අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීමත් එක්කම අපේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙතට යොමු වෙලා තියනවා.නමුත්,මේ අධ්‍යාපන ක්‍රමයෙන් යමකුගේ ජීවිතයේ සාර්ථකත්වයට මොන තරම් පිටිවහලක් ලැබෙනවද?
අධ්‍යාපනයකින් ලැබිය යුතු ප්‍රතිඵල මේ අධ්‍යාපන ක්‍රමයෙන් කොයි තරම් දුරට ලැබෙනවද?කියන එක ගැන තවමත් විධිමත් අවධානයක් යොමු වුණු බවක් පෙනෙන්නේ නැහැ.
අධ්‍යාපනය කිව්වම අපි කාටත් මතක් වෙන්නේ පොත්පත්, පෑන්, පැන්සල්, පෙළ පොත්, ඩෙක්ස්, පුටු, කළුලෑලි, පන්තිකාමර වගේ අජීවී වස්තු. ඒ එක්කම ශිෂ්‍යයෝ සහ ගුරුවරු ජීවී සම්පත්. පොදුවේ මුළු ලෝකයේම අධ්‍යාපනයේ බාහිර හැඩතලය මේකයි.
නමුත් අද ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමවල අභ්‍යන්තරය විමසලා බැලුවොත් ඒවා අපේ රටේ ක්‍රමවලට වඩා එක් එක් ප්‍රමාණයන්ගෙන් සංවර්ධනය වුණු බවක් තමයි පේන්න තියෙන්නේ.
මුලදී පොදුවේ මුලු ලෝකයේම පැවැතුණු ක්‍රමය ටිකෙන් ටික සංවර්ධනය වුණා. නමුත් අපේ රටේ පැරණි අධ්‍යාපන ක්‍රමය ඒ ආකාරයටම පවතිද්දී තියුණු වුණා, මුවහත් වුණා මිසක් සංවර්ධනය වුණේ නැහැ.
ඒ මුවහත් බවේ එක ප්‍රතිඵලයක් තමයි අද පවතින අධ්‍යාපන තරඟය. පැරණි අධ්‍යාපනය බොහෝ දුරට පිහිටා තිබුණේ කරුණු තුනක් මත. ඒ පාඩම් කිරීම.
මතක තබා ගැනීම සහ පුනරාවර්ජනය.මේ විදිහේ පැරණි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රම හඳුන්වන්නේ කම්හල් මාදිලියේ (Conventional Teaching Methods) අධ්‍යාපනය කියලා. ඒ කියන්නේ Factory Modal Education. මෙතනදී ගුරුවරයා තමයි දැනුම් ගබඩාව, තමන් ලබාගත් ඒ දැනුම ගුරුවරයා තමන්ගේ ගෝලයන්ට බෙදලා දෙනවා.
ඒ කියන්නේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය යටතේ ගුරුවරයා Knowledge Dispenser කෙනෙක්. නවීන සමාජ විද්‍යාවේ, අධ්‍යාපන විද්‍යාවේ මේක හැඳින්වෙන්නෙත් ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය (Teacher Centered Education) කියලා. නමුත් මම කලින් කිව්වා වගේ මේ පැරණි අධ්‍යාපන ක්‍රමය අද සමස්ත ලෝකයෙන්ම සීඝ්‍රයෙන් ඉවත් වෙමින් යනවා.
එතකොට ඔබ කියාවි මොන පිස්සුද? ඇමරිකාවේ, එංගලන්තයේ වගේ රටවලත් අපේ රටේ වගේ තවම පෙළ පොත් තියනවා. කළු ලෑලි තියනවා. අපේ ළමයි වගේම ඒ රටවල ළමයිත් උදේට යුනිෆෝම් ඇඳගෙන ඉස්කෝලේ යනවා. ගිහින් පොත් කියවනවා. සටහන් ලියනවා. ගෙදර ඇවිත් හෝම් වර්ක් එහෙමත් කරනවා. ඇත්ත, ඒ රටවලත් තවමත් ඒ ඔක්කොම තියනවා තමයි.
ඒත් බෝතලේ මතු පිටින් එක වගේ පෙනුණට ඒ බෝතලේ ඇතුළේ පුරවලා තියන ද්‍රාවනය නම් අපේ රටට වඩා රසයෙන්, ගුණයෙන් හුඟාක්ම වෙනස්. නමුත් ඒක ඒ බෝතලය දිහා පිට ඉඳන් බලන කෙනෙකුට පේන්නෙ නැහැ. දැන් අපි බලමු.
මොකක්ද අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙයි, ලෝකයේ නවීන අධ්‍යාපන ක්‍රමවලයි පවතින ප්‍රධාන වෙනස්කම් කියලා.අධ්‍යාපනය මගින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි කියමු; යම් යම් විෂය කේෂ්ත්‍රයන් ගැන පරතෙරට ගිය දැනුම් අවබෝධයක් ලබාගන්න කියලා. ඒත්, අපි ඒ විදිහට ලබා ගන්න විෂය කරුණු අපේ මොළයේ ගබඩා කරගෙන විතරක් මදි. ඒවා ප්‍රායෝගික තලයට ගලපා ගන්නත් ඕනනේ.
