සතර පොහොයට ගමේ විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පින් පෙත් දී දම් දෙසුමකට ද සවන් දී යළි නිවෙස් වෙත පැමිණීමේ චාරිත්‍රයක් අතීත ගැමි සමාජයේ තිබිණ. ලෞකිකත්වය හා නිතර ඇතිවන ඇලීම් ගැටීම් වලින් විඩාබර වන මනැස් වලට ආධ්‍යාත්මික අංශයෙන් සුපහන් බවක් ලබා ගැනීම එම ගමනේ අරමුණ විය.
එමෙන්ම සතර පොහොයට කෙසේ වෙතත් පුර පොහොය දිනකට වත් පන්සලකට පය නොතබන තැනැත්තන් එවක ගැමියන් ගේ විශේෂ අවධානයට යොමු විය.ඒ ඔවුන් බොහෝ විට බුදු දහමේ පන්සිල්, දස අකුසල් නමින් හැඳින්වෙන වැරදි දිවි පැවතුම් ඇත්තවුන් බැවිනි. “පසලොස්වක පෝයකට වත් පන්සලකට අඩිය නොතියන මිනිහා” එවැනි පුද්ගලයන් සෙසු ගැමියන් ගේ හැඳින්වුමට ලක් වූයේ එලෙසිනි.
එහෙත්, අතීත සරල කෘෂිකාර්මික සමාජය බිඳ වැටී වැටුප් මත පදනම් වන රැකියා අවස්ථා සුලබ වීම මත ජනතාවට සතර පොහොයට පන්සල් යනු තබා සතර පොහොය කුමක්ද? වත් හරි හැටි වටහා ගත නොහැකි මට්ටමකට ජනතාව පැමිණ තිබේ.ඒ අනුව වර්තමාන ජන සමාජයේ බොහෝ දෙනකුගේ ආගමික කටයුතු පසලොස්වක පොහෝ දිනයට පමණක් සීමා වීමේ නැඹුරුවක් පළ වී ඇත.
එහෙත්, ඒ සම්බන්ධනේ යම් විමසුමක් කරන විට ඉතා පැහැදිලිව පෙනී යන එක් කරුණක් තිබේ.
එනම් අතීත ගැමියන් ගේ පෝය දිනයට පන්සල් යාමත් වත්මන් නාගරික මැද පන්තියේ ජනතාවගේ පන්සල් අරමුණු අතින් එකි’නෙකට ඉඳුරාම පටහැනි බවය.
අප බෞද්ධ ජන සමාජයේ ප්‍රකටව පවතින අන්දමට බෞද්ධ විහාරයක පූජනීය ස්ථාන තුනක් ඇත. එනම් ශාරීරික, පාරිභෝගික, උද්දේසික යනුවෙනි. මූලික බුදු සමයේ කිසිම තැනක් සඳහන් ව නොමැති මෙම පුජනීය ස්ථාන දේශීය බෞද්ධ සංස්කෘතික ප්‍රභවයක් මත සකස් වූවකි.
මින් ශාරීරික වශයෙන් බුදුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ නිදන් කොට ඇති බව සංකේතනය කෙරෙන දාගැබ හෙවත් ස්ථූපය සැලකිය හැක. පාරිභෝගික යනුවෙන් අදහස් වනුයේ උන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උපකාර වූ බව පැවසෙන බෝධි වෘක්ෂය සංකේතනය කෙරෙන බෝධියයි. උද්දේසික යනු බුදුන් වහන්සේ සංකේතනය කෙරෙන බුද්ධ ප්‍රතිමා වලින් යුතු විහාර ගෙයයි.
නමුත් නූතන මධ්‍යම පාන්තික සමාජයේ ජනකාන්ත වන්දනා මාන වත් පිළිවෙත් අනුව මෙම පූජනීය ස්ථාන තුනෙන් බෝධිය විශේෂත්වයට පත්ව ඇති බව ප්‍රසිද්ධ කරුණකි. ‘බෝධි’ යනුවෙන් බුද්ධත්වය නම් කෙරුණ ද වර්තමාන බෞද්ධ වෙහෙර විහාර වල පවත්නා බෝධි පූජා නම් ජනකාන්ත අංගය තුළින් එලෙස වන්දනා මාන වලට බුහුමනට ලක් වනුයේ බෝධි හෙවත් බුදුන් ගේ සර්වඥතා ඥානය නොවේ. එනමින් යුතු වෘක්ෂයයි.
බෝ ගස් නමැදීම හින්දු ආගමේ ද ප්‍රකට අභිචාර විධියකි. ගෘහ ජීවිතය සම්බන්ධ ලෞකික සමෘද්ධිය ශාක්ෂාත් කර ගැනීම පිණිස ඉන්දීය කාන්තාවෝ සෙනසුරාදා දිනයන් හි පිප්පලා,පීපල් ආදී නම් වලින් හැඳින්වෙන බෝධි වෘක්ෂ විෂයෙහි අනේක විධ පුද පූජා පවත්වති. එමගින් තමන් වෙත එළැඹ ඇති ග්‍රහ දොස් ද වැනසී යන බව හින්දු ආගමික විශ්වාසයකි. ඒ අනුව අපට ඉතා පහසුවෙන් වටහා ගත හැක්කේ වත්මන් බෞද්ධ ජන සමාජයේ ජනකාන්ත බෝධි පූජා හින්දු පූජා චාරිත්‍ර පිළිවෙතක අන්ධානුකරණයක් බව ය.
