කෘෂිකර්ම ඇමතිගේ බණ්ඩාරගම වී අස්වනු නිරීක්ෂණයේ නොපෙනෙන පැත්ත

මෙවර මහ කන්නය කාබනික පොහොර භාවිතා කර නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩුවී ඇත්තේ ඉතා සුළු වශයෙන් බව කලුතර, බණ්ඩාරගම, මිල්ලනිය ගොවියෝ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරියේ පැවසූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයට මාධ්‍ය වෙත නිවේදනය කර තිබුනි.

කලුතර, බණ්ඩාරගම ප්‍රදේශයේ කුඹුරු අක්කර 2,000 ක පමණ මහ කන්නයේ වී වගාව නිරීක්ෂණයට එහි ගිය අමාත්‍යවරයාට, ගොවියෝ පෙන්වා දී ඇත්තේ යල කන්නයේ නිසි කළට පොහොර ලබාදී නිසි කලට කුඹුරු ඉඩම් වී වගාව සදහා සුදානම් කළහොත් අස්වැන්න අඩු නැතුව ලබාගත හැකි බවය.

මෙම ප්‍රකාශය නිකුත් වීමෙන් පසු මාධ්‍ය වෙත කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර ගොවියෝ ප්‍රකාශ කළේ අපේ කුඹුරු ඉඩම් ද නිරීක්ෂණය කිරීමට පැමිණෙන ලෙසය. එවිට කහ පැහැ ගැන්වූ වී වගාවන් දැක ගත හැකිවනු අතැැයි ද ඔවුහු සදහන් කළහ.

ලංකාවේ වැඩිම වී අස්වැන්නක් ලබා දෙන්නේ කලුත් දිස්ත්‍රික්කයෙන් නොවේය. රටේ වැඩිම වී අස්වැන්නක් ලැබෙන්නේ අම්පාර, පොලොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවලිනි. කලුතර කුඹුරු අක්කර 2000 ක වී වගා කරන විට අනෙක් දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර දස දහස් ගණනකින් වී වගා කෙරෙන්නේය. මේ ප්‍රදර්ශනය කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් බව පැහැදිලිය.

ඒ මන්ද යත් රටේ අවශ්‍යතාවයෙන් වැඩිම වී පංගුව නිෂ්පාදනය වන්නේ ඉහත දිස්ත්‍රික්කවලින් වීම හේතුවෙනි. එසේ නම් රටේ වී අස්වැන්නේ අඩුවක් නැති බව පෙන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය උත්සාහ කරයි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී කාබනික වගාවට එක රැයින් යොමු වීමට රජය ගත් පියවර සාධාරණීකරනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්නා අසාර්ථක උත්සායක් බව මෙයින් පැහැදිලිය.

කාබනික ගොවිතැන කළ මැදිරිගිරිය මහඅන්නදරාව වැව ප්‍රදේශයේ කුඹුරු අක්කර ගණනක් අසාර්ථක වී ඇති බවට එම ගොවීන් කී දේ මාධ්‍ය වාර්තා කර තිබුනි. එක පැත්තක වී ගොවිතැන සාර්ථක වන්නත් අනෙක් පැත්තේ අසාර්ථක වන්නත් හේතුව කුමක්දැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සොයා බැලිය යුතුය.