එහෙම ගලපන්න දන්නේ නැති අයව සමාජයේ හැඳින්වෙන විශේෂ නමක් තියෙනවා. ඒ තමයි “උගත් මෝඩයා” කියන එක. ඒ නිසා තමයි ලෝකයේ නවීන අධ්‍යාපනඥයන් උගත් කමත් එක්කම ජීවිතාබෝධයත් ලැබෙන විදිහට නවීන අධ්‍යාපන ක්‍රමය සකස් කරලා තියෙන්නේ. මෙනදී මම ජීවිතාවබෝධය කියල සාමාන්‍යයෙන් හැඳින්වූයේ Survival Skills කියන එක. ඒ කියන්නේ ජීවිතයේ යහපැවැත්ම සඳහා පුබුදු කරගත යුතු කුසලතා.
ලෝකයේ පැරණි අධ්‍යාපන ක්‍රම කළ ගුරුවරුන් කළේ මේ දැනුම්, ජීවන කුසලතා පිළිබඳව තමන්ගේ ශිෂ්‍යයන්ට කරුණු ඉදිරිපත් කරන එක. ඒකත් යම් තරමකට හොඳ ක්‍රමයක්. අපේ පන්සිය පනස් ජාතක පොත,පංච තන්ත්‍රය,හිතෝපදේශය වගේ උපදේශ සාහිත්‍ය කෘති ගනිමු.
ඒවා හරියට කියවලා ඒකේ තියෙන කරුණු නිසි විදිහට අවබෝධ කර ගත්තොත් ඔය කියන ජීවන කුසලතා සේරම අපි තුළ ගොඩනගා ගන්න පුළුවන්. නමුත් අද සමාජ, ආර්ථික, සංස්කෘතික රටාවට අනුව අපේ අනාගත පරපුර ජීවිතයට හුරු කරවන්න ඊට වඩා වෙනස් උපාය මාර්ග හඳුනාගෙන තියෙනවා. ඒවා කලානුරූපව සකස් වුණු ඒවා.
ඒ අනුව ඉස්සරට වඩා අද ගුරුවරයාගේ භූමිකාව පවා වෙනස් වෙලා තියෙනවා. ඉස්සර ගුරුවරයා කළේ තමන් සතු දැනුම දරුවන්ට ලබා දීම. නමුත් අද ගුරුවරයා කළ යුත්තේ දැනුම ලබා ගැනීම සඳහා දරුවන් හැසිරවීම. ඔන්න ඕක තමයි එදයි අදයි අධ්‍යාපන ක්‍රමවල පවතින ප්‍රධානතම වෙනස. මේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ ගුරුවරයා හඳුන්වන්නේ ඉගෙනීම හසුරවන්නා (Orchestrator of Learning) කියලා.
දැන් අපි බලමු නවීන අධ්‍යාපනය මගින් දරුවන්ට ලබා දිය යුතු ජීවන කුසලතා මොනවද කියලා.
ඒ කුසලතා වලින් මුල්ම එක තමයි නිර්මාණාත්මක චින්තනය සහ ගැටලු නිරාකරණ හැකියාව (Creative Thinking and Problem Solving) මේ නිර්මාණාත්මක චින්තනය සහ ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව දරුවකු වයසින් වැඩෙන අතරේ ටිකෙන් ටික වර්ධනය කළ යුතු හැකියාවක්.
ඒ හැකියාව උද්දීපනය කළ යුතු විවිධ ක්‍රමෝපායයන් ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රම මගින් ප්‍රායෝගිකව යොදා සාර්ථක ප්‍රතිඵල අරගෙන තිබෙනවා. නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස අපේ රටේ මේ වගේ හැකියාවන් පුබුදු වන ප්‍රායෝගික අභ්‍යාසත් පෙළ පොත්වල පාඩම් විදිහටම ඇතුල් කරලා තිබෙනවා. ඒත් හරියට අපි දරුවකුගේ ඇඟේ ගාන්න දෙන බෙහෙතක් දරුවට පොවනවා වගේ වැඩක්.
නූතන අධ්‍යාපන ක්‍රමවලින් පුබුදු කෙරෙන ඊළඟ ජීවන කුසලතාවය තමයි සහයෝගීතාවය ඔස්සේ ක්‍රියා ජාලවලට පිවිසීමේ හැකියාව. ( Collaboration Cross Network) අධ්‍යාපනයේ දී මොන විෂයක් ගැන විශාරද ඥානයක් තිබුණත් යමකු තුළ මේ කුසලතාවය නැත්නම් ඒ තැනැත්තාගේ දැනුමින් කිසිම වැඩක් නැහැ. අපි කියන්නේ රාක්‍ෂයෙක් අධිගෘහිත පොකුණක් වගේ කියලා. ඒ පොකුණේ ජලයෙන් කිසි කෙනෙකුට වැඩක් නැහැ. අන්න ඒ වගේ.
