කෙස් රැවුල් පැහුණු ගිනි ජාලයක් දෙස නුහුරු බැල්මක්

” නත්ථි රාග සම අග්ගි” රාගය හා සමාන ගින්නක් නැත කියා බුදු හිමියන් දෙසා වදාළ බවක් ධම්ම පද පාලියේ තියනවා.

ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ එන Affection කියන වචනය මඟිනුත් පළ වන්නේ සෙනෙහස,අනුරාගය,ආවේදනාව, ආබාධය වගේ අරුත්.

මෙවර අපි “Wallඑක”ට තෝරා ගත්තු”කෙස් රැවුල් පැහුණ මුත් නුඹ තාමත් ගිනි ජාලයක්”කියන පද්‍ය සංකල්පනාව තුළිනුත් ඊට සමාන්තර අරුතක් පළ කෙරෙනවා.ගින්නකින් අපට ආලෝකය සහ උනුසුම ලබා ගන්න පුළුවන්.ඒත් ගින්න දැවීමකුත් ඇති කරනවා.

අතීත මතකාවර්ජනයක ස්වරූපයෙන් ගොඩ නඟා ඇති මේ පද්‍ය සංකල්පනාවේ එන “හීතලෙන් ගුලි වෙන්න තැනූ සුමුදු උනුසුමක්” “තවම ඇවිලෙන උමතු වූ ගින්නක්” ආදී යෙදුම් ඉහත සඳහන් බුද්ධ දේශනාවට වුවත් මුළුමනින්ම පටහැනි නැහැ.”සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා විය දිස්සන්ති”ඒ කියන්නේ “සියලු පුහුදුන් තැනැත්තෝ උමතු වූවන් මෙන් දිස් වන්නෝය”යන බෞද්ධ අටුවා මතය සමඟ වුණත් මේ පද්‍ය සංකල්පනය එක්තරා ලෙසකින් ගළපන්න පුළුවන්.

ඒ නිසා අපට හැඟී යන්නේ මේ පද්‍ය සංකල්පනය හුදෙක් බොළඳ ප්‍රේමාලාපයක් නොවන යම් දාර්ශනික සංකල්පයක් ද ඉස්මතු කරවන්නක් ලෙසයි.

ඒකට සෘජු හෝ අනියම් බලපෑමක් විය නොහැකි කරුණක් ලෙස වුවත් මෙහි සඳහන් කළ යුත්තක් ද තිබෙනවා.එනම් මෙම පද්‍ය සංකල්පනය ඉදිරිපත් කළ සංජීවනී රූපසිංහ කිවිඳිය කැලැණිය විශ්ව විද්‍යාලයීය දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරියක බවයි.

කෙස් රැවුල් පැහුණ මුත් නුඹ තාම ගිනි ජාලයක්
======================

ඔය දෑස මට තවම ලෝකයක්
ගැඹුරින් ගැඹුරටම කිමිදිලා
හදවත පතුලේ ලැගුම් ගන්නට
හැර දුන්නු කවුළුවක්

දුරාතීතේ සිට ගෙන ආ
මතක සැමරුම් පිරි
චිත්‍රපටියක පොඩි කෑල්ලක්
විඳපු විඳවපු තැන්
අතින් අල්ලන් කියාදෙන
රසම රස පිරි හාද්දක්

ගැඹුරු නිසසල මහ සයුර වැනි අකම්පිත මුහුණක්
සුළි කුණාටු
සියක් දහසක් මැද රළක් සේ
තවම ඇවිලෙන උමතු වූ ගින්නක්
කෙස් රැවුල් පැහුණ මුත්
නුඹ තවම ගිනි ජාලයක්…

හීතලෙන් ගුලි වෙන්න සැදු සුමුදු උණුසුමක්
මුහුදු රළකට චණ්ඩ වෙන්නට
තරම් දුන් නිදහසක්

අහිමි වන බව නොකියාම කියා ගිය
කඳුළකින් ලියු අමාවක දා කවියක්
ඔබ තවම ආදරය රැගෙන එන
මහවැලිය පිස හැමූ
සුවඳ පිරි සුළඟක්

සංජීවනී රූපසිංහ

wall එක