අපි සුද්දන්ගෙන් නිදහස් වුණාද?සුද්දන් අපෙන් නිදහස් වුණාද? සුනිල් හඳුන්නෙත්තිගෙන් පැනයක්

නිදහස හොඳ වචනයක් වුණාට දැන් අපේ රටේ ජනතාවට අපිට අහන්න තියෙන්නේ කාගෙන් කාටද නිදහස තියෙන්නේ කියලයි. කාටද මේ නිදහස දැන් තියෙන්නේ?. මොකද අපේ රටේ ගොවියට නිදහසක් නෑ දැන්. වගාවට පොහොර ටික නෑ.අද ගොවියා නිදහස් නෑ .ව්‍යාපාරිකයො අද ඔලුවෙ ගිනි කබලක් තියාගෙන ඉන්නේ. බැංකු ණය. දැන් අද මම හමුවුණා ලීසිං පහසුකම්වලින් පීඩාවට පත් වෙන අය.

ලීසිං පහසුකම් වලින් අපහසුතාවට පත් වෙන අය. රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉන්න අය. මේ බැංකු වලින් පීඩාවට පත් වෙන අය. අද ඔවුන් විශාල ගිනි කන්දක් උඩ. ඊළඟට ව්‍යාපාරිකයො. ඔවුන්ට අමු ද්‍රව්‍ය නෑ. නිෂ්පාදනය කර ගන්න බෑ. නිෂ්පාදන විකුණ ගන්න බෑ. අපනයන කරුවන් තමන්ගෙ මුදල් තමන්ට ගන්න බෑ, බැංකු වලින්. අපේ රට විශාල ණය උගුලක හිරවෙලා ඉන්නෙ. ඊළඟට දරුවන්ට අධ්‍යාපනය නෑ. අවුරුදු දෙකක් විශ්ව විද්‍යාල නෑ. විශ්ව විද්‍යාල ඔන් ලයින්වලින් යන්නෙ.

විශ්ව විද්‍යාලයකට යන්න බැරි වෙච්ච ළමයි ඉන්නව. ඒ අයට නිදහසක් නෑ. නිදහස් අධ්‍යාපනය කියන කොටස අද වැහිල තියෙන්නෙ. මේ හැම ක්‍ෂේත්‍රයකම දේශපාලනඥයින්ට දේශපාලනය කරන්න නිදහස තියෙන්නෙ ටික දෙනෙකුට විතරයි. අනිත් අයට කුණු බිත්තර හම්බ වෙනවා. නිදහසක් නෑ. එහෙම ගත්තොත් අද නිදහස අයිති වෙලා තියෙන්නෙ සුළු පිරිසකට විතරයි.

ඒකයි මම කාටද නිදහස ලැබිලා තියෙන්නෙ කියල ඇහුවෙ. හොරකම් කරන්න නිදහස තියෙනව. බොරු කියන්න නිදහස තියෙනව. හොරුන්ව එළිදරව් කරපු රංජන් රාමනායකට හිරේ ඉන්න නිදහස තියෙනවා. හොරකම් කරපු මිනිස්සුන්ට පාර්ලිමේන්තුවෙ ඉන්න නිදහස තියෙනවා. එහෙම තමයි නිදහස අර්ථ කථනය වෙලා තියෙන්නේ.

අද රංජන් රාමනායකට නිදහස තියෙන්නෙ හිර ගෙදර ඉන්න,හොරු එළිදරව් කරපු නිසා. හොරුන්ව නිරුවත් කිරීම නිසා. හැබැයි අපි දන්නව මරණ දඬුවම නියම වෙච්ච අය අද පාර්ලිමේන්තුවට ගියා. එහෙම රටක් මේක. නිදහස ඉතාම පටු අර්ථයක් බවට පත් වෙලා තියෙන්නෙ.

විශේෂයෙන්ම අපිට වුවමනා වෙලා තියෙන්නෙ මේ නිදහස පුළුල් විදිහට අර්ථ කථනය කරන්න. ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍යයයි කාගෙන් කාටද? නිදහස තියෙන්නෙ මොකක්ද නිදහසේ ඇත්ත අරුත. අපිට ආර්ථික නිදහස තියෙනවද දේශපාලන නිදහස තියෙනවද? සමාජ නිදහස තියෙනවද?