බුදු දහමින් පැවසෙන ආර්ය මාර්ගය හා කුසල සම්පත්තිය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. දහමෙහි දැක්වෙන අන්දමට ලෝභ, දෝෂ, මෝහ යන අකුසල මූලයන් දුරින් දුරින් කොට අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල මූලයන් පුබුදුවා ගැනීම බෞද්ධයන් විසින් ඒකාන්තයෙන් ම කළ යුතු ය. එහෙත්, වර්තමානයේ පුර පසලොස්වක දිනවල පන්සල් යන බෞද්ධයන් ගෙන් බහුතරය මුල්කොට ගත් අනේක විධ ලෞකික ප්‍රාර්ථනා ඇති බව රහසක් නොවේ.
රෝග පීඩා, දුක් කරදර වලින් අත්මිදීමේ සිට විභාග,නඩු හබ ආදියෙන් ජය සේම ගේ දොර ඉඩ කඩම් යාන වාහන මැණික් ආදී මෙකී නොකී ලෞකික සම්පත් සේම ආයුෂ, වර්ණය, සැපය, බලය යන චතුර්විධ ලෞකික අරමුණු ඉටු කර ගැනීම පිණිස ගුප්ත පිහිටක් පිළිසරණක් පතා වෙහෙර විහාර වෙත ඇදී එන පිරිස් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.
ඒ සඳහා වත්මන් තෘෂ්ණභරිත සමාජ ආර්ථිකය ද සෘජු ලෙස හේතු භූත වී ඇති බව නොරහසකි. නමුදු යමකු ගේ ලෞකික සම්පත් වර්ධනය කරගැනීමේ සිට ඒවා අරපිරිමැසුම් සහගත ලෙස වියපැහැදම් කර ගෙන චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර මාර්ගයක් ඔස්සේ ඒවායේ උපරිම ප්‍රතිඵල භුක්ති විඳින අන්දම සූත්‍ර ගණනාවකින්ම පෙන්වා දෙන බුදු දහමේ ප්‍රාර්ථනාමය පූජා චාරිත්‍ර වත්පිළිවෙත් ආදිය මගින් යමකුගේ ලෞකික ප්‍රාර්ථනා ඉටු කර ගත නොහැකි බව පැහැදිලිව සඳහන් කොට තිබේ.
බුදුන් වහන්සේ අනේ පිඬු සිටු තුමන් අරහයා දේශනා කොට වදාළ පංච ඉට්ඨධම්ම සූත්‍රය එම මාහැඟි ධර්ම කරුණු මැනැවින් ඉදිරිපත් කරන බුද්ධ දේශනාවකි.
“ආගමික විශ්වාස සාමූහික හෙවත් සංස්ථාමය පදනමින් ගොඩ නැඟෙන විට පළමුව ගනු දෙනු ද දෙවනුව ව්‍යාපාර ද තෙවනුව ජාවාරම් ද බිහි වීම වැළැක්විය නොහැකිය” යනුවෙන් විසි වන සියවසේ භාරතයේ විසූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයකු වන ජිඩ්ඩු ක්‍රිෂ්ණමූර්ති තුමන් පවසා තිබේ.
වර්තමානයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා විසින් සංවිධානය කරන විවිධ දාගැබ් විෂයෙහි වස්ත්‍ර පැළඳ වීම්, විවිධ ද්‍රව්‍යයන් ලක්ෂ ගණන් පූජා කිරීම්, අධිෂ්ඨාන පූජා,ආශිර්වාද පූජා ආදී වශයෙන් හඳුන්වමින් පැවැත්වෙන ධර්මානුකූලව කිසිදු ලෙසකින් අර්ථ ගැන්විය නොහැකි නිසරුවත් පිළිවෙත් දෙස බලන විට පෙනී යන්නේ ඒ දාර්ශනික ප්‍රකාශය පිරිසිදු සත්‍යයක් බවකි.
අතීත කෘෂිකාර්මික සමාජයේ ජීවත් වූවන් බොහෝ දෙනකුට සාක්ෂරතාව නොතිබූ අතර ඔවුන් බොහෝ විට තම ජීවිතයට අවශ්‍ය ගුණ නුවණ වඩවා ගත්තේ විහාරස්ථානයේ ධර්ම දේශනා වලට සවන් දීමෙනි.
බෞද්ධ සාහිත්‍යයේ එන සරල කතාවක් මගින් හෝ එම ජනතාවට නිවැරදි බුදු මඟ පෙන්වා දෙන්නට එවක භික්ෂුන් වහන්සේලා හට තිබූ සාම්ප්‍රදායික හැකියාව නූතන භික්ෂු අධ්‍යාපනය විසිරණය වීමත් සමඟ අහිමි වී තිබේ. ඒ අනුව අද විහාරස්ථාන වලින් සිදුවන ධර්ම ප්‍රචාරක මෙහෙය ද අතිශය ව්‍යාකූල තත්වයට පත්ව තිබේ.
ඊට හේතුව අද බොහෝ ධර්ම දේශක භික්ෂුන් ධර්මය නොදන්නා කමින් හෝ ධර්මය දැන සිටිය ද ඒවා ජනතාව අතරට පත්කිරීමට උවමනාවක් නොමැති බැවින් අද බොහෝ ධර්ම දේශනා කිසිදු ගැඹුරක් හෝ හරයක් නොමැති නන් දෙඩවීම් බවට පත්ව තිබීම ය. අප සියලු දෙනා එක්ව මේ ඛේදනීය තත්වය වහා පිටුදැකිය යුතුය.
නැතහොත් අප ජන සමාජයේ පවතින සැබෑ බුදු සසුන තිබූ තැනක් වත් සොයා ගන්නට අනාගත පරපුරට නොහැකි වනු නියතය.
කදුරුපොකුණේ සුමංගල හිමි