මිනිස් සෙනෙහස පරදන සුනඛ සෙනෙහස

සුනඛයන් තරම් තම හාම්පුතාට ආදරය කරන වෙනත් සතෙකු සත්ව ලෝකයෙහි දැකිය නොහැකි තරම් ය. තවදුරටත් සරලව කිවහොත් මිනිසකුට තමන් ආදරයෙන් ඇති දැඩි කරන සුනඛයාගෙන් ලැබෙන ආදරය තරම් වූ අවංක ආදරයක් තවත් මනුෂ්‍යයෙකුගෙන් ලැබිය හැකිද? යන්න පිළිබඳව සාධාරණ සැකයක් පවතී. හේතුව, මිනිසුන් කලින් කලට තමන්ගේ සිතිවිලි වෙනස් කළත්, සුනඛයකු තමන්ගේ හාම්පුතාට දක්වන ආදරය ඌ මියයන තුරුම නොවෙනස් ව පවතින නිසා ය.

මෙයට දිය හැකි අති විශාලය.ඉන් එක් උදාහරණයක් වන්නේ ජපානයේ හචිකෝ සුනඛයාගේ කතා පුවතයි. දිනපතා දුම්රියෙන් රැකියාවට යන තම හාම්පුතු සවසට දුම්රියෙන් බැස එන තුරු දුම්රිය පොළට වී මග බලා සිටීම හචිකෝගේ පුරුද්ද විය.

නමුත් එක්තරා දිනෙක මෙම හාම්පුතු මියගොස් තිබිණි. ඒ බව නොදත් මෙම අහිංසක සුනඛයා සුපුරුදු පරිදි සවස දුම්රිය පොළට ගියේ දුම්රියෙන් බැස එන තම පුතාව පිළිගන්නට ය. නමුත් හාම්පුතා කවදාවත් ආපසු පැමිණියේ නැත.

හචිකෝ ද කොයි මොහොතක හෝ තම හාම්පුතා දුම්රියෙන් බැස තමන් වෙත සුපුරුදු පරිදි පැමි⁣ණේවි යන අපේක්ෂාවෙන් දුම්රිය පොළට පැමිණෙන හැම දුම්රියක් දෙසම බලා සිටියා විනා අඩු තරමින් කෑමක් බීමක් සඳහාවත් දුම්රිය පොළෙන් සෙලවුණේ නැත. අවසානයේ මෙම අසරණ සුනඛයා දුම්රිය පළ ආසන්න මාර්ගයක මියගොස් තිබිණි. හචිකෝ සිය හාම්පුතා කෙරෙහි දැක්වූ අනුපමේය සෙනෙහස සිහි ගන්වනු වස් එම සුනඛයා වෙනුවෙන් ප්‍රතිමාවක් එහි ඉදි කරනු ලැබිණි.

පශු වෛද්‍යවරුන් දක්වන අන්දමට නිවෙස් තුළ දැඩි ආදර සත්කාර ලබමින් හැදී වැඩෙන සුනඛයන් මානසික ආතතියට සහ විවිධ මානසික අසාමාන්‍යතාවලට ගොදුරු වීම වැඩි ය. කිසිදු ආදරයක් කරුණාවක් නොලබා කෑම ටිකක් පමණක් දී ඇති දැඩි කරන සුනඛයන් මානසික සංකූලතාවලට ගොදුරු වන්නේ අඩුවෙනි. එයට හේතුව උන් ආදරය යනු කුමක්ද කියාවත් හඳුනාගෙන නොසිටීමයි.

මනුෂ්‍යයන් වුවත් ආදරය ලබා හැදෙන වැඩෙන විට දැනෙන වේදනාව වැඩි ය.

ඔවුන් සංවේදී වීම ද වැඩි ය. නමුත් කිසිදු ආදරයක් නොලබා හැදී වැඩෙන අයෙකුට එවැනි වේදනාවක් නැත. ප්‍රශ්නවල දී ඔවුන් බොහෝවිට සැලෙන්නේ ද නැත. නමුත් එවැනි අය ඉතා රළු ය. සුනඛයන්ගේ චර්යා රටාවන් ද එවැනි වේ.

ආදරය ලෙන්ගතුකම වැනි කරුණුවලදී බොහෝ සුනඛයන් තුළ දක්නට ලැබෙන දෙයක් වන්නේ ඊර්ෂ්‍යාවයි. නිවසේ දැඩි ආදරය ලබමින් හැදෙන සුනඛයෙකු එම නිවසට තවත් සුනඛ පැටවෙකු ගෙන ඒම රුස්සන්නේ නැත.

එපමණක් නොව එම පවුලට අලුතින් බිළිඳකු එකතු වුවත් එම බිලිඳාව පවා සුනඛයා නොරුස්සයි. එහිදී මුලින්ම සුනඛයා කරන්නේ එම අලුත් අමුත්තාව පළවා හැරීමට උත්සාහ දැරීම ය. ඇතැම් අවස්ථාවලදී පිටත සිට ඇවිත් නිවස තුළ මළ මුත්‍රා පහ කිරීම් වැනි දේවල් පවා තමන්ගේ නොරිස්සුම පළ කිරීම පිණිස සුනඛයන් විසින් කරනු ඇත.

නිවසේ උත්සවයක් වැනි දෙයක් තිබෙන විට ද සුනඛයාගේ දින චර්යාව වෙනස් වෙයි. එවැනි කලබලකාරී මොහොතක සුනඛයාව සුරතල් කිරීමට, ඌ ගැන සොයා බැලීමට නිවැසියන්ට අවස්ථාව නොලැබෙන විට ඉන් සුනඛයාගේ සිතට දුක, නොරිස්සුම වැනි දේවල් දැනෙනු ඇත. එවිට උගේ අසාමාන්‍ය චර්යා රටාවන් පළ වෙයි. කෑම බීම අත්හැර දැමීම, නිවස ඇතුළත මළමුත්‍රා කිරීම් වැනි අසාමාන්‍ය චර්යාවන් මෙවැනි අවස්ථාවලදී සුනඛයන් වෙතින් දැකිය හැකිය.

තමන්ගේ ජීවිතයට එතෙක් ලැබෙමින් පැවති දෙයක් නොලැබී යන විට අපට දැනෙන වේදනාව හා සමානම දෙයක් සුනඛයා තුළද ඇතිවේ. මෙය පළ වන්නේ සුනඛයාගේ අසාමාන්‍ය චර්යා රටාවන් තුළිනි. ස්වාමියාට දැඩිව ආදරය දක්වන සුනඛයා ස්වාමියාගේ දෙපතුල ළඟට වී සිටින්නට, ස්වාමියා අසළ දැවටෙමින් සිටින්නට කැමති ය. එය තමාගේ ආදරය පෙන්විය හැකි එකම ක්‍රමය යන්න සුනඛයන්ගේ හැඟීම බව සත්ත්ව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

සමහර අවස්ථාවලදී තමන් ඇති දැඩි කරන සුනඛයා වෙනත් අයිතිකරුවකුට පවරා දෙන අවස්ථා තිබේ. සුනඛ පැටවකුට නම් මෙය එතරම් ගැටලුවක් නොවේ. මන්ද සුනඛ පැටවකුට දැනෙන්නේ මව ගෙන් වෙන්වීමේ ශෝකය හා පාළුව මිස ස්වාමියාගේ ආදර සැලකිලි අහිමි වීම නොවේ. නමුත් අයිතිකරුවන්ගේ ආදරයත් සමග සුනඛ පැටවුන් තම මව අමතක කර දමා එම පරිසරයටත් ස්වාමියාටත් හුරු වනු ඇත. එහෙත් ස්වාමියාට ආදරය දක්වන වැඩුණු සුනඛයකු වෙනත් අයෙකුට පවරා දුන් පසු සිය ස්වාමියා අහිමි වීම හේතුවෙන් එම සුනඛයා දැඩි මානසික ආතතියට ලක් වෙයි. එය සාංකාව සහ ප්‍රචණ්ඩත්වය හරහා එම සුනඛයා වෙතින් පළ වනු ඇත.

මීට අමතරව සුනඛ ගැහැනු සතුන් ට පමණක් විශේෂිත අසාමාන්‍ය චර්යාවක් ඇතැම් විට පළ විය හැකිය. ඒ ව්‍යාජ ගර්භනීභාවය යි. මෙයද මානසික සංකූලතා නිසා ඇතිවන්නකි. ව්‍යාජ ගර්භනී භාවය ඇති වීම සඳහා හෝමෝන අසමතුලිතතාවය හේතු වේ. හෝමෝන අසමතුලිතතාවයට හේතු වන්නේ මානසික අසමතුලිතතාවය බව පශු වෛද්‍යවරුන්ගේ අදහසයි.

ව්‍යාජ ගර්භනීභාවයේදී සුනඛ ගැහැනු සතුන් ගේ උදරය විශාල වීම, තන පුඩුවලින් කිරි වෑස්සීම, බිම පහුරු ගාමින් වළවල් හෑරීම වැනි ලක්ෂණ දැකිය හැකිය. මෙවැනි අවස්ථාවලදී මෙම සතුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍යය.

මානසික පීඩාවන් නිසා අසාමාන්‍ය චර්යා රටාවන් පළ වන්නේ මනුෂ්‍යයන්ගේ පමණක් නොවන බව දැන් පැහැදිලි වී ඇතැයි සිතමු. විශේෂයෙන් නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන් මානසික ආතතියට ගොදුරු වීමට ඇති ඉඩ කඩ වැඩිය.

ඊට හේතුව දැඩි ආදර සත්කාර ලබන සුනඛයන් ඉතා සංවේදී වීම ය. එනිසා සුනඛයෙකු ඇති කිරීමට පෙර ඔබට නොවෙනස් වූ සදාකාලික සෙනෙහසක් එම සත්වයාට ලබා දිය හැකි දැයි හොඳින් සිතා බලන්න.

අවංක ලෙන්ගතු හිතවතකු ලෙස ජීවිත කාලයටම ඔබ වෙනුවෙන් සැදී පැහැදී සේවය සලසා දීමට කැප වී සිටින සුනඛයකු හදා වඩා ගැනීමට පෙර ඔබට එම සත්වයා වෙනුවෙන් කාලයක් වැය කිරීමට සහ ඌ කෙරෙහි කාරුණික වීමට හැකි දැයි මොහොතකට සිතා බැලීම වටී.

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය