එන්නත් සම්පූර්ණ නොකළ අයට පොදු ස්ථාන තහනම් ගැසට්ටුව රිවස් කරන්න බලාගෙනම ගහපු එකක්ද?

කොරෝනා බූස්ටර් එන්නත් තුනම සම්පූර්ණ නොකළ පුද්ගලයන්ට අප්‍රේල් 30 දා සිට පොදු ප්‍රවාහන සේවාවල ගමනාගමනය සහ පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කිරීමේ ගැසට් පත්‍රයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුව ජනවාරි 25 වෙනිදා නිකුත් කෙරිණි.

222 වැනි අධිකාරය වන 1897 අංක 3 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කර තිබෙන මෙම ගැසට් නිවේදනය කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය නීති වලට අදාළව නිකුත් කළ දෙවැනි ගැසට්ටුව ය. කොවිඩ් වැළැක්වීමේ මුල් ගැසට් නිවේදනය ලෙස නිකුත් වූ 2020 ඔක්තෝබර් 15 දින 2197/25 අංක දරන අති විශේෂ ගැසට්ටුව මගින් සෞඛ්‍ය රෙගුලාසි පනවනු ලැබිණ.

එහෙත්,මෙම ගැසට් නිවේදන දෙකෙහිම හුවා දැක්වෙන පොදු ස්ථානය (Public place )යන්න  පිළිබඳව සළකා බැලීම වැදගත් ය.මක් නිසාද යත් මෙම එන්නත් සම්පූර්ණ නොකළ අයකුට ඉන් පසුව තම සංචරණ සීමා අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි බැවිනි.

ඒ සම්බන්ධ පොදු ස්ථානය යන්න අර්ථ නිරූපණය කිරීම පිණිස 1925 අගෝස්තු මස 28 වැනි දින අංක 7481 දරන ඇන්කිලෝස්ටොමියෑසිස් (Ancylostomiasis) සම්බන්ධයෙන් වන රෙගුලාසි වල 3 වැනි වගන්තියේ සඳහන් පොදු ස්ථානය යන්න යම් යම් සංශෝධන සහිතව යොදා ගෙන ඇති බව ද පෙනෙයි.

ඇන්කිලෝස්ටොමියාසිස් යනු කොකු පණු රෝගයට යෙදෙන වෛද්‍ය පාරිභාෂික වචනයයි.ඒ අනුව අප මෙම ගැසට්ටුව ප්‍රකාරව පොදු ස්ථාන හඳුනා ගත යුත්තේ කොකු පනු රෝග පූර්වාදර්ශයක් අනුව ය.

ඊට අමතරව මේ ගැසට්ටුවේ අන්තර්ගතය සමාජයට විවිධාකාරයෙන් දැනෙනු ඇත. විශේෂයෙන් අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් හි යෙදෙනවුන් පසෙකට කළ ද රෝහල් කාර්ය මණ්ඩල පවා සියයට සියයක්ම මේ වන විට එන්නත් තුනම සම්පූර්ණ කර තිබෙන්නේ ද යන්න පිළිබඳව ගැටලුව මතු වේ.

එවන් තත්ත්වයක් තුළ මෙම ගැසට්ටුව මඟින් එන්නත් තුනම සම්පූර්ණ නොකළ රෝහල් කාර්ය මණ්ඩලවල සේවය කරන්නන් හට ද රෝහල් තුළට පැමිණීම තහනම් වෙයි.

රෝහල්වල කාර්ය මණ්ඩලය අවම තත්ත්වයක පවතින විට එය සෘජුවම අහිතකර ලෙස බලපාන්නේ අසරණ රෝගීන්ට ය. හැරත් මේ කොවිඩ් යළිත් වේගවත් ව පැතිර යන කාලයක? මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීමේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලක කාර්ය මණ්ඩලය කෝවිඩ් එන්නත ලබාගෙන ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් පසුගියදා සොයා ගත හැකි විය.

2022.01.28 නිකුත් කොට තිබූ එහි සඳහන් අන්දමට එම රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 95.04% ක් කෝවිඩ් පළමු එන්නත ලබාගෙන තිබුණි. නමුත් දෙවන එන්නත් මාත්‍රාව ලබා ගෙන තිබුණේ 85.51% ක ප්‍රතිශතයක් වේ. මේ අතරිනුත් 53.11% ක් පමණක් බූස්ටර් තෙවන එන්නත ලබාගෙන ඇත.ඒ අනුව සමස්ත රෝහල් කාර්ය මණඩලයෙන් 46.89% ක්ම මෙම එන්නත් සම්පූර්ණ කොට නැත.

ඉහත සඳහන් කළේ එක් රෝහලක දත්තයන් පමණි. අනෙකුත් රෝහල්වල තත්ත්වයන් ද මීට අඩු වැඩි වශයෙන් වෙනස් විය හැකි අතර රෝහල් කාර්ය මණ්ඩලය 100%ක් ප්‍රතිශක්තිකරණ එන්නත සම්පූර්ණ කර නැති බව පමණක් සැකයකින් තොරව පැවසිය හැකි ය.