කාබනික ගොවිතැන ලෙස බොහෝ දෙනෙක් පෙන්වා දෙන කුඹුරු ලියැදිවලට සුළුවෙන් හෝ රසායනික පොහොර යොදා ඇති බව ගොවීන් පොදුවේ දන්නා රහසකි. ඒ මන්ද පසුගිය කාලයේ රුපියල් 550 ට නිකුත් කළ යුරියා පොහොර මිටි මහ කන්නය වන විටත් යම් ප්‍රමාණයකින් ගොවීන් සතුව පැවැතිනි. එලෙස තමන් සතුව පැවැති පොහොර ඔවුන් මෙවර කන්නයට ද භාවිතා කළහ. එම අස්වැන්න පෙන්වා රටේ වී ගොවිතැන කඩා වැටී නැතැයි කියා පෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව පැහැදිලිය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ වී අස්වැන්නේ අඩුවක් වුවද එය සාගතයකට හේතුවක් වන්නේ නැති බවය. ඒ මන්ද සෑම කන්නයක දීම අවශ්‍ය තරමට වඩා අස්වැන්නක් රටට ලැබෙන බැවිනි. ඊට අදාළ සංඛ්‍යා ලේඛන පවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කර තිබුනි. එහෙත් දිගින් දිගට කන්න කිහිපයක් අස්වැන්න අඩුවුවහොත් සාගතයක් ඇති වනු ඇති බව ඔහු ව්‍යංගයෙන් පවසයි.

කාබනික පොහොර වගා සංග්‍රාමය හේතුවෙන් වී අස්වැන්න අඩුවීම නිසා සාගතයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ කීවේය. ඔහු කීවේ සාගතයකට රට සුදානම් විය යුතු බවය. එය කියා පැය 24 ක් යාමටත් මත්තෙන් මහාචාර්යවරයා ලේකම්කමින් ඉවත් කර තිබුනි. රජය උත්සාහ කරන්නේ කෙසේ හෝ තමන්ගේ මතය තහවුරු කිරීමටය.

ඊළග යල කන්නයට තබා එළවළු වගාවට පවා රසායනික පොහොර නැත. රසායනික පොහොර තහනම ඉවත් කළද පොහොර මිල සීග්‍රයෙන් ඉහළ යාම නිසා ගොවීන්ට වගාවට අවශ්‍ය පොහොර ලබා ගැනීමට මුදල් නොමැත. යුරියා පොහොර කිලෝ 50 ක මිටියක් රුපියල් 25000 ක් පමණ වේ. මේ නිසා යුරියා පොහොර කිලෝ දෙකක ප්‍රමාණයේ මිටි දැන් වෙළෙද පොලට පැමිණ තිබේ. එහි මිල රුපියල් 2000 කි. කිරි පිටි සේම පොහොර ද දැන් ෂැසේ පැකට ගානට පහත වැටී ඇත.

පොහොර කිලෝ දෙකක මිටියකින් වගා කළ හැකි ප්‍රමාණය ගත් කළ එය ඉතා පහල මට්ටමකි. නමුත් කෘෂිකර්ම ඇමතිවරයා පවසන්නේ රටේ ආහාර හිගයක් ඇතිවන බවට ජනතාව අතරේ වැරදි මත පතුරුවා හැරීමට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් කටයුතු කරන බවයි. ඔවුන් එසේ කීවත් එවන්නක් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි ද ඔහු කියා තිබුනි.

මේ වන විටත් රටේ ජනතාව පරිභෝජනය කරනුයේ ඉකුත් යල කන්නයේ අස්වැන්න බවත් මෙවර මහ කන්නයේ අස්වැන්න ඉදිරියේදී නෙලීමට ඇති බවත් ඔහු කියා සිටියේය. ඔහු යල කන්නයේ අස්වැන්න තවමත් වෙළෙද පොලේ තිබෙන බව කීවත් තොග වෙළෙදුන් ගාව ඇත්තේ මෙරට සහල් නොව ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ආනායනය කළ සහල්ය. මෙරට නඩු, කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 160 ත් 180 ත් අතර මිලකට අලෙවි වද්දී පිටරට සහල් රුපියල් 130 ට අලෙවි වේ.

සම්බා සහ කිරී සම්බා මිල නම් 180 හා 200 ඉක්මවා මිල ඉහළ ගොස් තිබේ. එසේ නම් යළ කන්නයේ වී තොග සහල් කොට පරිභෝජනය කරන්නේ කව්දැයි කෘෂිකර්ම ඇමතිවරයා කිව යුතුය.

ලසන්ත වීරකුලසූරිය

Uncategorized