සොබා සෞන්දර්ය අතිනුත් ආගමික, ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වශයෙනුත් ඉතාම වැදගත් ස්ථානයක් උසුලන පුරාණ රජ මහා විහාරයක් සහ ඒ ආශ්රිත වන රජදහනක් ගැනයි මේ කතා කරන්න යන්නේ.
ගම්පහ නගරයේ සිට කිලෝ මීටර් 10ක් පමණ දුරින් පිහිටා තිබෙන මෙය පිළිකුත්තුව රජ මහා විහාරය සහ ඒ ආශ්රිත වන ගහනයි. ගම්පහ දිස්ත්‍රික්කයේ බුත්පිටිය, යොන්ගම්මුල්ල, කොස්කඳවල, අඹගස්පිටිය, මාලිගාතැන්න, කඳුමුල්ල යන ගම්වලට මැදිවයි මෙම වන අරණ පිහිටා තිබෙන්නේ.
පැරණි ලේඛනවල දැක්වෙන අන්දමට මෙම භූමි භාගය අක්කර 200ක් පුරා පැතිර තිබුණත් මේ වන විට එම ඉඩම් විවිධ පුද්ගලයන් විසින් අත්පත් කර ගැනීම නිසා දැනට පිළිකුත්තුව රජ මහා විහාරයට වෙන් වී තිබෙන්නේ අක්කර 47 ක භූමි භාගයක් පමණයි.
ලංකාවේ එකම ප්‍රදේශයක වැඩිම ගල්ලෙන් ප්‍රමාණයක් දැක ගත හැකි ස්ථානය වශයෙන් ද පිළිකුත්තුව රජ මහා විහාරය ආශ්රිත වන ගහනය සැලකෙනවා.
එහි ඇති ශිලා ලිපියක බ්රාහ්මී අක්ෂරවලින් සඳහන්ව තිබෙන, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් එකල අනාවරණය කරගත් අන්දමට පිළිකුත්තුව රජ මහා විහාරය පිළිබඳව මෙලෙස සඳහන් වෙනවා.
” වළගම්බා රජතුමාගේ ප්‍රධාන අශ්වාරෝහක අග්නිභූත ගේ සොයුරා විසින් සකස් කළ ලෙන් ආරාමය වැඩම සිටින, වැඩම කරවන මහා සංඝරත්නයට පූජා කුළ වගයි”
කලකට ඉහතදී අනාවරණය වී තිබුණේ මෙහි ගල්ලෙන් 99 ක් පවතින බවයි. නමුත් දැන් මේ වන විට එහි ලෙන් 104 ක් සොයාගෙන තිබෙනවා. මෙහි ඇතැම් ගල්ලෙන් වනයෙන් වැසී ගොසිනුයි පවතින්නෙ.
සමහර ගල්ලෙන් එලෙස වැසී ගොස් තිබුණත් දැනට විහාරයේ ආවාස, දාන ශාලා වශයෙනුත් භාවිතා වන්නේ ගල්ලෙන්. ආවාස හැටියට භාවිතා කරන ගල්ලෙන් දෙකක් යා කරමින් ඉදිකළ ඉතා රමණීය පියසක් සහිත දැව පාලමක් මෙහි දකින්නට ලැබෙනවා. ඒ පාලම අඩි 14ක් පමණ දිගයි. අඩි හතරක් 4 ක් පළලයි. අඩි 6කට වැඩියෙන් උසයි.
මෙය මහනුවර යුගයේ සකස් කරන ලද විශිෂ්ට නිර්මාණයක් වශයෙන් සැලකෙනවා. එමෙන්ම මෙය සියනෑ කෝරළයේ තිබෙන ලොකුම දැව පාලමයි.
මහ පොළොවේ සිට අඩි 12ක් පමණ යටින් කළුගල් ජැටියක ඉදිකරන ලද විස්මිත ජල යෝජනා ක්‍රමයක් මෙහි අතීත රජ දවස නිර්මාණය කර ඇති අතර එම ජලය දෝනාවක් හරහා පැමිණ කුඩා පොකුණු 7 කට වැටෙනවා. ඉහත කී දැව පාලම මතින් ගමන් කරන කෙනෙකුට ඊට යටින් වතුර ගලා යන හඬ හොඳින් ශ්‍රවණය කළ හැකියි. මේ පොකුණු හතේ වතුර මෙහි පිහිටි අභය වැවට වැටෙනවා. අභය වැව යනු මෙහි තිබෙන විශාලම පොකුණයි.
මෙම භූමි භාගය තුළ ප්රාග් ඓතිහාසික යුගයේ සිටම මානවයා වාසය කළ බවට එම ගල්ලෙන් ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී අනාවරණය වී තිබෙනවා. එම සොයා ගැනීම්වලදී හමුවූ කාල රක්ත මැටි බඳුන් කොටස්, පබළු සහ විවිධ ගල් ආයුධ මගින් මේ බව තවදුරටත් තහවුරු වී තිබෙනවා. පබළු හමුවී තිබෙන්නේ මෙහි ඇති තොප්පිගල නමින් හඳුන්වන ගල්ලෙන තුළ දීයි.
ප්‍රධාන ලෙන් විහාරය තුළ මහනුවර යුගයට අයත් බෞද්ධ සාහිත්‍යයේ විවිධ දේවල් නිරූපණය කෙරෙන අලංකාර චිත්‍ර දැක ගත හැකියි. මේවා ඇඳ තිබෙන්නේ මංගලභේරියේ සිරියා නමැති චිත්‍ර ශිල්පියෙක්. චිත්‍ර ඇඳ තිබෙන ලෙන හඳුන්වන්නේ විහාර ලෙන ලෙසින්. විහාරස්ථානයට පිවිසි පසු හමුවන බෝධියට ආසන්නයෙන් මෙම විහාර ලෙන පිහිටා තිබෙනවා.