එකී ගැසට් නිවේදනයට අනුව එන්නත් තුනම සම්පූර්ණ නොකළ අයට ප්‍රසිද්ධ ස්ථාන ස්ථාන වලට පැමිණීම සහ පොදු ප්‍රවාහන සේවාවන් වෙතින් ගමන් බිමන් පහසුව සලසා ගැනීම තහනම් වන්නේ නම් එන්නත් තුනම නිසි ලෙස ලබා නොගත් පුහුණු නුපුහුණු දෙටු,කනිටු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට පවා තම සුපුරුදු සේවා කටයුතු සඳහා රෝහල්වලට ඇතුළු වීම ද තහනම් වනු ඇත.

ඒ අනුව බැලූ බැල්මට වුව මේ ගැසට් නිවේදනයේ ප්‍රායෝගික නොවන බවක් හා නීති විරෝධී බවක් තිබේ. මෙම ගැසට්ටුව මඟින් එන්නත්කරණය විවේචනය කරන, ඒ සම්බන්ධයෙන් විකල්ප මත පළ කරන පිරිස් බලහත්කාරී ලෙස මර්දනය කිරීමට ද නීතිය “නවා” ඇති බවක් පෙනෙයි දැනට අප රටට ගෙන්වා ඇති කොවිඩ් මාත්‍රා අති විශාල ප්‍රමාණයක් හොඳින් හෝ නරකින් කාගෙ කාගේ හෝ සිරුරු තුළට රිංගවා ගන්නට ආණ්ඩුවට ඇති වුවමනාව ද මෙයින් පැහැදිලි වෙයි.

සමාජයේ ආරක්ෂාව උදෙසා මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය කිරීමට රජයකට පුළුවන.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවේ සහ 13 ව්‍යවස්ථාවේ 1 සහ 2 අනු ව්‍යවස්ථා අනුව ද 14 වන ව්‍යවස්ථාව අනුව ද ඊට බලය ලැබී තිබේ. නමුත්, එන්නතක් ගැනීම අනිවාර්ය කළ හැකි නොවේ.ඒ සම්බන්ධ අධිකරණමය පූර්වාදර්ශයක් ද තිබේ.

එබැවින්, මෙවන් අයුතු බලපෑම් සහිත ගැසට් එකට අනුව රට ඉදිරියට ගෙන යාමට අදහස් කරන්නේ නම් එය අසාර්ථක පියවරක් වනු ඇත. එන්නත ලබා ගැනීම හෝ නොගැනීම පුද්ගල කැමැත්ත අනුව කළ යුතු දෙයකි.එමෙන්ම ආරක්ෂිත මුව වැසුම් හා සෙසු සඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම තුළින් කොවිඩ් පැතිරීම පාලනය වන්නේ නම් එන්නත සම්පූර්ණ කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වන්නේ කෙසේ ද?

එන්නත් ක්‍රියාවලිය සම්පූර්ණ නොකළවුන්ට මහ මඟට බැසීමට නොහැකි අයුරින් ගැසට් නිකුත් කිරීමට ජනතාවට සංචරණය කිරීමේ නිදහස උදුරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හට බලයක් ලබා දුන්නේ කවුද? යන්න විමසිය යුතුය.ඒ අනුව මෙම ගැසට්ටුව නීති විරෝධී බව පවසමින් හෙට අනිද්දාම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු වනු ඇත.

මේ රජය තරම් ගැසට් නිවේදන නිකුත් කළ සහ අවලංගු කළ වෙනත් රජයක් මෑත ඉතිහාසයේ තබා ඈත ඉතිහාසයේවත් පැවතියේ යැයි නොසිතමු. එය කොතරම් ද යත් අපේ රටේ කුඩා දරුවන් පවා දැන් මේ ගැසට් රිවස් කිරීම් ගැන දන්නවාට සැක නැත.

එනිසා රජය මේ මොහොතේ උත්සාහ දරන්නේ මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කොට ජනතාව එන්නත්කරණයෙහි ලා උනන්දු කරවීම විය හැකිය.

ඉන් පසුව අධිකරණ නියෝගයක් ඇතිව හෝ නොමැතිව අප්‍රේල් 30 වන විට එම ගැසට් පත්‍රය ද සුපුරුදු ලෙස රිවස් කර ගන්නට රජයට පහසුවෙන් කළ හැකි වේ.

නමුදු මෙහි ඇති අයහපත්ම තත්වය එය නොවේ මෙම ගැසට්ටුව හමුවේ ජතතා විරෝධයක් පළ නොවීම මත “:ලබ්බට තැබූ අත පුහුලටත් තැබීමට”රජයට පහසු ඉඩක් සැළසීම ය.

ඒ අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ගැසට් පවා නිකුත් වීමේ දැඩි අවදානමක් තිබේ.අප කවුරුත් ඒ ස්ම්බන්ධයෙන් ද බොහෝ දුර සිතිය යුතුය.

ඉන්දු පෙරේරා

 

 

 

 

 

 

එතෙර - මෙතෙර