ඒ වගේම යම් කාර්යයකදී දක්වන ක්‍රියාශීලී බවත්, යම් තත්ත්වයකට අනුවර්තනය වීමේ හැකියාවන් දරුවකු තුළ ගොඩනැංවීමටත් නවීන අධ්‍යාපන ක්‍රම සමත් වෙලා තිබෙනවා. ඒකට කියනවා Agility and Adapability කියලා. වර්තමාන සමාජයට මේකත් අතිශය වැදගත් අංගයක්. අධ්‍යාපනය තුළින් මේ නිපුණතාවය ඇති කර ගන්නා පුද්ගලයා කිසිම විටක හුදකලා වෙන්නේ නැහැ.
ඒ වගේම යම් කාරියකට මුලපුරලා ව්‍යවසායකත්වයක් හිමිකර ගැනීමේ හැකියාව දරුවා තුළ ප්‍රවර්ධනය කිරීමත් නවීන අධ්‍යාපනයේ වැදගත්ම අංගයක් බවට පත්වෙලා තිබෙනවා. නවීන සමාජයට නව ව්‍යවසායකත්වයන් බිහි වන්නේ මේ හැකියාවන් පුබුදු කිරීම තුළින්. ඒකට කියන්නේ Initiating and Entrepreneurialism කියලා. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළිනුත් අහඹු ලෙසින් ව්‍යවසායකයන් බිහිවෙන්න පුළුවන්.
නමුත් ව්‍යවසායකයන් බිහිකිරීම ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රමවල ප්‍රධාන අරමුණක්. ඉලක්කයක්.
නවීන අධ්‍යාපන ක්‍රම වලින් දරුවකු තුළ පුබුදු කෙරෙන තවත් විශේෂ කුසලතාවයක් තමයි ප්‍රමාණකරණ සහ විශ්ලේෂණාත්මක හැකියාව. අපි අසන දකින ඕනෑම දෙයක මතුපිට අරුතට අමතර තවත් යටි පෙළ අරුතකුත් තිබෙනවා. සමහර විට යටි පෙළ අරුත් කිහිපයක් තියෙන්නත් පුළුවන්.
අන්න ඒ යටි පෙළ අරුත් තේරුම් ගැනීමේ හැකියාව තමයි Accessing Analyzing Information කියන අංගයෙන් පුබුදු කෙරෙන්නේ. එහෙම හැකියාවක් නැති අය තමයි අපි කවුරුත් කියන විදිහට පහසුවෙන් ගොනාට අන්දවන්න පුළුවන්. ඒ අනුව කෙනෙකුට කියන්න පුළුවන් එහෙම නම් අපේ අධ්‍යාපනයෙන් බිහිවෙන්නේ පහසුවෙන් ගොනාට අන්දවන්න මෝඩයන් කියලා.නමුත් මේ ක්‍රමය තුළින් එහෙම අයත් බිහි වෙන්න පුළුවන්.
මොකද “උගත් මෝඩයා” කියන ව්‍යවහාරය අදත් හැම ක්ෂේත්‍රයක් තුළම නිරුපද්‍රිතව පවතිනවනේ.
අපේ උගතුන් අතරෙත් සමහරුන් ඉන්නවා තමන් අහන්න, දකින්න ලැබෙන දේවල් ඒ විදිහටම භාර ගන්නවා මිසක් ඒ තොරතුරු පසුපස ලුහුබැඳීමක් කරන්නේ නැහැ. ඒ වගේම ඒ ඔස්සේ තමන්ගේ පරිකල්පන ගොඩනගන්නෙත් නැහැ.ඒකට හේතුව විෂයානුබද්ධ දැනීමෙන් කොච්චර ඉහළට යමක් සම්බන්ධ කුතුහලය සහ පරිකල්පනය (Curiosity and Imagination ) කියන මේ හැකියාව නැති කම.නමුත් මේ හැකියාවත් කෙනෙකුගේ ජීවිතයට වගේම සමාජීය යහපැවැත්මටත් අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා.
නමුත් අප රටේ පවතින දරුවන් පෙළ පොත් අතරේ සිරගත කරපු මේ අධ්‍යාපන රටාවෙන් මේ කිසිම අංගයක් නිසි අගැයුමකට හෝ ප්‍රවර්ධනයකට ලක් නොවෙන බව ඔබ කාටත් වැටහෙනවා ඇති.
ඒ වගේම කිසියම් රටක සැබෑ සංවර්ධනයට මූලික අඩිතාලම ඒ රටේ අධ්‍යාපනය මත රඳා පවතින බව මේ විට මුළු ලෝකයම පිළි අරගෙන තියෙනවා.
ඒ නිසා අපේ රටේත් තිරසාර කාලීන සංවර්ධනයක් අපේක්‍ෂා කරනවා නම් එහි මූලික පියවර විය යුත්තේ මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් කිරීමය කියන අදහස ඔබ හමුවේ මා දැඩිව අවධාරණය කරනවා.
හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