දින දින මෝදු වන ජනතා පීඩනය ගුවන් කරනම් වලින් මඟ හැරවිය හැකිද?

සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගෙන අදට අවුරුදු 74 ක් ගතවී ඇත.

1948 පෙබරවාරි 04 දා මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ස්වාධීන නිදහස් රාජ්‍යයක් බවට පත් විය.

එදා සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගත්ත ද අද ජනතාව යටත් විජිතයක් ලෙස තවදුරටත් පැවතුණා නම් හොඳ යැයි එළිපිටම කියන පිරිස් දවසින් දවසම වැඩිවන බව නොරහසකි.

මහරැජින අපට නිදහස දුන්නේ අපරාදේ කියන පිරිස නිදහස ලබා නොගත්තා නම් අපට බ්‍රිතාන්‍යයට ගොස් රැකියාවක් ලබා ගැනීමට අද තරම් මහන්සියක් ගත යුතුව නැති බව කියති.

ජනතාවට මෙලෙස සිතෙන්නේ නිදහස් ශ්‍රී ලංකාව තුළ අද වන විට තමන්ගේ ආර්ථික හා සමාජීය නිදහස අහිමිවී ඇති බැවිනි.

මෙරට සිට වගතුවක් නැතැයි සිතමින් අද බොහෝ තරුණයයෝ යුරෝපයට ඇතුළු වීමට විවිධ උපක්‍රම යොදමින් සිිටිති.මේ නිසා විදෙස් ගමන් බලපත් ලබා ගන්නා සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ජනතාවට ජීවත් වීමට නොහැකි තරමට ආහාර ඇතුළු භාණ්ඩ මිල ඉහළ ගොස් තිබුණ ද ආණ්ඩුව මහ ඉහළින් 74 වන නිදහස් දිනය සැමරීමට කටයුතු කර තිබේ.

ඩොලර් හිඟය හමුවේ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ මෙන්ම ඉන්ධන ඇතුළු බොහොමයක් ද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකිව ඇත. මේ නිසා ඖෂධ, කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ.

අමු ද්‍රව්‍ය ආනයනය කිරීමට ඩොලර් නොමැතිකමින් කර්මාන්ත ශාලා රැසක් වැසී ගොසිනි. එහි නවතම ගොදුර බවට පත්වෙමින් සිටින්නේ මුද්‍රණ කර්මාන්තයය.

මුද්‍රණ කර්මාන්තය අවශ්‍ය මුද්‍රණ කඩදාසි, මුද්‍රණ තහඩු හා තීන්ත ආනයනය කිරීමට නොහැකිව ඔවුහු දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.මෙම ජනතා පීඩනය දිනෙන් දින ඉහළ නැංවෙනු මිස අඩුවන පාටක් නැත.

සාමාන්‍ය ජනතාව ඉංගිරිසි බෙහෙත් යනුවෙන් හඳුන්වන බටහිර ඖෂධ අහිමිවී ජිවිත නිදහස නොමැති ජනතාවට ඉංග්‍රිසීන්ගෙන් ලැබුණු නිදහසෙහි අගය කියාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.

ඔවුන් අපට අනියමින් කියනුයේ අපගේ රෝග පීඩාවන්ට ලෝකයේ අන් කිසිදු රටක ජනතාවට හිමි නොවන රාවණා ගේ හෝ කාලි අම්මාගේ බෙහෙත් ද අප සතු බවකි.

මේ අතර බටහිරින් අපට ලැබුණු අධ‍යාපනය ද මෙරට තුළ දී කුරුවල් කර ගැනීම මත දරුවන් උසස් අධ්‍යාපනය සඳහා ලද පසු පිටරටකට තල්ලු කරන්නේ කෙසේදැයි දෙමාපියෝ මාන බලමින් සිටිති. තරුණ තරුණියන් ද උත්සාහ කරන්නේ මෙරටින් පලා යන්න අවශ්‍ය ක්‍රමය සොයා ගැනීමට ය. නිදහස තිබේ නම් ජනතාව රටින් පලා යාමට උත්සාහ කරයිද? යන්න අප මනා සිහි නුවණින් සිතා බැලිය යුතු ය.

විදුලිය නොමැතිව පීඩාවෙන් සිටින ජනතාවකට 74 වන නිදහස ගැන ආණ්ඩුව ජනතාවට කවි රචනා කියා දෙමින් සිටියි. නිදහස් දිනය නිදහස් චත්‍රරශ්‍රයේදී ඉතා අභිමානවත්ව පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ බව ගුවන් හා යුද හමුදා සංදර්ශන දෙස බලන විට මොනවට පැහැදිලිවේ.

ගුවන් හමුදාව සතු සැහැල්ලු ගුවන් යානා, හෙලිකොප්ටර් හා කෆිර් ආදී යුද ගුවන් යානා ද ඇතුළත් ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කොට තිබේ.