මෙහි බෝධීන් වහන්සේලා දෙනමක් එක ළඟ වැඩ සිටිනවා. එනිසා ගම්මුන් මෙම බෝධින් වහන්සේලාව කුමරු බෝධිය සහ කුමරි බෝධිය නමින් තමයි හඳුන්වන්නේ.
මෙම ගල්ලෙන්වලට අමතරව ගල්තලා කිහිපයක් මේ ප්‍රදේශයේ දැක ගත හැකියි. ඒ අතර ඇති ලොකුම ගල්තලාව දිග්ගල්තලාවයි. එහි උඩට නැගගත් පසු අති විශාල ප්‍රදේශයක් දැකගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එය මුහුදු මට්ටමේ සිට අඩි 700 ක් පමණ උසින් පිහිටා තිබෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති උසම කඳු මුදුනක් හැටියටත් එය සැලකෙනවා.
ගල්තලාවට දිස් වන ප්‍රදේශ අතර ගම්පහ, යක්කල, ජාඇල ඇතුළු නගර මෙන්ම පහත් බිම්වල පිටි කෙත්වතු ආදියත් දැකගන්නට ලැබෙනවා. සබරගමු කඳුවැටි අතරින් ශ්‍රී පාද කන්ද විශේෂයෙන් ඉස්මතු වී තිබෙන අන්දම අහස වලාකුළුවලින් තොර දිනවල දී අපූරුවට දැකගත හැකියි. දිග්ගල්තලාව හැරුණු විට මෙහි ඇති අනෙක් විශාලතම ගල්තලාව වන්නේ බැලුම්ගලයි.
මෙම පරිසර පද්ධතිය මොනතරම් වටිනාකමකින් යුතු දැයි කිවහොත් මෙය පහත රට නිවර්තන තෙත් කලාපයේ ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුතු වනාන්තරයක් ලෙස සැලකෙනවා.
පිළිකුත්තුව ගැන කතා කරන විට අමතක කළ නොහැකි එක් කාරණයක් තමයි පිළිකුත්තු අඹ. එහි හැදෙන අඹවලට එම නම යොදා ඇති ගැමියන් ඒවා සුවිශේෂී රසයකින් යුතු බව පවසනවා.එසේම ඒවා ඉන් පිටත දැකගත නොහැකි බව කියන නිසාම පිළිකුත්තු අඹ ලෙසිනුයි හඳුන්වන්නේ .
දුකුලා නමින් හඳුන්වන බකමූණු විශේෂය මෙම වනගහනය තුළ වාසය කරනවා. බ්‍රවුන් වුඩ් අවුල් ( Brown wood owl ) Stris leptogrammica යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන දුකුලා ඉතා දුර්ලභ නිශාචර පක්ෂි විශේෂයක්.
වනාන්තරවල වාසය කරන දුකුලාගේ විලාපයක් බඳු වූ හැඬීම එම ප්‍රදේශයේ අයකුගේ මරණයක් පිළිබඳ පෙරනිමිත්තක් ලෙස ගම්මුන් සලකනවා. එසේම පිඹුරන් වැනි සර්ප විශේෂ ද මෙම වනගහනය තුළ බොහෝ සෙයින් දැකගත හැකියි.
පිළිකුත්තුව රජ මහා විහාරය මේ ප්‍රදේශයේ තිබෙන පැරණිම විහාරස්ථානයයි. ගම්මුන් කඳු තරණය කරමින් විහාරස්ථානයට ගමන් කළ මාර්ග අදටත් වනගහනය තුළ ඇතැම් ස්ථානවල දක්නට ලැබෙනවා.
විශේෂයෙන් යොන්ගම්මුල්ල, කොස්කඳවල මගීන් විහාරස්ථානය දක්වා ගමන් කළ පාර අදටත් වනය තුළ පවතින අතර මෙය මිනිසුන් තවමත් ඉඳහිට භාවිත කරනවා.
පිළිකුත්තුවේ සුන්දරත්වය දැක බලා ගන්නටත්, මෙහි නියම ආශ්වාදය විඳින්නටත් දවසක්වත් එහි ගත කළ යුතුයි.
පිළිකුත්තුව වන අරණට ළංවිය හැකි මාර්ග දෙකක් තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් දකුණට තිබෙන වතුරුගම පාර මින් එක් මාර්ගයක්. අනික යක්කල හන්දියෙන් කිරිඳිවැල පාරේ බටගොල්ල හන්දිය අසලින් වැටී ඇති මාර්ගයයි.
විවේකී දවසක ඔබත් වන අරණක සුන්දරත්වය විඳ ගන්නට කැමති නම් ඉතා පහසුවෙන් පිළිකුත්තුව රජ මහා විහාරය සහ ඒ ආශ්රිත මෙම සුන්දර වනගහනය වෙත ඔබට යා හැකියි.
නමුත් එහි තිබෙන නිසංසල බවටත්, පක්ෂීන්ට සහ අනිකුත් සිවුපා සතුන්ටත්, ගහකොළටත් කිසිදු හානියක් නොකර සොබාදහමේ අසිරිය විඳ ගැනීමට තරම් ඔබ සංවේදී අයෙකු වීම වැදගත්.
ඉන්දු පෙරේරා