමට නියමිතව තිබිණ. වර්තමාන බොහෝ දේශපාලනඥයන්ට සාපේක්ෂව ඩී.ඇස්. සේනානායක කෘෂිකාර්මික ප්‍රදේශවල ජීවත් වූ බිම් මට්ටමේ පුද්ගලයන් සමීපව ඇසුරු කළ ජන නායකයෙකි.
ඒ අනුව ජලාශයක් වෙනුවෙන් හෝ නිකවැටියේ අලුත් දෙවියන්ගේ දෙවොලට හානියක් කිරීම බිහිසුණු පල විපාක ගෙන දෙන්නක් බව ඩී.ඇස්. සේනානායක හට ඒ ප්‍රදේශයේ පාරම්පරික ගැමියන් නොයෙක් වර කියා ඇත.
‘ඒත් ඉතින් දෙවියෝ වුණත් දැනගන්න එපාද? මම මේ කරන්න යන්නේ අපේ රටේ කන්න අඳින්න, ඉන්න හිටින්න නැති මිනිස්සු ලක්ෂ ගාණකට ඉඩම් දීලා වතුරත් දීලා ඒ මිනිස්සුන්ට තුන් වේල කන්න බත සපයන ගමන් අතමිට, කන කර හරිගස්සලා දීමක් බව. අනික මම මේ හදන්නේ මේ රටේ මිනිස්සුන්ට ඇති පදමට බත් කන්න ඉඩ දෙන්න බව.’ ඒ අවස්ථාවේ දී මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක එම ගැමියන්ට එසේ කියා සිනාසී තිබේ.
එහෙත්, ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශයේ ගැමියන් ඩී.ඇස්. සේනානායකට පවසා ඇත්තේ නිකවැටියේ අලුත් දෙවියන් අදහන්නවුන්ට දඩයම් හිමිවන සේම දෙවියන්ට එරෙහි වන්නවුන්ට සතුන් නිසා මාරාන්තික අනතුරු වන බවකි.
ඒ කෙසේ හෝ නිකවැටියේ අලුත් දෙවියන්ගේ දේවාලය එතැනින් ඉවත් නොකළහොත් සමස්ත ගල්ඔය යෝජනා ක්රමයේම සැලසුම් පවා වෙනස් කිරීමට සිදුවන බවට වටහා ගත් ඩී.ඇස්. සේනානායකයන් එසේ ජලයෙන් යට වන ප්‍රදේශයේ ගැමියන්ට අලුත් ඉඩම් හිමිවන ඉසව්වක එම දේවාලය නැවත ස්ථාපිත කරන ලෙස උපදෙස් දී තිබේ.
ඒ අනුව එම දේවාල බිම කෙමෙන් ජලයෙන් පිරී මහා ජලාශයක් බවට පත් වීමට ආසන්නම දිනයෙක එම නිකවැටියේ අලුත් දෙවියන්ගේ දේවාභරණ ද සහිතව එම දේවාලය එතැනින් ඉවත් කර ගැනීමට එහි කපු මහතාට සිදු විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඓතිහාසික විමසුමක් කළ විට පෙනී යන්නේ මෙය 1949 වසරේ සිදු වූවක් ලෙස ය. ඉන් පසුව අප රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දෙලක්ෂ පනස් දහසක ජනතාවක් අලුතින් සකස් කළ ගොවි ජනපද හතළිහක් තුළ පදිංචි කරවා ඔවුනට සියලු කෘෂිකාර්මික යටිතල පහසුකම් සලසා දෙන්නට ඩී.ඇස්. සේනානායකයන්ට හැකි විය. මෙම තත්ත්වය යටතේ මෙම නිකවැටියේ අලුත් දෙවියන් පිළිබඳ විශ්වාසය කෙමෙන් එම ප්‍රදේශවලින් ඉවත් වන්නට වූ අතර අද වන විට එම දේව විශ්වාසය මංගර දේව ඇදහීම තුළට අවශෝෂණය වී තිබේ.
‘නමුත් නිකවැටියේ අලුත් දෙවියෝ තරහා කර ගන්න හොඳම නැති දෙවි කෙනෙක් කියන විශ්වාසය ඒ පැත්තේ ජන හදවත්වල තිබුණා. මම ඉස්සර වෙලාම පත්වීම අරගෙන ගිය ඉස්කෝලෙ අවට ගම්වල හිටපු වයසක ගැමියෝ කිව්වේ ඩී.ඇස්. සේනානායක මහත්තයා මතු බුදු වෙන බෝධිසත්වයෙක් වුණත් නිකවැටියේ අලුත් දෙවියෝ උන්නැහෙගෙන් පළි ගත්තා කියලයි.’
ධර්මසේන මහතා කී අන්දමට නිකවැටියේ අලුත් දෙවියන් ඩී.ඇස්. සේසානායකගෙන් පළිගෙන ඇත්තේ ඔහු අශ්වයකු පිට ගමන් කරමින් සිටිය දී බිම ඇද වැටීමට සලස්වා අකල් මරණයකට පත් කිරීමෙනි. ඒ 1952 මාර්තු 22 දා ය.
“නිකවැටියේ අලුත් දෙවියන්ට කෙනෙහිලිකම් කරන අයට සත්තුන්ගෙන් මාරක විපත් වෙනවා කියන ජන විශ්වාසය ඒ මරණයත් එක්ක ජන හදවත්වල තහවුරු වුණා. ඒ වගේම අශ්වයන් පිට යාම ගැන පරතෙරට දැනගෙන හිටපු උන්නැහේට එහෙම මරණයක් අත් වුණේ කොහොමද? කියලත් එහේ මිනිස්සු අහනවා.” ධර්මසේන මහතා කීය.
ඒ කෙසේ හෝ මෙම ගලොය සංවර්ධන යෝජනා ක්‍රමය මුල් කොට පැරණි දිගා මඬුල්ල ආශ්රිත ව පිට පළාත් වලින් සංක්‍රමණය වූ අති විශාල ජනතාවක් එහි පදිංචි වූ අතර ඒ ඔස්සේම එහි බලය තහවුරු කරගෙන සිටි නිකවැටියේ අලුත් දෙවියන් පිළිබඳ විශ්වාසය ද අද වන විට ජන මනැසින් ගිලිහී යමින් තිබේ.
ඒ මෑත ඉතිහාසයේ අප රටේ විශිෂ්ටතම කෘෂිකාර්මික විප්ලවය කළ ජන නායකයා හර නිකරුණේ මෙවැනි කුරිරු දඬුවමක් පැනවීමේ දේව ශාපය යළි නිකවැටියේ අලුත් දෙවියන් වෙතම පෙරලා එල්ල වීම නිසා දැයි මම නොදනිමි.
තිලක් සේනාසිංහ