දරුවකුගේ රෝග සුවයට යාඥා කොට දරුවා මළ පසු යළි පණ එන තුරුත් යාඥා කරලා

පසුගිය කාලයේ නිරන්තරයෙන් සෙම් රෝගී තත්ත්වයකින් පෙලුණු දස හැවිරිදි දරුවකු වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතිකාර වෙත යොමු නොකොට නිවස තුළ රඳවා යාඥා කරමින් සිටිය දී දරුවා මරණයට පත්ව ඇති අතර ඉන්පසු එම දරුවා ගේ මළ සිරුරට පණ එන තුරු ද දරුවාගේ මව පියා හා මිත්තනිය අඛණ්ඩ ව යාඥා කරමින් සිටින අතරතුර පොලිස් අත් අඩංගුවට පත් ව තිබේ.ඒ වන විට එම දරුවා ගේ මෘත දේහය විරූපී වී දුර්ගන්ධය හමන තත්වයට පත් ව තිබූ බව ද පැවසෙයි.

මෙසේ මියගොස් ඇත්තේ කටාන, ආඩිමුල්ල ලිපිනයේ පදිංචිව සිටි කච්චි ආරච්ච්ගේ දොන් මලීෂ දුලක්ෂණ නමැති දස හැවිරිදි පිරිමි දරුවෙකි.

කලක් තිස්සේ සෙම් රෝගී තත්ත්වයකින් පෙලුණු මෙම දරුවාට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ද ප්‍රතිකාර ලබාදී ඇති බවත් දැනට මාස පහක පමණ කාලයක සිට දරුවාගේ ‍මාපියන් වෙන්නප්පුව ප්‍රදේශයේ මූලධර්මවාදී නිකායිකයන් පිරිසකගේ උපදෙස් මත එම ප්‍රතිකාර නතර කොට යාඥා කටයුතු වල යෙදෙමින් දරුවාගේ සුවය ප්‍රාර්ථනා කොට ඇත.

ඒ අතරේ පසුගිය 07 වන දින අලුයම හතරට පමණ ස්වසන අපහසුතාව උත්සන්න වී මෙම දරුවා මිය ගොස් ඇති අතර ඉන් පසු ද එම මූලධර්මවාදී නිකායිකයන්ගේ උපදෙස් මත එම දරුවාගේ මව පියා හා මිත්තනිය මිය ගිය දරුවාගේ මෘත දේහයට යළි පණ ලැබෙනු ඇතැ‍යි යන අන්ධ විශ්වාසය මත මෘත දේහය විරූපී වී දුර්ගන්ධය හමන තත්වයට පත් වන තුරුම යාඥා කරමින් සිට තිබේ.බඩල්ගම පොලීසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කාලීන පුවත්