අවසානයෙ අපි රටක් හැටියට අපි නිදහස ලබල තියෙනවද ඇත්තටම අපි නිදහස් වුණාද?නැත්තම් සුද්දො අපෙන් නිදහස් වුණාද? බ්‍රිතාන්‍ය යටත් විජිත අධිරාජ්‍ය වාදීන් අපෙන් නිදහස් වෙලා ගියා ද ? අපි ඔවුන්ගෙ විලංගු බවට පත් වුණාද ? නව යටත් විජිත වාදය යටතේ තියන කාරණාව තමයි පැහැදිලි කර ගන්න ඕන. මට නම් හිතෙන්නෙ ඇත්තටම අපි ආකල්ප අතිනුත් නිදහස් නෑ.

ආර්ථික අතිනුත් නිදහස් නෑ. ඒක නිසා විශේෂයෙන්ම අපි නිදහස් කියල අපි අපිම විසින් දෑතට විලංගු දාගෙන තියෙන්නෙ. විශේෂයෙන්ම කළු සුද්දන් විසින් සුද්දන්ටත් වඩා හොඳින් අපේ රටේ ජනතාව පාලනය කරගෙන ඉන්නෙ.ඒක තමා ඇත්ත.

මම එක දෙයක් විතරක් කියන්නම් ආර්ථික වශයෙන් ඔවුන්ට පුළුවන් වුණා; අපි එක ජාතික රාජ්‍යයක් බවට පත් කරන්න. හැබැයි දේශපාලන වශයෙන් ඔවුන්ගේ භාෂාවන් බෙදා වෙන් කෙරුව. කතා කරන භාෂාව අනුව අදහසන ආගම අනුව සංස්කෘතීන් අනුව ඒක නිසා අපිට තිස් අවුරුද්දක මරාගෙන මැරෙන යුද්දයක් පූජා කරල ගියා.

ඒක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්. ඒකෙ ප්‍රකෘති ප්‍රතිඵල කොච්චර ද කිව්වොත් අද කළු සුද්දො හැටියට අපේ රටේ ඉන්න පාලකයොත් ඡන්දෙ දිනන්නෙත් ඒකෙන්මයි. ඒකම පාවිච්චි කරනව. නැවත නැවතත් පාවිච්චි කරනව. ඒක හින්ද අපි නිදහස අර්ථ කථනය කරගත යුතුයි. ඒ වගේම නිදහස භුක්ති විඳිය යුතුයි.

අපි කොහොමද ඒ නිදහස හරියට පැහැදිලි කරගන්නෙ කියන එක තේරුම් ගතයුතුයි. අද මම දකින විදිහට ලංකාවෙ ගෙවල් කීයක ජාතික කොඩිය හැඟීමෙන් ඔසවල තියෙනවද? නෑ. කාදිනල් තුමා නිදහස් දිනයට යන්නෙ නෑ . මං කියන්නෙ ඒක ආණ්ඩුවෙ නිදහස් දිනයක් තමයි.

නමුත් අපි රටක් හැටියට ඒකෙදි තියෙන පණිවිඩය?; ඒකෙදි ඇතිවන තත්වය ලෝකය අපිව දකින විදිහ?.එතුමා වුණත් ඒක අසාධාරණ නෑ. එතුමාල මහ දැවැන්ත මතවාදයක් අරගලයක් කරල මේ සිද්ධ වෙච්ච දෙයක් සම්බන්ධයෙන් ඒ සිද්ධ වෙච්ච විනාශය යථා තත්වය රටට හෙළි දරව් කරන්න කියල. ඒ වගකීම ආණ්ඩුව බාර ගෙන තමයි බලය බාර ගෙන තියෙන්නෙ.

මහ බැංකුවෙ හොරුන්ට දඬුවම් දෙනව වගේම පාස්කු ප්‍රහාරයෙ වැරදිකරුවන් රට හමුවෙ හෙළි දරව් කරනව කියන පොරොන්දුව ජනවරමෙ ප්‍රබලම සාක්ෂිය.

ඉතින් එතකොට එක පැත්තකින් ආර්ථික ප්‍රශ්න අනිත් පැත්තෙන් දේශපාලන ප්‍රශ්න. අර ගිනි අතු දෙකක් දෙපැත්තක පත්තු වෙනව වගේ වැඩක් තියෙන්නෙ.

සුනිල් හඳුන්නෙත්ති

එතෙර - මෙතෙර