සමාජ යථාර්ථය ග්‍රහණය කර ගැනීම සමාජයේ විවිධ ජන කොටස් වලින් මතු වන සීමිත පිරිසකට විතරක් කළ හැකි දෙයක්.පුද්ගලයන් තුළ පවතින ඒ සුවිශේෂ හැකියාව වෘත්තිය,දැන උගත් කම සමාජ තරාතිරම මත පදනම් වන්නේ නෑ.
ඒ සමාජ යථාර්ථය වඩාත් සංවේදී සහ සියුම් ලෙස ග්‍රහණය කර ගන්නට ඇති සුවිශේෂ හැකියාවකට තමයි කවි කම කියන්නේ.ඒ වගේම බොහෝ කවීන් ඒ සමාජ යථාර්ථය ග්‍රහණය කර ගන්න තමන් ලබන අත්දැකීම්,ඒ වගේම අනුභූතීන් යොදා ගන්නවා.
මහ පාරේ වැතිර රැය පහන් කරන අන්ත අසරණ දුගියකු මුල් කොට ගත් මේ පැදි පෙළ ඒ වගේ සංවේදී නිර්මාණයක්.
නමුත් මේ පැදි පෙළේ ඇති විශේෂත්වය වන්නේ මෙය නිමැවූ කවියා රාත්‍රී මුර සංචාර ආදිය තම රාජකාරියේ කොටසක් කර ගත් පොලිස් සැරයන් වරයකු වීමයි.
ඔහු නමින් ජූඩ් දීපාල්.
ආයාචනයක්
‘මොකද? මිනිහෝ මේ මහ රෑ
වැහි පිණි අස්සේ මහ පාරේ බුදියන්නේ
බල්ලෙක් වාගේ
නැද්ද?උඹට ගෙයක් දොරක්
ගෑනියෙක්,දරුවෙක්-මල්ලෙක්,කවුරුවත්ම’
“අනේ සර්,
ඉස්සර මට ඔය කියන හැමෝම හිටියා සර්ලට වගේම තමයි
ඒත්,අන්තිමට මට ජීවිතේ තනි රකින්න හිටියේ
මං වගේම මහ පාරට වැටුණු
බලු දරුවෙක් විතරයි
අනේ,මගේ කකුල් දෙක ළඟ වැතිරිලා හිටපු මගේ ඒ පුතාවත්
කවුදෝ ඇවිත් මන්දක් දාලා
ලොරියක පටවගෙන ගියා
ඔය…ඔය…මට ඈතින් ඇහෙන්නේ මගේ ඒ පුතාගේ හුරතල් කට හඬ
අනේ,සර්ලට බුදු බව අත් වෙයි
බැරිද?මාවත් ඒ වගේ මන්දක පටලලා මගේ පුතා ළඟට අරන් යන්න
වෙන ලෝකෙකට නම් වැඩිය හොඳයි සර්
මට විතරක් නෙවෙයි
පුතාටයි,මටයි; අපි දෙන්නටම”
ජූඩ් දීපාල්