ඊට අදාළ පෙර පුහුණුවීම් ද ඉකුත් සතිය පුරා දින 5 ක කාලයක් පැවැත්විණි. මෙම ගුවන් යානයක් ගුවන් පැයක කාලයක් ගත කිරීමට ගුවන් යානා ඉන්ධන ලිටර 300 ක 400 ක ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ. ගුවන් යානා සඳහා භාවිතා කරනුයේ ජෙට් A one. නමැති ඉන්ධන වර්ගයය.එම ඉන්ධන ලීටරයක මිල ඩොලර් 2.02 ක මුදලකි.

ඒ අනුව ගුවන් පැයක් වෙනුවෙන් ඩොලර් 600 ක් 800 ක් අතර මුදලක් වැය වේ. ඒ අනුව දවස් පහක කාලයක් ගුවන් යානා විශාල සංඛ්‍යාවක් ධාවයන කිරීම වෙනුවෙන් වැය කළ මුදල කොපමණ දැයි සිතා ගත හැකිය.ඊට අමතර හමුදාව ඇතුළු ආයතනයන්හි වාහන 200 ට වැඩි සංඛ්‍යාවක් නිදහස් උළෙලේ සංදර්ශන රථ පෙළපාලිය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත ය. එම වාහන අතර යුද ටැංකි ඇතුළු වාහන ද තිබේ.

සාමාන්‍ය යුද ටැංකියක ධාවන දුර ලීටරයට කිලෝමීටර 3 කි. ඒ අනුව විශාල ඉන්ධන ප්‍රමාණයක් ද මේ වෙනුවෙන් වැය කළ යුතුව තිබේ.ඊටත් අමතරව මෙම උත්සව සඳහා වියදම් වන මුදල් සම්භාරය ද සුළුපටු නැත.ඩොලර් අර්බුදය නිසා ඉන්ධන අර්බුදයක් මතුව ඇති මොහොතක මේ වැය කරන්නේ ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් නොවේදැයි අපට පැනයක් මතුවේ.

ඩීසල්, දැවිතෙල් ආදී ඉන්ධන නොමැතිවීමෙන් බලාගාර හතරකට වැඩි සංඛ්‍යාවක් වැසී යද්දී නිදහස් සංදර්ශනයක් වෙනුවෙන් ආණ්ඩුව රටේ ඉතිරිව තිබෙන ඩීසල් පෙට්‍රල් හා ගුවන් යානා ඉන්ධන විනාශ කරමින් සිටියි. නිදහසේ සැබෑ අරුත මෙයදැයි අපට ප්‍රශ්නයක් මතුවේ. නාස්ති කිරීමට තරම් අපට මුදල් තිබේ නම් මෙලෙස සංදර්ශන පැවැත්වූවාට කිසිවෙකුගේ විරෝධයක් මතුවෙතැයි සිතිය නොහැක.

එහෙත්, ඩොලර් නොමැතිකම මුල් කොටගත් ආර්ථික අර්බුදයක රට සිරව සිටින මොහොතක මෙලෙස රටේ මුදල් නාස්ති කිරීමට කටයුතු කිරීමට කිසිවෙකුට අනුමත කළ හැකිද? යන පැනය මතුවේ.

නිදහස් දිනය සැමරිය යුතු නම් චාම් හා උත්කර්ෂවත් අයුරින් පැවැත්වූවාට වරදක් නැත. එහෙත් ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක මෙලෙස කටයුතු කිරීම කාලෝචිත නොවේ යන්න අපගේ අදහස ය.

මෙය ජීවත්වීමට තිබෙන රුපියලත් පුහු ආටෝපයට වැය කර බඩගින්නේ සිටිනවා වැනිය. කන්න අඳින්න නිදහසක් නැති රටක අපි අභිමානවත් නිදහස් සමරන බවට ආණ්ඩුව පුරසාරම් දොඩමින් සිටියි.

තිබෙන සොච්චමත් පුරාජේරුවට වැය කරමින් සිටියි.ඒ අතරේම හෙට දිනයේ තවත් රටකින් ණය ඉල්ලා ජීවත්වීමට සැලසුම් කරමින් සිටියි.

මේ අතරේ ජනතාව දිනෙන් දින පීඩාවට පත් වෙමින් සිටිති. ධාන්‍ය, ධනය, නෙක මල් පළතුරු පිරි ජයභූමිය වික්කා කියා ඉදිරියේදි අපට කියන්නට සිදු වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

ඒ තාක් ජනතාවට තාවකාලික සතුටක් සැනසුමක් ලබා දීමට මෙම ගුවන් කරනම් වලට හැකිවේද? යන්න වෙනම සිතා බැලිය යුතු කරුණකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර