බාලගිරි යකින්න පිට රට වලත් ඉන්නවාද?

අලුත උපන් කුඩා බිළිදුන් සිටින බොහෝ නිවෙස්වල ප්‍රධාන පිවිසුමේ උළුවස්සේ සදහන් කර ඇති “බාලගිරි අද නෙවේ හෙට”යන වැකිය ඔබ ඕනෑ තරම් දැක ඇතිවාට සැක නැත. ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන සමාජයකට උරුම ඇදහිලි සහ විස්වාසවලට අනුව මෙවැනි දේ ඉස්මතුව පැවතුණ ද ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබද යම් අවබෝධයකින් යුතුව ජීවත් වීම වටී.

අතීත ඉන්දියාවේ දන්ත පුරයේ සිංහ කුමාර රජු හා හංසවතී දේවියට උපන් රූමත් දූ කුමාරිකාව සහ පුත් කුමාරයා අතර සහවාසයක් සිදුවිය හැකි බවට අනාවැකි කරුවන් පැවසීමත් සමග රජතුමා සිය දූ කුමරිය පර්වත මුදුනක සඟවා ඇති දැඩි කර ලදී. එහෙයින් ඇය “ගිරි දේවිය” නම් වූවා ය. ඇගේ සොහොයුරු දළ කුමරුන් තමාට සහෝදරියක සිටින බවක් දැන නොසිටි අතර නිසි වයසේ දී දළ කුමරුන් හට සුදුසු කුමාරිකාවක සරණ පාවා දීම සදහා 500 ක් වූ රූමත් කුමරියන් රජ මැදුරට ගෙන්වන ලදී.

මේ අවස්ථාව දැක බලා ගැනීමට පැමිණි ගිරි දේවිය දුටු දළ කුමරුන්ගේ හිත, ඇය කෙරෙහි ඇදී ගිය අතර ඔහු 500 ක් කුමරියන් අතරින් ගිරි දේවියට තෝරා ගන්නා ලදී. අනාවැකි කරුවන්ගේ අනාවැකි සඵල කරමින් ඔවුන් දෙදෙනා විවාහ කරදීමට රජතුමාට සිදු විය. රජතුමා විසින් වසර ගණනාවක් පුරා රකින ලද මෙකී රහස, දළ කුමරුන් නිසා ගිරි දේවිය ගැබ් ගැනීමෙන් පසු හෙළි කරන්නට රජතුමාට සිදුවිය.

තමා කුස දරා සිටින්නේ තම සහෝදරයාගේ දරුවා බව දැනගත් ගිරි දේවිය අඳුර ගලා එන සන්ධ්‍යාවක මාළිගය අසළ ගසක ගෙල වැළ ලාගෙන දිවි නසා ගත් බව අතීත කතාවල කියවේ.මෙම කුමරිය මහ වනයේ ගල් ගුහාවක සඟවා සිටිය දී දළ කුමරුන් ඇය සොයා ගොස් සංවාසයේ යෙදීමෙන් පසු දළ කුමරුන් තම සොයුරා බව දැන ගත් කුමරිය අශෝක ගසක ගෙළ වැල ලා ගත් බව පැවසෙන කතා පුවතක් ද තිබේ.

මේ නිසා අඳුර වැටෙන්නට ඔන්න මෙන්න ඇති විට බිළිඳුන් වෙත ගිරි දේවියගේ අවතාර දොළහෙන් එකක් වන බාල ගිරි නම් අවතාරයේ බැල්ම වැටෙන බවටත් ඒ නිසා ඔවුන් කෑගසමින් හඩන්නට පටන් ගන්නා බවටත් මතයක් අද පවා සමාජයේ පවතී. ගිරි දේවියගේ බාල ගිරි නම් අවතාරයේ බැල්මෙන් බිළිඳුන් මුදවා ගැනීමේ අරමුණින් මෙසේ “බාලගිරි අද නෙවේ හෙට”යන වැකිය උළුවස්සේ ලියා තබන බවත් එයට රැවටෙන බාල ගිරි අවතාරය හෙට නැවත එන අරමුණින් යන්නට යන බවත් විශ්වාසයේ පවතී.

වර්තමාන සමාජය තුළින් යම් මට්ටමින් මෙවන් දෑ ගිලිහී ගියත් ඇතැම් විස්වාසයන් රැල්ලට හෝ අන් පුද්ගලයන් සිදු කරන නිසා කළයුතු යැයි සිතා සිදුකළත් ඊට අදාල හේතුව පිළිබඳ දැනුවත් බවක් ඇත්තේ බොහෝ අඩු පිරිසකට ය.

මෙම බාලගිරි සංකල්පය ඉහත අතීත කතාව හා සම්බන්ධව සිදු වුව ද, සවස් වන විට අලුත උපන් බිළිඳුන් හේතුවක් නොමැතිව හඩන්නට පටන් ගන්නා බව බිළිඳුන් සිටින ඕනෑම කෙනෙක් අත්දැකීමෙන් දනිති. කොතෙකුත් නැළවුවද යම් තරමක වේලාවක් හඩමින් සිටින එවැනි බිළිඳුන් සුළු වේලාවකින් හැඩීම නවත්වා ඉබේම නින්දට වැටෙති.

මෙසේ සිදුවන්නේ බිළිඳුන් හට කායික වශයෙන් ඇතිවන කිසිදු අපහසුතාවක් නිසා නොවන බව ලෝක ප්‍රකට මායෝ ක්ලිනික් වෙබ් අඩවියට ලිපි සපයමින් විවිධ රටවල ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරු පවා පවසා සිටිති.

මේ පිළිබදව ස්ථිර වශයෙන් හේතුවක් ප්‍රකාශ කරන්නට අසමත් වූ ඔවුන් කියා සිටින්නේ සමහර විට දවස පුරා මව්කිරි බොන බිළිඳාගේ ආමාශය තුළ ලැක්ටොබැසිලස් බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය තීව්ර වීමත් සමඟ ඔවුන්ගේ උදරයේ ඇතිවන අපහසුතාව නිසා ඔවුන් සවස් වන විට හඩන්නට පටන් ගන්නවා වන්නට හැකි බවකි.

නමුත් ඒ පිළිබදව සිදු කරනු ලැබූ පර්යේෂණවලින් පවා ස්ථීර වශයෙන් එවැන්නක් නිරීක්ෂණය වී නැති බව ද විශේෂඥ වෛද්‍යවරු වැඩිදුරටත් පවසා සිටිති. දවස පුරා මව්කිරි බීම නිසා ලැක්ටොබැසිලස් බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය තීව් වුව ද එය බිළිදාට කායික අපහසුතාවක් ඇති කරන මට්ටමට සිදුනොවන බව ද වෛද්‍ය වාර්තාවල දැක් වේ.

එසේ නම් දෙස් විදෙස් ලෝ පතල විශේෂඥ වෛද්‍යවරුන්ට පවා හේතු සොයා ගන්නට නොහැකි වූ මෙම “බාලගිරි දෝෂයට”, මුල් වූවායැයි කියන ගිරි දේවියගේ බාල ගිරි අවතාරය අපේ රටේ පමණක් නොව බටහිර රටවල බිළිඳුන්ට පවා බලපෑම් කරන්නේ දැයි යන්න දේශීයත්වය කෙරෙහි අසීමාන්තික අගැයුම් ලබා දෙන ශ්‍රී ලාංකේය වියත් ප්‍රජාව විසින් විමර්ශණයට ලක් කළ යුතුම කාරණයකි.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර